ඕනෑවට වඩා ප්‍රශ්නවලට මැදිහත් වෙන්න යන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තත්සරණි පියුමිකා රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු රංගන ශිල්පිනියන් අතරින් එක් චරිතයක්. ඇයගේ අරමුණ වන්නේ කලා ක්ෂේත්‍රයේ රංගන අංශයෙන් සාර්ථක ගමනක් යාම. ඒ ගැන ඇය සඳැල්ලට පැවසුවේ මේ විදියටයි.

නිෂාරා සහ රුචී නිසා අද තත්සරණි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවානේ. ඉතින් මේ රංගනයන් ගැන මුලින්ම කතා කරමු?

ඔව්. ඇත්තටම මේ දිනවල මේ චරිත රංගනයන් දෙක නිසා මට ගොඩක් දෙනෙක්ගෙන් ප්‍රතිචාර ලබා ගන්න හැකිවෙලා තියෙනවා. නිෂාරා සහ රුචී කියන චරිත දෙක ඉන්නෙ අද ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් දිනා ගන්න ලැබිලා තියෙන ටෙලි නිර්මාණ දෙකක් වන සිරස නාලිකාවේ රාත්‍රී 8.30 විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නිර්මාණයේ සහ ස්වර්ණවාහිනියේ විකාශය වන පාර දිගේ නිර්මාණයේ.

මේ චරිත දෙක දෙවිදියක්. කියාදෙන්න ආදරේ තරම් හි රුචී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇය තමන්ගේ යාළුවා වෙනුවෙන් ඇයගේ ප්‍රශ්න හමුවේ ඒ දේවල්වලට සහයෝගය දීගෙන ඇය ගැන හොයලා බලලා කටයුතු කරන හොඳම යෙහෙළියකගෙ චරිතයක් තමයි කරන්නේ. සමහර වෙලාවට ඕනෑවට වැඩිය යාළුවාගේ දේවල්වලට ඇඟිලි ගහනවා වගේ කියලත් හිතෙනවා. ඒ වගේ ප්‍රතිචාරත් මට ලැබෙනවා. කොහොම නමුත් ඒ රුචී කියන චරිතයේ ස්වභාවයනෙ. ඉතින් රුචී කියන්නෙ සෙසු චරිත රංගනයක් වුණත් ඒ ගැන කතාබහට ලක්වෙලා තියෙනවා මේ වෙද්දී.

ඒ වගේම පාර දිගේ නිර්මාණයේ දඟකාර, කටකාර ගැහැණු ළමයෙකුගෙ චරිතයක් කරන්නෙ. නිෂාරා චරිතයට මුලදී නම් ටිකක් බැනුම් අහන්නත් සිදු වුණා. මොකද ඒ තුළ ඇය තමන්ගෙ සහෝදරිය එක්ක රණ්ඩු වෙන සිදුවීම් එහෙම තිබුණා මට රංගනයෙන් ඉදිරිපත් කරන්න. නමුත් මේ වෙද්දී නම් ඒ චරිත රංගනය සහ එහි ස්වභාවය ප්‍රේක්ෂකයෝ තේරුම් අරගෙන ඉන්නවා. 

කියා දෙන්න ආදරේ තරම්’ නිර්මාණයේ රුචී ටිකක් පණ්ඩිතයි යාළුවාගේ ප්‍රශ්නවලට වැඩිපුර මැදිහත්වීමක් වගේ ඒ තුළ තියෙනවා කිව්වනෙ ? ඇත්ත ජීවිතේ යාළුවන්ගේ ප්‍රශ්නවලට එහෙම මැදිහත් වෙලා නැද්ද?

ඇත්තටම මට ගොඩක් යාළුවො නැහැ. ඉන්නෙ තුන් හතර දෙනෙක් වගේ තමයි. ඒ අයගේ වුණත් ප්‍රශ්නවල දී මට කතා කරන්න පුළුවන් තැන්වල උවමනා තැනට විතරක් මම කතා කරනවා. ඕනෑවට වඩා ප්‍රශ්නවලට මැදිහත් වෙන්න යන්නෙ නැහැ. එහෙම අනවශ්‍ය විදියට මැදිහත් වෙන්න ගියොත් තියෙන යාළුකම් පවා නැති වෙන්න පුළුවන්නෙ. ඒ නිසා ඕනෑ උදව්වක් මට පුළුවන් විදියට කරන්නෙ සීමාවේ ඉදන් තමයි.  රුචී තරම් නම් කොහොමත් මැදිහත් වෙන්න යන්නෙ නැහැ.

රංගනයට සම්බන්ධ වීම  තත්සරණි බලපොරොත්තුවෙන්  හිටපු දෙයක් මල්ඵල ගැන්වීමක් ද?

ඔව්. ඇත්තටම මම පුංචි කාලෙ ඉඳන්ම රංගනයට ගොඩක් කැමතියි.  ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න මම ගොඩක් උත්සාහ කළා. නමුත් ඉතින් එක්වරම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැනෙ. නමුත් උත්සාහය අත්ඇරියෙ නැහැ. ඒ නිසාම මම 2020 වසරේ දී ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වෙන්න අයදුම්පත්  යොමු කරනවා.

ඒ තරගාවලියෙන් අවසන් 12දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා තමයි මගේ මේ ගමනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

තත්සරනිම ද මේ තරඟයට අයදුම්පත යොමු කළේ.

ඔව්. මට ඕන වුණේ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් අවස්ථාවක් හොය හොයා ඉද්දී තමයි මට හිතුණේ අයදුම් කරන්න. ඊට පෙරත් මම රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හොයලා බැලුවා. පුවත්පත්වලින් හොයලා බැලුවා. ඒ සම්බන්ධ වෙන්න තිර පරීක්ෂණවලටත් සම්බන්ධ වුණා.

ඒත් ඒ දේවල් සාර්ථක වුණේ නැහැ. ඉන් පසුව තමයි අම්මා එක්කත් කතා කරලා මම 2020 වසරේ අයදුම් පතක් යොමු කළේ. නමුත් ඒ කාලයේ රටේ පැවති කොරෝනා වසංගතයත් එක්ක 2020 තරඟය 2021 දක්වා කල් ගියා. 2021 තමයි තරඟය පැවැත් වූවේ. ඇත්තටම මේ තරඟයට සම්බන්ධ වුණේ ජයග්‍රහණය කරන්න හිතාගෙන නෙමෙයි. නමුත් ඉතින් අවසන් තරඟකරුවන් 12 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා. ඒ ගමන් මගේ ඇරඹුම එක්ක තමයි මට මේ නිර්මාණ දක්වා එන්න හැකියාව ලැබුණේ.

එදා හීනයක් වෙලා තිබූ රංගනය අද සැබෑවක් බවට පත්වෙලා. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

ඒ ගැන තියෙන්නෙ ලොකුම ලොකු සතුටක්. ඒ සතුට වචනවලට පෙරළන්න බැහැ. මට අද වෙද්දි මගේ රංගනය වෙනුවෙන් ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. ඇත්තටම  මේ හීනයට එන්න මට ලොකු උදව්වක් වුණා ශිවගුරුනාදන් අධ්‍යක්ෂවරයා සහ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයා. මම මුලින්ම සම්බන්ධ වුණේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයගේ ‘දාම්’ ටෙලි නිර්මාණයට. එහි පුංචි කොටසකට තමයි සම්බන්ධ වුණේ. ඒ තැනින් පසුව ඔහු ‘කියා දෙන්න ආදරේ තරම්’ නිර්මාණයට මාව සම්බන්ධ කර ගත්තා. එතැනින් පසුව මට චරිතයක් විදියට රංගනයේ යෙදෙන්න ලැබුණෙ ජය ප්‍රකාශ ශිවගුරුනාදන් මහත්මයගෙ ‘‘පාර දිගේ’’ නිෂාරා චරිතය වෙනුවෙන්.

මේ චරිත රංගනයන් කරද්දී කොයි වගේ සහයෝගයක් ද මේ කණ්ඩායම් තුළින් ලැබුණෙ ?

ඇත්තටම මේ කණ්ඩායම් දෙකෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම මුලින්ම ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙද්දී ලොකු අත්දැකීමක් තිබුණෙ නැහැ. එහි රූගත කිරීම්වලට ගිය පළමු දවසෙම මට දර්ශන වාර 8ක් වගේ තිබුණා. ඒ වෙද්දී මට දෙබස් මතක හිටින්නෙත් නැහැ. හතර වටේම කැමරා ඔන් කරලා. ඒ මොහොතේ දී මට ලොකු බයක් ඇති වුණා. හරිම නුහුරු ගතියක් තිබුණේ. ගොඩක්ම බය වුණේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියෙත් ප්‍රවීණ රංගන ශිල්පීන්. නමුත් රංගනයෙ යෙදෙද්දී මට අධ්‍යක්ෂවරයා ඇතුළු රංගන ශිල්පීන් හැමෝගෙම උපරිම සහයෝගයක් ලැබුණා. හැම පැත්තෙන්ම දිරිමත් කළා කැමරාවට බය නැති කරලා හොඳ සහයෝගයක් ලබා දුන්නා. එදා සිට අද දක්වාම ගොඩක් ආදරණිය විදියට අපිව මෙහෙයවනවා ඒ නිසා දැන් පෙරට වඩා හොඳින් චරිත රංගනයන් කරගෙන යන්න හැකිවෙලා තියෙනවා. පෙරට වඩා ලැබෙන ප්‍රතිචාරත් හොඳ මට්ටමක තියෙනවා.

මීට පෙර රංගනය පිළිබඳ අත්දැකීම් තිබිලා තියෙනව ද ?

ඇත්තටම නැහැ. මට පාසල් වේදිකාවෙවත් අත්දැකීමක් තිබුණ කෙනෙක් නෙමෙයි. මම පාසල් ගියේ කොළොන්න බාලිකාවට. ඒ පාසලේ මම සබකෝලෙ තිබුණු චරිතයක්. පිටි පස්සෙම හිටපු කෙනෙක්. වැඩි කතා බහක් නැහැ. හරිම අහිංසක විදියට හිටියේ. ඉතින් එදාට වඩා හාත්පසින්ම අද වෙද්දී වෙනස්ම ජීවිතයක් මේ උදාවෙලා තියෙන්නෙ.

එදා සබකෝලෙන් හිටපු තත්සරණි ගැන අද යාළුවෝ මොකද කියන්නේ?

යාළුවන්ටත් ඇත්තටම හිතාගන්න බැහැ. මම අද ඉන්න තැන ගැන. මගෙ දුරකතන අංකය හොයාගෙන කතා කරන කෙටි පණිවිඩ එවන යාළුවෝ ඉන්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රතිචාර දක්වන පිරිස ඉන්නවා. ඉතින් ගොඩක් දෙනා කියන්නෙ ඉස්කෝලෙ පැත්තකට වෙලා හිටපු ළමයා දැන් ගොඩක් වෙනස් වෙලා කියලා. ඒ හැමෝටම හිතා ගන්න බැහැ මේ මම ද කියලා. 

ගෙදර අයගෙ ප්‍රතිචාර කොහොම ද?

මුලින්ම තාත්තානම් කැමති වුණේම නැහැ රංගනයට සම්බන්ධ වෙනවට. නමුත් මගේ ආසාව නිසා ඒ ගැන කියලා කියලාම තාත්තාගෙ කැමැත්ත ලබා ගත්තා. නමුත් රූගත කිරීම්වලට යද්දී අම්මා පිටි පස්සෙන්ම ඉන්නවා. ඒ නිසා තාත්තා ඒ දේට අවසරය ලබා දීලා තියෙනවා. තාත්තා කියන්නේ මගේ ගෞරවයත් තියාගෙන පවුලේ ගෞරවයත් තියලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න කියලා.

රංගනය ද තත්සරනිගෙ ජීවිතේ ?

දැන් නම් ජීවිතේ වෙලා තියෙන්නෙ රංගනයට තමයි. මීට පෙර මම වෙනත් රැකියාවක නිරත වෙලා හිටියා. නමුත් රංගනයට පිවිසීමත් එක්ක මට රැකියා ස්ථානයෙන් නිවාඩු ලබා ගන්න අපහසුයි. ඒ නිසා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් එක්ක ඒ රැකියාවෙන් ඉවත් වෙලා  රංගනයට මුල් තැන දෙන්න හිතුවා.

දැන් රංගනයෙන් තමයි ඉදිරියට යන්න කැමති. විවිධාකාර චරිත රංගනයන් තුළින් හොඳ නිර්මාණ අතරට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. තව මේ ක්ෂේත්‍රය තුළ මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හිතනවට වඩා මේ ක්ෂේත්‍රය බැරැරූම්. මේ වෙනම විෂයක්. ඉතින් මම පියවරෙන් පියවර මේ තුළ සාර්ථක ගමනක් යන්න තමයි හිතන්නෙ. ඒ ගමන් මාර්ගය තුළ සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්න තමයි උත්සාහ කරන්නෙ.

ධනු විජේරත්න / ඡායාරූප - අමාල් රෝෂ්