කාගෙවත් හොඳ නරක ඇඳුම් වලින් මනින්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන්ට ම අනන්‍ය වූ විලාසිතාවන්ගෙන් කලා ලෝකේ නමක් රැන්දූ සුරූපී තාරකාවක් ලෙස ට අනුෂා දමයන්ති නම් ඇයව හඳුන්වා දිය හැක. හැමදාමත් ලස්සනට අඳින ඇයට  අපි  මෙවර ෆැෂන්  පිටුව සරසන්නට  ආරාධනා කළෙමු.

ජීවිතේ වැඩිපුර කැමැති මොනවටද කියලා ඇහැව්වොත් ?

ඇත්තටම මම හරිම ආසයි ෆැෂන් කරන්න.

විලාසිතාවක් කියන්නේ මොකක් කියලද ඔබට හිතෙන්නේ?

කෙටියෙන්ම කිව්වොත් ජීවිතේම විලාසිතාවක්. විලාසිතා කියන්නේ ඇඳුම් පැළඳුම් විතරක්ම නොවෙයි. කන බොන විදිහ ,

අඳින  පළඳින විදිහ,කතා කරන විදිහ, ඇවිදින විදිහ,මේ හැම දේම  ගැලපීමකින් කළ යුතුයි.එතකොට යි  ජීවිතේම ඔප වැටෙන්නේ. ගැලපෙන ඇඳුමක් ඇන්දහම ලැබෙන වටිනාකම වගේම තමයි ජීවිතේම විලාසිතාවක් කියලා හිතලා හැම දෙයක්ම කළොත් අපි නොදැනුවත්වම එළියක් ජීවිතය ට  ලැබෙනවා.

විලාසිතා වලින් කෙනෙක්ව මනින්න පුලු‍වන්ද ?

කෙනෙක්ව මතුපිටින්  දුටු පමණින් ම චිත්‍රයක් මැවෙන්නේ ඔහු හෝ ඇය ඇඳන් ඉන්න ඇඳුම අනුව ....නමුත් මිනිස්සු හොඳ ද නරකද කියන එක නම් ඇඳන් ඉන්න ඇඳුමෙන් මනින්න බැහැ ....ඉරුණු කබායකින් වැසුණු පොහොසත් හදවත් තිබිය හැකි අතර  ....වටිනා ආයිත්තම් වලින් සැරසූ දිළිඳු හදවත් තිබිය හැකියි .එම නිසා කොහොමටත් ම ඇඳුමෙන් මිනිස්සු මනින්න බැහැ .

පුංචි කාලේ ඉඳලම විලාසිතා කරන්න කැමැති කෙනෙක්ද ඔබ ?

ඔව්.පුංචි කාලේ ඉඳලම ලස්සනට පිළිවෙලට පිරිසිදුව අඳින්නෙ කැමති කෙනෙක් .ඉස්සර හැමදාම හවසට ඇඟ හෝදවල අලු‍ත් ඇඳුම් අන්දවලා සපත්තු මේස් දාලා ගෙදර ට  තියන්න කියලා මං අම්මිට කියනවලු‍ .

අදටත් නිවසෙන් එළියට යන හැම වෙලාවකම මාගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන විදිහට මම ඇඳුම් අඳින්න පුරුදු වෙලා ඉන්නවා .මගේ වෘත්තීය රඟපෑම. රංගන ශිල්පිනියකට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ  අසීමිත ආදරයක්.  අසිමිත ගෞරවයක්.ඒ ලැබෙන ආදරය, ගෞරවය  ඒ ආකාරයෙන්ම ලබන්න නම් අපි අපේ ප්‍රතිරූපයත් ඔවුන්ට ප්‍රියමනාප විදිහට තබාගැනීම අත්‍යවශ්‍යයි.  කොයි වෙලාවේ පින්තූරයක් ගනීද? කොයි වෙලාවේ සෙල්ෆියක් ගන්න කතා කරයි ද කියලා දන්නේ නැති නිසා කඩේකට ගියත් මම යන්නේ හරිම ලස්සනට ඇඳලා .තිරයේ දකින අනුෂා දමයන්ති ම සැබැවින් ප්‍රේක්ෂකයන්ට  දකින්න සලස්වන්න මම නිතර උත්සාහ කරනවා.

”‍අනුෂා දමයන්ති ”‍කියන කෙනා කොහොම විලාසිතා කරන කෙනෙක් විදිහට ද ප්‍රේක්ෂකයා හඳුනාගෙන තියෙන්නේ ?

”‍හැමදාම ලස්සනට අඳින කෙනෙක් ”‍විදිහට තමයි මාව හැමෝම අඳුනගෙන තියෙන්නෙ.විලාසිතා කරනවා කියන එක පැකේජ් එකක් .

ඒක ඇතුළෙ ගැලපෙනදේ ගැලපෙන ඇඳුම් තෝරා ගන්නවා වගේම කොණ්ඩය පීරන විදිහ ආභරන පලඳින විදිහ තෝරා ගන්නා සපත්තු හෑන්ඞ් බෑග් ආදිය මෙන්ම මේ මේකප් කරන විදිහත් අපේ ලස්සන ඉස්මතු වෙන විදිහට තෝරා ගත යුතුයි .විලාසිතා කිරීමේ දී සැබෑවටම බුද්ධිමත් විය යුතුයි කියලයි  මගේ අදහස .

 

ඔබ වඩාත් කැමැති මොන වගේ විලාසිතා වලටද?

ඉන්දියානු විලාසිතා වලට මම ගොඩක් ආසයි.දිග සායවල්, ගවුම්,  ෂල්වාරි, සාරි මම හරිම ආසයි. කොයි විදියට ඇන්දත් ආභරණ ගොඩක් පළඳින්න මම ගොඩක් ආසයි....

වඩාත් ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන වගේ විලාසිතාවකින් සැරසුනාමද?

සාම්ප්‍රදායික ක්‍රමයට ඔසරිය ඇඳලා කොණ්ඬේ බෙල්ල ගාවට බැන්දහම හැමෝගෙන්ම වෙනදට වඩා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා ....ලස්සනයි කියන වචනෙ නිතර අහනවා .ඒකට තවත් හේතුවක් තමයි ශ්‍රී ලාංකීය සමාජය තුල විලාසිතා කිරීමේ දී අපි අපේ සම්ප්‍රදාය තුළ විලාසිතා කරනකොට නොදැනුවත්වම වටිනාකමක් ලැබෙනවා ....මොන විදිහට විලාසිතා කළත් අපිට අපේ සම්ප්‍රදාය අමතක කරන්න බැහැ කියන එක නම් නිතරම හැඟෙනවා.

පෞද්ගලිකව ඔබ විලාසිතාවක් තෝරා ගැනීමේදී මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්නේ?

මගේ වයස ,මගේ ඇඟේ හැඩය ,හමේ පාට,සහභාගි වන තැන ,වෙලාව ,ආදී කරුණු රාශියක් ගැන හිතලා බලනවා ....එහෙම නැතුව ආවට ගියාට නම් කවදාවත් විලාසිතා කරන්නේ නැහැ ...

විලාසිතා කිරීමේ දී ඔබට වඩාත් ගැලපෙන පාට?

මගේ හමේ පාටට ගැලපෙන විදිහට ලා පාට ඇඳුම් අඳින්න මම ගොඩක් කැමතියි.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවා ද?

විලාසිතා බිහිවන්නේත් , විලාසිතා   ප්‍රසිද්ධ වන්නෙත් අනුකරණයෙන් .නමුත් කරන්නන්වාලේ  අනුකරණය කරන්න ගියොත් වෙන්නේ ති​ෙයන ලස්සනත් නැති වෙන එක ....විලාසිතාවක් අනුකරණය කරන කොට මුලින්ම බලන්න ඕනේ ඒක තමන්ට ගැලපෙනවද කියලා  .මමත් හරිම ආසයි හින්දි සම්ප්‍රදායට අනුව විලාසිතාවන් තෝරා ගන්න. නමුත් සමහර ඒවා මට ගැළපෙන්නෙ නැහැ. සමහර දේවල් අපේ රටට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ හැම දෙයක්ම බලල මට ගැළපෙන විදිහට තමයි මම  විලාසිතා   තෝරා ගන්නේ.

යම් යම් අය ඔබ කරන විලාසිතා අනුකරණය කරන බව ඔබ දන්නවා ද?

ඕනෑ තරම් .මා කරන විලාසිතා අනුගමනය කරන බව අහලා දැකලා තියෙනවා .ඒ ගැන ගොඩක් සතුටුයි .

ඔබත් එන එන  විලාසිතා කරන කෙනෙක්ද?

ඒක මෙහෙමයි සමහර වෙලාවට මට ගැළපෙනවා නම් විතරක් මම කාලයේ තාලයට වෙනස් වෙන  විලාසිතා තෝරා ගන්නවා .ගැලපෙන්න නැත්නම්  මොනම  විදිහකටවත් විලාසිතා තෝරා ගන්නේ නැහැ .

මිල අධිකම ඇඳුම් , බ්‍රෑන්ඩඞ් ඇඳුම් අඳින්න පුරුද්ද ඔබටත් තියෙනවද ?

නැහැ. මට ගැළපෙනවා නම් පොඩි මුදලකට හරි තියෙන ගැලපෙන විලාසිතාවක් මම තෝරා ගන්නවා . ගොඩක් වෙලාවට මම රූපවාහිනී වැඩසටහන් වලට වගේම විශේෂ වැඩසටහන් වලට අඳින ඇඳුමක් ආයෙ අඳින්නේ නැහැ. ඒ නිසා ඉතින් ගොඩක්ම වටින ඇඳුමක් එක පාරක් විතරක් ඇඳලා  අයින් කරන්න  බැහැනේ.

ගැලපෙන විදිහට විලාසිතා කරහම මොන වගේ දෙයක් ද හිතට දැනෙන්නේ ?

ලස්සනට ගැලපෙන විදිහට ඇඳුමක් ඇඳලා කන්නාඩියක් ඉස්සරහට ගියාම හිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් .

ඇත්තටම  එය හිතට දැනෙන පුංචි  ආත්ම අභිමානයක් .කාන්තාවක් කියන්නේ අද්විතීය  චරිතයක්. ඒ චරිතය අනේක විද දරා ගැනීම හමුවේ අභිමානයකින් සතුටකින් සමාජය ඉදිරියට යන්නේ විලාසිතාවක් කිරීමෙන් වෙන්න පුළුවන්. ඒ නිසා විලාසිතාවක් කියන්නේ කාන්තාවක් සතුටින් තියන පුංචි බලවේගයක් කියලයි මටනම් හිතෙන්නේ.

අසුන්තා එදිරිසූරිය