ඔයා වැඩිකල් ජීවත්වෙයි කියලා ඔයා හිතනවද? ජෝ දවසක් බන්දුගෙන් අහලා
බන්දු සමරසිංහ නම කිවූ සැණින් පුංචි සිනහාවක් එක්ක ඔහුගෙ රූපේ අපේ මනසෙ මැවෙනවා. ඒ ඇත්තට ඔහුගෙ රූපෙද? නැත්නම් රිදී තිරයෙ ඔහු ප්‍රතිනිර්මාණය කරපු සිනමා රූපයද? ඒක හරියට දන්නෙ බන්දුම තමා.
කොහොම වුණත් ඔහුට තරමක් දුරින් ඉඳලා, අපි බන්දු සමරසිංහ කියන චරිතය ගැන හොයලා බැලුවා. අපිට ඕනෑ වුණේ රිදී තිරයෙන් එහාට බන්දු ගැන දැනගන්න. ඇත්තටම ඔහුගේ කතාව අපි හිතනවට වඩා වෙනස්. ඒ නිසාම තමා අමුතු චරිත විශේෂාංගයෙන් බන්දු ගැන කතා කරන්න හිතුවෙ.
අපි දකිනවට වඩා බන්දු සමරසිංහ වෙනස් චරිතයක් කියලා තේරුම් ගන්න නම් ඔහුගේ බාල කාලේ ගැන තොරතුරු හොයලා බලන්න වෙනවා. කෑගල්ල තිහගොඩ ප්‍රදේශයේ ජන්ම ලාබය ලබපු බන්දුගෙ මව ගුරුවරියක්. පියා ප්‍රකට කාර්මික ශිල්පියෙක්. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් තමා මේ අපූරු චරිතය අධ්‍යාපනය හදාරලා තියෙන්නෙ.
ඔබ මෙහෙම කිව්වොත් පුදුම වෙයි, නළුවෙක් නොවුණා නම් ඇතැම් විට බන්දු සමරසිංහ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තිබුණා. එහෙම කියන්න හේතුව තමා කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රකට ක්‍රිකට් පාසලක් වන, ශාන්ත මේරිස් කොලීජියේ ක්‍රිකට් කණ්ඩායම බන්දු සමරසිංහ ක්‍රීඩකයා ලබාදුන්න නායකත්වය.
1969 වසර ඔහු නායත්වය දරපු වකවානුව. මේ වසරේදී කෑගලු විද්‍යාලය සමඟ පැවති පාඨශාලාන්තර තරගය (බිග් මැච්) ජයග්‍රහණ කරා මෙහෙයවන්න බන්දු සමත් වුණා. වසර 10 කට පසුව තමා බන්දු සමරසිංහ ඇතුළු කණ්ඩායම සිය විද්‍යාලයට ශූරතා පළිහ අරගෙන ආවේ. මේක අදටත් බන්දුගෙ පාසලේ ඓතිහාසික වාර්තාවක්.
බන්දු සමරසිංහ පිළිබඳ ඉතිහාසය හොයලා බලද්දී, ඔහු ඒ කාලේ හොඳ ආරම්භක පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. අපිට එහෙමයි දැනගන්න ලැබුණෙ. වතාවක් ඔහුම මාධ්‍යයට කියපු විදිහට මෙරට අතිශ්‍ය ජනප්‍රිය ක්‍රිකට් තරගාවලියක් වන ''සරා'' කුසලාන තරගාවලිය පවා බන්දු සමරසිංහ ක්රීඩාකරලා තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙවෙයි පාසල් සමයේදී තවත් විවිධ ක්‍රීඩා ඉසව් රුසක බන්දුගේ දක්ෂතා කැපී පෙනුණ බව කියැවෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට වගේම පාපන්දු ක්‍රීඩාවටත් බන්දු දැඩිව ඇළුම් කළා. එකම වකවානුවක පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා විදිහටත් පාසල් පාපන්දු කණ්ඩාමේ දැල් රකින්නා ලෙස විදිහටත් බන්දු සමරසිංහ කටයුතු කරලා තියෙන්නෙ ඒ නිසා.
වතාවක් බන්දු සමරසිංහ රූපවාහිනී වැඩසටහනකදී කියලා තිබුණ විදිහට, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සමඟ පැවති පාපන්දු තරගයකදී ඔහු නිරත වෙලා තිබුණෙ අපූරු වික්රමයක. කිංස්වුඩ් විද්‍යාලය ගෝල 15කින් ජය ලැබූ මෙම තරගයේදී දැල් රකින්නා ලෙස කටයුතු කළ බන්දු කිංස්වුඩ් ක්‍රීඩකයන් විසින් එල්ලකරනු ලැබූ ඉලක්කගත පහර තිහෙන් පහර පහළොවක් වළක්වාගන්න සමත්වෙලා තියෙනවා. කණ්ඩායම පරාජය වුණත් තරගය අවසානයේදී නරඹන්නන් බන්දු සමරසිංහ දැල් රකින්නාගෙ දක්ෂතාවයට උණුසුම් ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා.
හාස්‍ය උත්පාදක රංගධරයෙක් විදිහට ජනාදරයට පාත්‍ර වුණ බන්දු සමරසිංහ සිනමා භාවිතාව තුළ මෙතෙක් ලොල් වුණු පරිච්ඡේද රුසක් තියනවා. ඉතිහාසයේ ලියැවී ඇති විදිහට බන්දු සමරසිංහයන්ගේ සිනමා ජිවිතය ආරම්භ වන්නේ 1971 ‘සදහටම ඔබ මගේ’ නම් වූ සිනමාපටයෙන්.
ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු මිල්ටන් ජයවර්ධන මහතගේ ඇරයුමෙන් තුරුණු වියේම බන්දු යන්ගේ සිනමා ආගමනය සිද්ධ වෙන්න. එදා සිනමාවට ආපු බන්දුට ශක්තියක් වුණේ ඒ චිත්‍රපටය නිෂ්පාදන කරපු ඔහුගේ ඥාතියකු වූ සේන සමරසිංහ මහත්මයා.
"බන්දු සමරසිංහ නම් ක්‍රීඩකයා රිදී තිරයේදී අතුරුදන් වුණා" කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ ඒ කතාව ඊට වඩා වෙනස්. රණ හංසි, චෙරියො කැප්ටන්, ඔක්කොම කනපිට වගේ සිනමා නිර්මාණ රුසක ක්‍රියාදාම රංගනයන්ට බන්දු සමරසිංහ දායක වෙලා තියෙනවා. තමන් වෙනුවට බිහිසුණු ක්‍රියාදාම ජවනිකා රඟදැක්වීමට එවන් ක්‍රියාදාම ජවනිකා නිරූපණ පුහුණු ශිල්පීන් එදා බන්දු යොදාගෙන නෑ. එම චිත්‍රපටවලදී බන්දු සමරසිංහ ඒ ජවනිකා නිරූපණය කළා.
සැබැවින්ම එවන් වික්‍රමයන් පෑමට හුදෙක් හාස්‍ය උත්පාදක රංගධරයෙක් ලෙස අප හඳුනාගෙන සිටින බන්දු සමරසිංහ හට හැකි වුණේ ඔහු සතුවුණ ක්‍රීඩා කෞෂල්‍ය නිසා කියලා අපිට හිතන්න පුළුවන්. අද ඔහුත් එය විශ්වාස කරනවා. ඔහුම පවසා තියෙන ආකාරයට ''චෙරියෝ කැප්ටන්'' නම් සිනමා පටයේ යතුරුපැදියක නැගී කරපු ක්‍රියාදාම ජවනිකාවක් අවසානයේදී, ජෝ අබේවික්‍රම බන්දු තමා අසලට කැඳවලා අපූරු කතාවක් කියලා.
එවන් ජවනිකා සිදු කිරීමට ඒ හා සම්බන්ධ ප්‍රවීණයන් යොදාගන්නා ලෙස ජෝ අබේවික්‍රම බන්දුට පැහැදිලි කරලා තියෙන්නේ.
''බන්දු ඔයා හිතනවද? ඔයාට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා.''
''ජෝ අයියේ, මම නම් හිතන්නෙ නෑ එච්චර කල් ඉඳියි කියලා...''
ඒ බන්දු සමරසිංහ නම් රංගධරයා දුන් උත්තරයයි. ඔහුගේ වික්‍රමාන්විත චාරිකාව තවත් සුරක්ෂිතය. ඔහුගේ චාරිකාව තවත් බොහෝදුර දිවෙනු ඇත. දිගාසිරි බන්දු...!