ඕලු මාව වෙනස් කළා, අදටත් මට හුඟක් අය ආදරෙයි ඕලු හින්දා
මංජුලා කුමාරි කිව්වම අදටත් මංජුලාව බොහෝ දෙනා හඳුනන්නේ ''ඕලු'' කියලනේ. ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කරපු ''ඕලු'' ටෙලිනාට්‍යයේ ඕලුට පණ දුන්නු මංජුලා අදටත් ඒ චරිතයට හරි ආදරෙයි. ඒ චරිතයට විතරක් නෙමේ. ඒ චරිතය නිසා මංජුලාට ආදරය කරන ඇගේ රසික රසිකාවියන්ටත් අද එදා වගේම ආදරේ කියලයි මංජුලා කියන්නේ. ඉතින්.... මංජුලාගේ ජීවිතේ සහකාරුවා විදිහට ආපු චානුක දුන්නු අමතක නොවන උපන්දින මතකයන් ගැන මංජුලා කිව්වේ මෙන්න මේ විදිහටයි.
''චානුක... මට විවාහ වෙන්න යෝජනා කරපු මුල් කාලේ එයා අපේ අම්මා එක්ක එකතුවෙලා මගේ උපන් දිනේකට මාව සප්‍රයිස් කළා. එදා මම ගෙදර හිටියේ නැහැ. හවස ආවා ''අපි අද එළියට යමු'' කියලා කිව්වා. මාත් ඉතින් අම්මලා එක්ක එළියට ගියා. ඒ යද්දී තමයි අම්මයි චානුකයි එකතුවො මාව පුදුම කරන්න සූදානම් කරලා තිබුණ උපන්දින සැමරුම දැක්කේ. එදා අපේ ගෙදර අයයි, චානුගේ ගෙදර අයයි, කීප දෙනෙකුයි එක්ක හරි අපූරු උපන් දින සැමරුමක් ගත්තා. හැබැයි මටත් හොරා ඒක අපේ අම්මයි, චානුකයි තමයි ලෑස්ති කරල තිබුණේ.
• බැණුම් දඬුවම් ආදරය ඔක්කොම ලැබුවා
මංජුලා ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා බාලිකා විදුහලේ. මංජුලා කියන්නේ නම් පාසැල් ගුරුවරුන්ගෙන් බැනුම්, දඬුවම් වගේම පාසලේදී හොඳ වැඩත් කරපු, ගුරුවරියන්ගේ ආදරයත් දිනාගත්තු ශිෂ්‍යාවක් කියලයි.
''පාසැලේදී මම නර්තනය පැත්තෙන් ඉදිරියෙන්ම හිටියා. ශිෂ්‍ය නායිකායක් විදිහට ඒ ලාංඡනය පැළඳි මොහොත මට මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒක හරි අපූරු සුන්දර මතකයක්. ඒ වගේම මම තූර්යවාදක කණ්ඩායමේ ඉඳලා ඒ කණ්ඩායමේ නායිකාවක් විදිහට තේරුණු දවසත් මට අමතක වෙන්නේ නැහැ. යාළුවෝ එක්ක ගතකරපු පාසැල් කාලය හරි සුන්දරයි. කොණ්ඩ දෙකක් ගොතලා පාසැල් ගියපු කාලය අදටත් මට හොඳට මතකයි. විභාග ප්‍රතිඵලවලින් හොඳින් සමත් වෙලා හිතට දැනුණු සතුට අදටත් මට වචනවලට පෙරලන්න තේරෙන්නේ නැහැ.
• පුතා ඉපදෙන්න කලින් මී වදයක්
මංජුලා අද දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ලොකු පුතා ඕලිත. චූටි දූ බිනෝලි. ඔන්න ඉතින් මුලින්ම මව් පදවිය ලබන කාලය හරි අපූරු අත්දැකීම් ගොන්නකට මංජුලාත් මුහුණ දුන්නා කියලයි ඇය කියන්නේ.
''පුතාව මුලින්ම ස්කෑන් කරලා එයාගේ හදවතේ සද්දය අහන්න දීපු දවස මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු දවසක් වුණා. ඒක වෙනස්ම අත්දැකීමක්. පුතෙක් කියලා මුලින්ම ඩොක්ටර් කියපු දවසත් මට හරි සතුටු දවසක් වුණා. නුහුරු නුපුරුදු අත්දැකීම් ගොඩකට මම මුහුණ දුන්නා. පුතා ඉපදෙන්නට දවස් කීපයකට කලින් අපේ ගෙදර මී වදයක් බැන්දා. ගෙදර විතරක් නෙමේ අපේ වාහනයේ ලයිට් එකක පවා මී වදයක් බැඳලා තිබුණා. ඒවා හොඳ සුබ සලකුණු වුණා ''වාසනාවන්ත දරු පැටියෙක්'' කියලයි ඒ ගැන දැනගත්ත බොහෝ දෙනා අපිට කිව්වේ. පුතාට පස්සේ අපිට දුවෙක් ලැබුණා. දැන් අපේ ජීවිතේ හරි සතුටින් ගෙවිලා යනවා.
• චොකලට් පෙත්තකින් රූප පෙට්ටියට
මංජුලා රූපවාහිනියෙන් වෙළඳ දැන්වීමකින් තමයි මුලින්ම දකින්න ලැබෙන්නේ. ඒ චොකලට් වෙළඳ දැන්වීමකින්. ඒ වෙළඳ දැන්වීම රූගත කෙරුණේ ටෙලිවිව් ආයතනය හරහායි. හැබැයි ඊට පෙර දයා නෙල්ලම්පිටිය මහත්මිය හරහා ''ගුරුගෙදර'' රූපවාහිනී වැඩසටහන් හරහා නර්තනයේ යෙදුණා.
''චොකලට් වෙළඳ දැන්වීමෙන් පසුව බුදවත්ත නර්තනායතනයේදී ළමයි බොහෝ දෙනා අතරින් ළමයින් දහ දෙනෙක් තෝරාගනිද්දී මාවත් තෝරා ගත්තා. එදා මට ගොඩක් සතුටු දවසක්. ඒ කාලේ මගේ කොණ්ඩේ ගොඩක් දිගයි. ඔය අතරේ ආචාර්ය ආරියරත්න ඇතුගල සර් අධ්‍යක්ෂණය කරපු ඒකාංගික ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍ය රූගත කරද්දී මුල්ම දර්ශනය ජෝ අබේවික්‍රම මහතා එක්ක රඟපාන්නයි මට තිබුණේ. ඒකත් මට හරි අපූරු අත්දැකීමක්. බයක් හිතේ නොතිබුණාම නොවෙයි. ප්‍රවීණ, දක්ෂ, ජෝ අබේවික්‍රම මහතා එක්ක රඟපෑමත් ජීවිතේ අපූරු අත්දැකීමක්. ඒ වෙද්දීත් මම ඕලු ටෙලිනාට්‍යයේ රඟපාලා තිබුණේ නැහැ.
• ඕලු මාව වෙනස් කළා, අදටත් මට හුඟක් අය ආදරෙයි ඕලු හින්දා...
''ඕලු'' රංගනයේදී මංජුලාගේ හැරවුම වුණු නිර්මාණයයි.
''ඕලු'' චරිතය මගේ ජීවිතේ සුවිශේෂී වුණා. ඕලු පිටපත මට ලැබෙද්දී තව පිටපත් පහක්ම මට ලැබිලා මගේ ගෙදර තිබුණා... හැබැයි ඒ අතරින් මම ''ඕලු'' පිටපත තෝරාගන්නට වාසනාවන්ත වුණා. ඒක ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණයක්. මුහුරත් උළෙලේදී පවා ඒක විශේෂයි කියල මට දැනුණා. ඒකට එකතුවුණ අනිත් පිරිස හරි දැවැන්තයි. ප්‍රවීණයි. ඒ නිසාම ඕලු අපූරු නිර්මාණයක් වුණා. ''ඕලු'' විකාශනය වීම් පටන් ගත්තු දවසේ සිට මට හිතාගන්නවත් බැරි තරමේ හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝ සම්මාන උළෙලවල්වල මගේ නම නිර්දේශ වුණා. ''ජනප්‍රිය නිළිය'' සම්මානය ලැබෙද්දී මගේ හිතට පුදුම සතුටක් දැණුනා. අදටත් ඕලු නිසා මට ආදරේ කරන හැමෝටම එදා වගේම මම ආදරෙයි.
දිශානි