ඒක තමයි අපේ ගමටම තිබුණ ලස්සනම බයිසිකලය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය "රථගාය"  ඉතින් අද මේ විශේෂාංගයට අපි  සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගනශිල්පී  අමිල කරුණානායක.

අමිල කරුණානායක කියන්නේ රථගාය තියන කෙනෙක් ද?

රථගාය පොඩි කාලයේදී සෑහෙන්න තිබුණා. ඉතින් කාලයත් එක්ක ඒක දැන් ටිකක් වෙනස් වෙලා දැන් ඒ තරම් දැනෙන්නේ නැහැ. 

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මුලින්ම කියලා පැද්දේ  BMX බයික් එකක් තමයි. තවමත් හොඳට මතකයි ඒක දම් පාට බයික් එකක්.  ඒක මට ගෙනත් දුන්නේ අපේ තාත්තාගේ මල්ලී. එයා ඉතාලියෙ ඉඳන් ආවාම තමයි මට ඒක අරන් දුන්නේ. ඇත්තටම ඒක තමයි අපේ ගමටම තිබුණ ලස්සනම බයිසිකලය. එතකොට මම ඉස්කෝලේ හතර වසරේ විතර ඇති. මම ගොඩාක් පොඩි නිසා අපේ අම්මලා මට පාරේ බයිසිකල් පදින්න දුන්නේ නැහැ. ඉතින් මම කරපු වැඩේ මොකක්ද දන්නවද අපේ ගෙවල් ළඟ අවුරුදු උත්සවයක් තිබුණා. ඉතින් බයිසිකලේ ගියා ඕකට. ගෙදරින් දන්නේ නැහැ. කොහොමහරි තාත්තාට ආරංචි වෙලා අවුරුදු උත්සවය තියෙන තැනට ඇවිල්ලා බයිසිකලය අරන් ගියා. මම අවුරුදු උත්සවය තිබුණු තැන ඉඳලා ගෙදරට එනකන්ම පයින් ආවේ. 

ඊටත් පස්සේ මට තිබුණා මවුන්ටන් බයික් එකක්. මම ඒක තොරොම්බල් කඩයක් වගේ සරසලා තිබුණේ. ගමේ ඕන කෙනෙක් දන්නවා බයික් එක දැක්කම ඒක මගේ කියලා.  මම ඉතින් ඒ බයික් එකේ තමයි ක්ලාස් යන්නේ ගෑනු ළමයින්ට පේන්න. මේ වගේ දේවල් කරලා ගමේ හොඳට හයිලයිට් වෙලත් හිටියා.  

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදා ද?

මම ජොබ් එකක් කරලා මුලින්ම මගේම සල්ලිවලින් ගත්තේ සුසුකි RGR කියන බයික් එකක්. ඒක ඒ දවස්වල හම්බුණු පඩියට අමතරව පොඩි ලෝන් එකකුත් දාලා තමයි ගත්තේ.  ඒක රතු පාට මාරම ලස්සන රේසින් බයික් එකක්. මම ඒ දවස්වල රතු පාටට හරි කැමතියි.  ඒ දවස්වල හෙන ගැම්මෙන් යන්නේ ඔෆිස් එකට.  මොකද ඔෆිස් එකේම මට විතරයි ඒ වගේ බයික් එකක් තිබුණේ. අනික ඒ බයික් එක පදිනකොට අමුතු සද්දෙකුත් එනවනේ. පස්සේ Sports වාහනවලට තියෙන ආසාව නිසාම ඒ බයික් එක විකුණලා mitsubishi lancer CK 2 කියන කාර් එක ගත්තා මොකද ඒකත් ටිකක් Sports කාර් වගේ පෙනුමක් තියෙනවනේ. 

පළවෙනි වාහනය අරන් මුලින්ම කොහෙද ගියේ? ඒ මතකයන්?

මුලින්ම කියලා කළේ ඉතින් Girl Friendව දාගෙන රවුම් ගහන එක තමයි. ඒ කාලේ ඉතින් පොර වගේ ඕක තමයි කරපු ආසම වැඩේ.  

මේ වෙනකන් පාවිච්චි කරපු වාහනවලින් කැමතිම වාහනය මොකක් ද?

මම මේ වෙනකොට බයික් එකත් එක්ක වාහන 5ක්  වගේ පාවිච්චි කරලා තියෙනවා. ලාන්සර් එකෙන් පස්සේ මම ගත්තා mitsubishi lancer CK 4 කියන කාර් එක. ඒකත් රතු පාට කාර් එකක්. ඒ වාහනය මම ගත්තේ මොඩ්ලින් කරන කාලේ ඒක මාර ආසම වාහනයක්. මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අයට මාව මතක ඒ කාර් එකෙන් තමයි. ඒක තමයි මම මේ වෙනකන් පාවිච්චි කරපු වාහනවලින් ආසම වාහනය. මොකද ඒක Sun roof  එකක් තියෙන වාහනයක්. අපි ඉතින් ඒ වාහනයේ කොහේ හරි යනකොට ඒක ඇරගෙන පාරේ ඉන්න අයට අත වනාගෙන Show off එකට ගියපු කාලෙකුත් තිබුණා. ඒ වගේම මාව මොඩ්ලින්වලින් මිනිස්සු අතර ජනප්‍රිය වුණෙත් ඒ කාලේදීමයි ඒ හින්දා ඒ කාර් එකට මම ගොඩාක් කැමතියි. අදටත් හිතෙනවා ඒ වාහනය තිබුණා නම් කියලා. මොකද ඒක කවදාවත් පරණ වෙන්නේ නැති වාහනයක්.

මුලින්ම වාහනයක් ගත්තහම මොකද කරන්නේ?

වාහනයක් අලුතෙන්ම ගත්තම කන්දෙ විහාරෙ යන සිරිතක් තියෙනවා. අපි ඉන්නේ කළුතර. ඉතින් මුලින්ම වාහනයක් ගත්තම අම්මලාවත් දාගෙන කන්දෙ විහාරෙට යන එක තමයි කරන්නේ. ඊට අමතරව මම ගොඩාක් ට්‍රිප් එහෙම යන්න කැමති කෙනෙක්.  ඉතින් ගොඩාක් වෙලාවට දුර ගමන් යනවා වගේම මම තනියම ඔහේ වාහනය එළවගෙන යන වෙලාවලුත් තියෙනවා. 

දැන් පාවිච්චි කරන වාහනය මොකක්ද? ඒ වාහනය එක්ක තියන හොඳම මතකය මොකක්ද?

දැන් තියෙන්නේ නිසාන් නවාරා කියන ඩබල් කැබ් එක. ඒක කළු පාට එකක්. මම රංගනයට අමතරව ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒකේ වැඩවලට ලේසි වෙන්න තමයි මේ වාහනය මම ගත්තේ. මේ වාහනය අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. 

හොඳම මතකය කියන්නේ මට වාහනයට තෙල් ගහන්න අමතක වෙනවා. ඉතින් එහෙම දවසක් තෙල් ගහන්න අමතක වෙලා වාහනය නැවතුණා. ඉතින් මම වාහනය තැනකින් නවත්තලා තෙල් ගේන්න ගියා. මාත් එක්ක තව යාළුවෙකුත් හිටියා. අපි තෙල් අරන් එනකොට වාහනය නැහැ. මම හිතුවේ කවුරුහරි වාහනය උස්සලා කියලා. මම යාළුවාට කිවුවා මම මෙතන වාහනය නැවැත්තුවේ දැන් වාහනය නැහැ කියලා. එතකොට යාළුවා ඇහුවා හොඳටම ෂුවර් ද වාහනය මෙතනමයි නැවැත්තුවේ කියලා. මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ තව පොඩ්ඩක්  ඉස්සරහට ගිහින් බලද්දී වාහනය තියෙනවා. මට වාහනය නවත්තපු තැන මතක නැතුව හිතුවේ වාහනය උස්සන් ගිහින් කියලා. 

ආයේ දවසක් මම රෑ වෙලා ගමනක් ගිහින් එනකොට තවත් සිද්ධියක්  වුණා. එතකොට මම නාවල ප්‍රදේශයේ ඉන්න කාලේ. ඒ පැත්තේ තිබුණු කෑම කඩයක් ළඟින් වාහනය නවත්තලා ගෙදරට කෑම ගන්න කියලා ගියා.  ඒ කඩේ ළඟ ඉඳන් ගෙදරට මීටර් 100ක් වගේ තියෙන්නේ. මම ඉතින් කෑම අරගෙන ගෙදර ආවා.  සාමාන්‍යයෙන් මම රෑට ගමන් ගිහින් එද්දි සමහර වෙලාවට වාහනය ගේට්ටුවෙන් එළියේ නවත්වන වෙලාවල් තියෙනවා. ඉතින් එදාත් මම පහුවදා ඇහැරිලා ගේට්ටුව ළඟට ගිහින් බලද්දී වාහනය නැහැ.  පස්සේ මම ගමේ අය ඔක්කොටොම කිවුවා මගේ වාහනය උස්සන් ගිහින් කියලා. දැන් ගමේ අයත් වට වෙලා වාහනය හොයනවා. මට දැන් ටික ටික මතක් වෙනවා මම කෑම ගන්න ගියා ෂුවර් එකටම වාහනය එතන දාලා පයින් ආවා ද දන්නේ නැහැ කියලා පස්සේ මම ෂේප් එකේ ඒ කඩේ පැත්තට ගියා. යද්දී එතනත් මිනිස්සු වට වෙලා වාහනයක් තියෙනවා අයිතිකාරයෙක් නැහැ. බලද්දී මගේ  වාහනය. මම රෑ වාහනය එතන නවත්තලා පයින් ඇවිල්ලා තියෙන්නේ. පස්සේ ඉතින් මම වාහනය අරන් ෂේප් වෙලා ආවා.      

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා ති​ෙයනවා ද?

ඕනෑ තරම් කට්ට කාලා තියෙනවා. දවසක් මම ගාල්ලේ වැඩකට ගිහින් එනකොට මගෙ යාළුවෙක්ට වාහනය පදින්න දුන්නා. ඒ එනකොට වාහනයේ ඔයිල් ලීක් එකක් වෙලා කොහොම හරි හයි වේ එක මැද්දේ වාහනය කැඩුණා. පස්සේ Carrier එකක් ගෙනැල්ලා වාහනය දොඩම්ගොඩින් එළියට අරන් බැලුවා හදන්න තැනක් තිබුණේ නැහැ ඊට පස්සේ කෙළින්ම දෙල්කඳට ගෙනාවා. ඉතින් මාර කට්ටක් කෑවෙ එදා රෑ ඒක නිසා.

අමිලගේ Dream vehicle එක ගැනත් කියමු? 
 

මම දැන් පාවිච්චි කරන්නේ කැබ් එකක් නිසා මම කැමතියි Ford ranger cab වාහනයට.  ඉතින් ඒක තමයි මගේ දැනට තියෙන Dream vehicle එක.  

ලිහිණි ලියනගේ