”කෘතිම පස්සක්” ඇඳලා පුංචි අමාරුවක වැටුණා, ඒදායින් පස්සෙ නම් මම පස්සවල් දැම්මේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යුරේනි නොෂිකා. රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙස නමක් දිනා සිටින දක්ෂතා රැසකින් හෙබි සොඳුරු යුවතියක්.ලෝකයේ කාලයෙන් කාලයට  වෙනස් වෙන මෝස්තර ගැන විශේෂ අවධානයකින් සිටින ඇයට  අපි  මෙවර ෆැෂන්  පිටුව සරසන්නට ආරාධනා කළෙමු.

මෙම දිනවල තිරගත වන නයිට් රයිඩර් චිත්‍රපටයේ ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

බොහොම ඉහළ ප්‍රතිචාරයක්  ලබනවා. චිත්රපටයේ රඟපෑම මගේ ජීවිතේ විශේෂ අත්දැකීමක්. ඔබ සැමට ආරාධනා කරනවා ත්‍රාසය, භීතිය, කුතුහලය රැඳුණු කසුන් පතිරණ මහතාගේ මෙම අලු‍ත්ම චිත්‍රපටය නරඹන්න කියලා .

ඔබ විලාසිතා ගැන නිරතුරුව ම අවදියෙන් සිටින කෙනෙක් ?

අම්මෝ ඔව්. විලාසිතා කියන්නේ මගේ ජීවිතේම කොටසක් .කවුරු මොනව කිව්වත් මම කැමතිම විලාසිතා කැමතිම විදිහට හැමදාම කරන්නයි මං පුරුදු වෙලා ඉන්නේ .ඒ නිසා මට ගැළපෙනවා නම් මම ඕනෑ ම  විලාසිතාවක් කරනවා .විලාසිතා කරද්දී අනිත් අයගේ විවේචන හෝ කැමැත්ත ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ .

ඔබ කරන විලාසිතා වලට ප්‍රතිචාර ලැබෙන්නේ කොයි විදිහටද?

සමස්තයක් විදියට ගත්තොත් පිරිසක් අගය කරනවා. තවත් පිරිසක් විවේචනය කරනවා. විලාසිතා ගැන අඹමල්  රේණුවක් වත් අවබෝධයක් නැති අය මහ පුදුමාකාර විදියට මාව විවේචනය කරනවා. සමහර වෙලාවට මම ඒවා දිහා බලලා හිනා වෙනවා. මොකද මේ මිනිස්සු ඇත්තටම අසරණයි ....ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි ලංකාවේ විලාසිතා කියන විෂය තියෙන්නෙ වසර තිහක් හතළිහක් පස්සෙන්. ඒ තරමටම ලංකාවේ විලාසිතා ගැන අවබෝධය අඩුයි . ඒ නිසා එවැනි මානසික මට්ටමක ඉන්න අය අලු‍ත් වෙන විලාසිතා කරන දිහා බලලා විවේචනය කරන එක ගැන මම ලොකුවට පුදුම වෙන්නේ නැහැ ..

ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියලා විස්වාස කරනවද ?

කොහෙත් ම නැහැ .අඟපසඟ වැහෙන්න අඳින කෙනෙක් සුදු චරිතයක් ලෙසටත් ඇඟ ඇරලා කොටට අඳින කෙනෙක් කළු චරිතයක් විදිහටත් අපිට හංවඩු ගහන්න බැහැ. මොකද ඒ ඇඳුම් සියල්ල ඔවුන්ගේ කැමැත්ත  අනුව තොරාගන්නා දේවල් . තවත් දෙයක් තමයි අපි ඇඳුමක් ඇඳලා හැසිරෙන විදිහත් බලපානවා.කෙනෙක්ගෙ ආකර්ශනය ලබා ගන්න විලාසිතා කරනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා .නමුත් අපි අපිට ගැලපෙන විලාසිතා කරනවා නං කාගෙත් වත් කමෙන්ට් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ .

පොදුවේ විලාසිතාවක් කිරීමේදී ඔබ සැලකිලිමත් වෙන කරුණු මොනවා ද ?

මම විලාසිතා කරන්නේ මූඞ් එක අනුව .මුඞ් එක හොඳයි නම් හොඳට ඇදලා  පැලඳල යනවා .නැත්තං ඉතිං ඔහේ යන වෙලාවලු‍ත් තියෙනවා. සාමාන්‍යයෙන් මම විලාසිතා කරනවා නම් ඇගේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්. හමේ පාට ගැන නම් හිතන්නේ නැති තරම්. මොකද මට ලස්සන හමේ පාටක් නැහැනෙ. එහෙමයි කියලා විවිධ පාට  විලාසිතා කරන්න මම බාධාවක් කරගෙන නැහැ. තමන් කරන විලාසිතා ගැන තමන්ට ආත්මවිශ්වාසයක් තියෙනවනම් මොන ඇඳුම ඇන්දත් ඒක ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ .විලාසිතා ගැන ලොකු අවබෝධයක් තියෙන නිසාම   ඇඳුමක් දැක්ක ගමන්ම  මට ඒක  ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න  මට පුළුවන් .

ඔබට වඩාත්ම ගැලපෙන ඇඳුම මොකක්ද ?

මගේ ඇඟේ හැඩයට ගොඩක්ම ගැලපෙන්නෙ කොට ඇඳුම්. දිග ඇඳුම් ලස්සන වෙන්න නම් හිප් එකයි, පිටුපසයි හොඳට තියෙන්න ඕනනේ.

විලාසිතා කිරීමේදී ඔබට වඩාත්ම ගැළපෙන පාට ?

සුදු පාටට මම ගොඩක් කැමතියි .සුදු ඇන්දහම මූණට එළියකුත් ලැබෙනවා වගේම හිතට පිවිතුරු බවකුත් දැනෙනවා. යන ගමනත් සතුටින් ආත්ම විශ්වාසයකින් යන්න පුළුවන් කියන හැඟීමක් සුදු ඇන්දාම දැනෙනවා .

කාලයේ තාලය ට වෙනස් වන විලාසිතා ගැන ඔබ අවබෝධයෙන් ද ඉන්නේ ?

අම්මෝ ඔව්. ලෝකයේ වෙනස් වෙන විලාසිතා ගැන  මම හරිම අවබෝධ යෙන් ඉන්නේ. 2022 වසරේ කලර් පැෂන් එක වෙලා තියෙන්නේ ඩාර්ක් කලර්ස්. වසරින් වසරට ඒවා වෙනස් වෙනවා. ලෝකයේ අනෙක් රටවල් එක්ක බලනකොට අපේ රටේ විලාසිතා ගැන තියෙන්නෙ බොහොම අඩු අවබෝධයක්. ලංකාවේ ඇඳුම් කඩ දහයකට ගියොත් බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ එකම ආකාරයේ විලාසිතා .නමුත් විලාසිතා කියන ලෝකය තුළ බොහෝම විවිධාකාර  දේවල් නිතරම  වෙනස් වෙනවා....මම ෆැෂන් ගැන  අවබෝධයෙන් ඉන්නවා වගේම මට ගැළපෙන විදිහටත් ඒ විලාසිතා  කරන්න මම අමතක කරන්නේ නැහැ.

ඔබ කරන විලාසිතා වලට ගැලපීම සිද්ධ කරන්නේ කොයි විදියට ද ?

සහභාගී වෙන තැන අනුව එය තීරණය වෙනවා. කොහොමටවත්ම මම ජුවලරි පලඳින්න කැමති කෙනෙක් නොවෙයි .අඳින ඇඳුමෙ  වටිනාකම වැඩි වෙන්න  කොන්ඩෙ මෝස්තරේ යි ,මෙකප් එකයි නම් මම කරගන්නවා .උත්සව අවස්ථාවලදී බොහෝ විට මිනි බෑගයක් තමයි ගෙනියන්න පුරුදු වෙලා ඉන්නේ. ඊට අමතරව සපත්තු නං නිතරම මැච් කරනවා.රෙඞ් කාපට් එකක වගේ යන වෙලාවක නම් ඊට අදාල විදිහට උපරිමයෙන් මහන්සි වෙලා විශේෂ වූ විලාසිතාවකින්  ඒ අවස්ථාවට සහභාගී වෙනවා . සාමාන්‍ය ගමනට නම් ටී ෂර්ට් එකක් ඇඳලා ඩෙනිමක් ඇඳලා සෙරප්පු දෙකක් දාන්න තමයි ගොඩාක්ම කැමති .

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය මතකය තියෙනවද ?

ඇත්තම කියනවා නම් පුංචි කාලයේදී විලාසිතා කියන විෂය ගැන පුංචි හරි අවබෝධයක්වත් මට තිබුණේ නැහැ .මේ ක්ෂේත්‍රයට  ආවමයි විලාසිතා කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගත්තේ. නමුත් මගේ අම්මා හරිම ලස්සනට පිළිවෙලට, පිරිසිදු අඳිනවා මම පුංචි කාලේ ඉඳලම දැක්කා. ඇය අඳින ඇඳුමට කරාබු දෙක, සපත්තු දෙක පවා ගලපනවා. ඒ වගේම හරිම ලස්සනයි ඇය. මට සමිපම කෙනා අම්මා .ඇය විලාසිතා කරන විදිහ මම ආසාවෙන් බලන් හිටියා. නමුත් ඒ විලාසිතා ”‍විෂය”‍ ගැන මට ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ.

විලාසිතා කරන්න ගිහින් පුංචි පුංචි අකරතැබ්බ හෙම වෙලා නැද්ද ?

තියෙනවා තියෙනවා. සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,සාරි කඩන් වැටෙන එවානම්  නිතරම වගේ වෙනවා. තවත් අමතක  නොවෙන  සිදුවීමක් තමයි ඉන්දියාවේ මගේ හොඳම මිතුරියගේ උත්සවයකට සහභාගි වුණු වෙලාවෙදි මම එදා සැරසුන විලාසිතාවට නව හැඩය ක් ගන්න ”‍ කෘතිම පස්සක්”‍ ඇඳලා පුංචි අමාරුවක වැටුණා. ඒදායින්  පස්සෙ නම් මම පස්සවල් දැම්මේ නැහැ ....ඒ තරමට එදා ලැජ්ජ වුණා.

අසුන්තා එදිරිසූරිය