Saaravita.lk|| ඒකාකාරී චරිත වලට මම නිතරම කොටු වෙන්න ආස නැහැ

ඒකාකාරී චරිත වලට මම නිතරම කොටු වෙන්න ආස නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කියා දෙන්න ආදරේ තරම්, බන්ධනා ඉන්ටර්නැෂනල් 2 හා කෝලම්කුට්ටම් වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබ දුටු ඉෂංකා අබේසේකර මෑත කාලයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. මේ වනවිට මලයාලම් සිනමාවටද සම්බන්ධ වීමට අවස්ථාවක් උදා කරගෙන ඇති ඉෂංකා සිය කලා දිවියේ අලුත් තොරතුරු අපට පැවසුවේ මේ අයුරිනි.

ඉෂංකා කියන්නේ දැන් ජනප්‍රිය රංගන ශිල්පිණියක්?

මමත් එහෙම හිතනවා ලැබෙන රසික ප්‍රතිචාර එක්ක බලද්දි. හැබැයි මට කියන්න බැහැ මම ජනප්‍රියද නැද්ද කියලා. මොකද, ඒක තිරණය කරන්නේ අපිට ආදරය කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණිය රසික පිරිස. පසුගිය වසරේ පැවති සුමති ටෙලි සම්මාන උළලේදී  මම ජනප්‍රිය මුල් රංගන ශිල්පිණියන් පස්දෙනා අතර මගේ නමත් තිබුණා. ඉතින් ඒ දිහා බලද්දි මම හිතනවා මම දැන් ජනප්‍රිය අයගේ පිරිසේ ඉන්නවා කියලා. ආපු කෙටි කාලය ඇතුළත මට අවංකවම ලැබුණ වටිනාම ප්‍රේක්ෂක ඇගයීම. මම ඒ සම්බන්ධව නිහතමානීව සතුටු වෙනවා. මොකද ඒ හැම මනාපයක්ම මගේ රටේ මිනිස්සුන්ගෙන් මට ලැබුණ ආදරය කියලයි මම හිතන්නේ.

පසුගිය කාලේ එකදිගට ඔබව ජනප්‍රිය නිර්මාණවල අපිට දකින්න ලැබුණා?

ඔව්, කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනි චරිතය මගේ කලා ජීවිතේ වෙනසක් කරන්න විශාල බලපැමක් වුණා කිව්වොත් හරි. මම හිතන්නේ මගේ රංගන දිවියේ මම කරපු හොඳම ටෙලි නාට්‍යය රංගනය ඒක. ඊට අමතරව ඉන්ටර්නැෂනල් දෙවැනි කතා මාලාවේ සාගරිකා කියන චරිතය, බන්ධනා ටෙලි නාට්‍යයේ පෙරපාසැල් ගුරිවරියගේ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා ප්‍රේක්ෂකයින් අතර. තව ගත්තොත් කෝලම් කුට්ටම් හා රූනි ටෙලි නාට්‍යයවල කළ චරිතත් ප්‍රේක්ෂකයින් අතරට ගියා.

දැනට ඔබ ගීත රූප රචනා විශාල ප්‍රමාණයකට දායක වුණ කෙනෙක්?

ඔව්, දැනට මම ගීත රූප රචනා තිහකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. මාව බොහෝ දෙනෙකු අඳුනගත්තෙත් මුලින්ම රූප රචනාවක් හරහා. ඒ යසස් මැදගෙදර ගැයූ චන්ද්‍රපානි ගීතය තුළින්. අදටත් මම දායක වුණ හොඳම හා සිත්ගත් නිර්මාණය තමයි චන්ද්‍රපානි කියන්නේ.  මෑතකදිත් මම ගිත රූප රචනා කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අතරින් සංඛ දිනෙත් අයියාගේ අලුත්ම ගීතයටත් පෙනි හිටියා. තව මම පෙනී හිටිය අලුත් මියුසික් විඩියෝ දහයක් විතර නිකුත් වෙන්න තියෙනවා.

ඉෂංකට මැතකදී මලයාලම් සිනමාවෙනුත් ඇරයුමක් ලැබුණා නේද?

ඔව්, මම්මුටි හා මෝහන්ලාල් කියන මලයාලම් සිනමාවේ දැවැන්තයින් දෙදෙනා රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක තමයි මම වැඩ කළේ. මම හිතන්නේ මගේ රංගන දිවියේ සුවිශේෂි කඩඉමක් තමා මේ අවස්ථාව ලැබුණ එක. ඒ වගේම මේ මගේ දෙවැනි විදෙස් සිනමා රංගනය. මීට පෙර මම තව තෙළිඟු චිත්‍රපටයක රඟපැවා.

ඉදිරියේදී ඉෂංකව අපිට දැකගන්න ලැබෙන නිර්මාණ මොනවද?

මලායලම් චිත්‍රපටය තමයි දැනට තියෙන්නේ. ඊට අමතරව පසුගිය කාලේ මම කෙටි චිත්‍රපට දෙකක වැඩ කළා. ඒවාත් නිකුත් වෙන්න තියෙනවා. ටෙලි නාට්‍යය සඳහා මම එකතු වෙනවා ගොඩක් අඩුයි. ඒකට හේතුව තමා චරිත තෝරා ගනිද්දි මම ගොඩක් පරිස්සම් වෙන නිසා. ඒකාකාරී චරිත වලට මම නිතරම කොටු වෙන්න ආස නැහැ. ඒ නිසා විවිධත්වයක් තියෙන චරිත මම තෝරගෙන රඟපානවා. විශේෂිත චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඊට දායක වෙනවා. එහෙම චරිතයක් හරහා ඉදිරි කාලයේදී මාව යළිත් ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් වේවි කියලා හිතනවා.