කොටස් අඩු ටෙලියක් හදන්න ඇත්තටම බැරිකමක් නැහැ
තරුණ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වන ධනුෂ්ක රත්නායක මෙවර අපි සාරවිට කතා බහ මෙසේ සම්බන්ධ කරගත්තේමු. මේ දිනවල බොහෝ පිරිසක් ඉතා ආසාවෙන් නරඹන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවාද වන ඔහු තවත් නොබෝ දිනකින් තවත් අලුත් ටෙලි නාට්‍යයක් ඔබට තිළිණ කිරිමට සූදානමින් සිටියි.
තරුණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට දැන් ඔබ මේ ක්ෂේත්රය තුළ ස්ථාවරද?
වැඩ නම් කරනවා හැබැයි ඉතින් මේ ක්ෂේත්රය තුළ ස්ථාවරද නැද්ද කියලා නම් කියන්න බැහැ. ලංකාවේ දැන් තියෙන තත්තවයත් එක්ක මේ වෘත්තිය විතරක් නෙමෙයි කිසිම වෘත්තියක් ස්ථාවර තැනක අද නැහැ. මොකද, රට කොයි විදිහට පෙරළෙයිද රටේ ආර්ථිකය කොයි අතට දෝලනය වෙයිද කියන දේ හින්දා. කාලයක් තිස්සේ වැඩ කරන හින්දා යම් විදිහකින් මම මේ ක්ෂේත්රයත තුළ ස්ථාවර වෙලා තියෙනවා කියලා හිතනවා.
අධ්යක්ෂවරයෙක් විදිහට දැන් ඔබ නිර්මාණ රැසක් කරපු කෙනෙක්?
මුලින්ම මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට ටෙලි නාට්‍යයක් නිර්මාණය කළේ මෞන යාගය කියලා. දෙවැනියට ස්වර්ණවාහිනියේ වෙස් කියන ටෙලි නාට්‍යය. එය ඒ වසරේ රයිගම් ටෙලි සම්මාන උළලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත්වුණා. දෙරණ නාළිකාවේ විකාශය වුණ හේලි මගේ තුන්වැනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය. සිරසේ විකාශය වුණ දාම් හා මේ දිනවල එම නාළිකාවේම යන කියා දෙන්න ආදරේ තරම් මා විසින් අධ්‍යක්ෂණය කරපු තවත් ටෙලි නිර්මාණ දෙකක්. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයක වැඩ මේ දිනවල කරගෙන යනවා. නුදුරේම ඒ නිර්මාණයත් ප්‍රේක්ෂක ඔබට දැකබලාගන්න පුළුවන්.
එකම විදිහේ ටෙලි නිර්මාණ තමයි දැන් බිහිවෙන්නේ. ඒ ඇයි?
ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. මම හිතන විදිහට ඕනැම නාළිකාවක ජනප්‍රිය තලේ නාට්‍යයක් බිහි වුණොත් ඒ හැඩේ නාට්‍යය තව නාට්‍යය ගොන්නක් බිහිවෙනවා. ඒක තමයි මම දකින ඛේදනීයම තත්ත්වය. අලුත්ම විදිහේ තේමාවන් ඔස්සේ නව නිර්මාණ බිහි කරනවා වෙනුවට ගොඩක් වෙලාවට නාළිකාවලින් හා අධ්යක්ෂවරුන් වූ අපි පෙළඹිලා තියෙන්නේ ජනප්‍රිය වුණ නාට්‍යයක් තියෙනවා ඒ නාට්‍යයේ හැඩේට තව නාට්‍යයක් කරන එක. එහෙම කළා කියලා ඒවා ජනප්‍රිය වුණ අවස්ථා සැහෙන්න අඩුයි. අවස්ථානුකූලව ළඟම තියෙන විකල්පය තමා දැන් ඕක.
ලෝකය දිහා බැලුවොත් දැන් චිත්‍රපටවලට වඩා වැඩි තැනක් දෙන්නේ ටෙලි කතා මාලාවට?
ඔව්, මම හිතනවා ඒක හොඳ තත්ත්වයක්. මේ නිසා ටෙලි විෂන් එකටත් වෙනස්ම අත්දැකිමක් ඇවිල්ලා තියෙනවා දැන්. නෙට්ෆිල්ක්ස්, ඇමෙසන් ප්‍රයිම් වගේ ලොව ප්‍රමුඛතම ටෙලි නාට්‍යය නිෂ්පාදක ආයතන වෙනස්ම විදිහේ ටෙලි නාට්‍යය කතා බිහි කරන්න උනන්ඳු වෙලා තියෙනවා. ලංකාවෙත් දැන් ඒ වගේ හොඳ නිර්මාණ බිහිවෙමින් පවතිනවා. මටත් ඒ වගේ නිර්මාණයකට දැන් කතා කරලා තියෙනවා. නුදුරේම ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න ලැබෙයි.
විදෙස් ටෙලි කතා මාලා අවම දැන් කොටස් දහයකට අඩුයි. අපිට බැරිද ඒ වගේ නිර්මාණවලට යන්න?
ඇත්තටම බැරිකමක් නැහැ. දැනටමත් ඒ වගේ නිර්මාණ අත්හදා බැලිම් සිදුකරගෙන යනවා. හැබැයි ඒවාට යන වියදම ටිකක් වැඩියි. කොටස් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ යන වියදම වැඩි වෙනවා කියන එකයි. ඒකයි දැන් කොටස් අඩුවෙන් කරන නිර්මාණ අඩුවෙලා තියෙන්නේ. හැබැයි අතිතයේ මේ වගේ නිර්මාණ අපි කළා.
ක්‍රියාදාම, අත්භුත, වික්‍රමාන්විත ඝනයේ ටෙලි කතා මාලාවක් කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම අදහසක් තියෙනවා. නුදුරු අනාගතයේදී ප්‍රේක්ෂකයින්ට ඒ නිර්මාණ දැකබලා ගන්න ලැබේවි. දැනටමත් ඒ වගේ නිර්මාණ කිහිපයක් අපි කරගෙන යනවා. බලමු ප්‍රේක්ෂකයින්ට ඒ නිර්මාණ අලුත් අත්දැකිමක් එකතු කරයි කියලා හිතනවා මම.
බුද්ධික සේනාධීර