ඕනෑම චරිතයක් රඟපාන්නම් - ගාමිණී විජේවර්ධන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු නමින් සිරිදාසය. ඒ චූලා ගේ පියාය. ගැමි චරිතයක අහිංසක පියකු ගේ චරිතයට පණ පොවන ඔහු සැබෑ ජීවිතයේ ගාමිණී විජේවර්ධනය. 

දෙරණ රූපවාහිනියේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 7.30 ට සිරිදාස ඔබේ ආලින්දයට පැමිණෙනු ඇත.
ප්‍රවීණ නාට්‍යවේදී සුගත් සමරකෝන්ගේ ‘පුරන්අප්පු’ වේදිකා නාට්‍යයෙන් කලා ලොවට අත්පොත් තබන ඔහු එතැන් පටන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබමින් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සිරිතුංග පෙරේරාගේ ‘මුතුලන්ද’ ටෙලිනාට්‍ය ඔස්සේ රූපවාහිනියට පිවිසියේය. 
ගාමිණී තම කලා දිවිය ගැන මෙසේ අදහස් පළ කළේය.

“පසුගිය කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝම බිමටම කඩාගෙන වැටුණා. විශේෂයෙන් කලාකරුවෝ විශාල අර්බුද රාශියකට මුහුණ දුන්නා. නැවත රට විවෘත කිරීමත් එක්ක යම් සැනසිලිදායක තත්ත්වයක් ඇතිවුණා. දැනට ටෙලිනාට්‍ය 6 ක් පමණ කරලා තියෙනවා. ‘සිහිනයට පෑ දේදුන්නක් සේ’, ‘මහවිරු පණ්ඩු’, ‘පින්කෙත’ ඇතුළු ටෙලිනාට්‍ය තුළින් ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයේ දාමරික චරිතකයකට පණ පොවනවා. මේ දිනවල එහි රූගත කිරීම් සිදුකරනවා. 

ඒ වගේම ‘ගාඩි’, ‘මිදුණු විශ්වය’, ‘සිරි සිද්ධා’, ‘යක්ෂා දේශය’, ‘ගුත්තිල’ ඇතුළු චිත්‍රපට කීපයකත් රඟපෑවා. ඉදිරියේදී එම චිත්‍රපට තුළින් ඔබ හමුවට එන්නත් මා බලාපොරොත්තු වෙනවා. රංගනයට ආදරය කරන කලාකරුවෙක් හැටියට ඕනෑම අභියෝගාත්මක චරිතයකට පණ පොවන්න මට හැකියාව තියෙනවා. තවත් ටෙලිනාට්‍ය දෙක තුනකින් රංගනයට ආරාධනා ලැබී තියෙනවා. රංගනය තුළින් ජනහදවත්වලට සමීප වෙන්න මා බලාපොරොත්තු වෙනවා.

මේවන විට ප්‍රවීණ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා යටතේ වැඩිදුර රංගනය හදාරනවා. මෙතෙක් ක්ෂේත්‍රයේ රංගනයෙන් දායකවීමට උදවු උපකාර කළ සියලු දෙනාටම ස්තූතිය පුදකිරීමට අවස්ථාවක් කර ගන්න අතර ‘ඩිල් ෆිල්ම්ස්’ ආයතනයේ ලාල්, ප්‍රවීන් ජයරත්න, උදිත ගුණරත්න යන මහත්වරුන්ට මගේ හෘදයාංගම ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.”

ගයාන් සූරියආරච්චි