ඒ සම්මානය දෙන්නටම ලැබෙන්න ඕනෑ. - දුල්ෂාරා ද අල්විස්
දුල්ෂාරා.. අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න?
මගේ නම දුල්ෂාරා ද අල්විස්. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි. මගේ අයියත් සංගීත කටයුතුවල නියැලෙනවා. මගේ ආච්චි චන්ද්‍රිකා සිරිවර්ධනයි.
චන්ද්‍රිකා සිරිවර්ධන කියන්නෙ මේ රටේ සිටින ප්‍රවීණ, දක්ෂ කලාකාරියක්. දුල්ෂාරාත් සංගීතයට නැඹුරු වුණේ මේ පවුල් පසුබිමත් එක්කමද?
ඔව්.. පුංචි කාලේ ඉඳලා අපිට ඇහුණේ, අපි දැක්කෙ සංගීතයයි. හැමදාම අපේ ගෙදර පුහුණුවීම් තිබුණා. ආච්චි සංගීත කටයුතුවලට සහභාගි වුණා. මම පොඩි කාලේදි ආච්චි සිරස සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ හිටියා. ඒවා ගැන කතා කළා. ඒ නිසාම ඒ හැමදේම පුංචි කාලෙදි මම දැක්කා. මට අවුරුදු හතරේ ඉඳන් මම ආච්චි එක්ක හැමදාම උදේට සංගීත පුහුණුවීම් කළා.
චන්ද්‍රිකා සිරිවර්ධනට ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ආදරය සහ ප්‍රතිචාරත් එක්ක දුල්ෂාරාත් කලාකාරියක් වෙන්න ආසා කළාද?
ඔව්.. කවුරුවත් මම ගායිකාවක් වේවි කියලා හිතුවේ නැහැ. ඇත්තම කිව්වොත් පුංචි කාලේ මම රංගන ශිල්පිනියක් වෙන්නයි ආසා කළේ. ඒ වගේම නර්තන ශිල්පිනියක් වෙන්නත් ආසා කළා. පුංචි කාලේ ඉඳලා ආච්චි යටතේ සංගීත පුහුණුවීම්, හැදැරීම් කළත් මට අවුරුදු එකොළහ දොළහ වෙද්දි ගායිකාවක් වෙන හීනයක් ඇතිවුණා. ඊට පස්සේ මම සංගීතයට බොහෝ ඇළුම් කළා. ඒ විෂයට ගොඩක් නැඹුරු වුණා.
මේ වෙද්දි ඔබ විශාරදවරියක්?
ඔව්.. ගායනයට නැඹුරු වුණත් මම නර්තනය අතහැරියේ නැහැ. මම නර්තන ශිල්පිනියක්. මම සංගීතය හා කථක් නෘත්‍ය විශාරදවරියක්. ඒ දෙකම මම සමබරව කරගෙන ගියා. ඉදිරියේදිත් ඒ විෂයන් දෙකම වැඩිදුර ඉගෙන ගන්න මම බලාපොරොත්තු වෙනවා.
දුල්ෂාරා ඉගෙන ගත්තෙ මොන පාසලේද?
මම ඉගෙන ගත්තෙ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙයි. පාසලේදි මම සංගීත කටයුතුවලට සහභාගි වුණා. පාසලේදි වසර හයක් මම එකදිගට හොඳම ගායිකාව වුණා. ඊට අමතරව පාසලේදි මම සියලු කලා කටයුතුවලට සම්බන්ධ වුණා. සංගීතය මට මගේ ආච්චි පුංචි කාලෙ ඉඳලා කියා දුන්නා. මට අවුරුදු දොළහෙදි මම සංගීත විශාරද ඉගෙන ගත්තා. අවුරුදු දාසයේදී සංගීතය හා නෘත්‍ය විශාරදවරියක් විදිහට සමත් වුණා. නර්තනයේදි මම කථක් නර්තනය තමයි හැදෑරුවේ.
අද වන විට ඔබ සිනමා පසුබිම් ගායිකාවක් විදිහටත් කටයුතු කරනවා. ආරම්භය සිදුවුණේ කොතනින්ද?
මුලින්ම සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සරිගම චිත්‍රපටයේ ළමා ගායිකාවක් විදිහට ගීත ගායනා කළා. එතකොට මට අවුරුදු දහසයයි. හැබැයි මම අවුරුදු දහයක විතර ළමයෙක් වෙනුවෙන් තමයි ගීත ගායනා කළේ. එතනදි මට පොඩි කෙනෙකුට හඬ හසුරුවමින් ගීතය ගායනා කරන්න සිදු වුණා. ඒක මට අභියෝගයක් වුණා. සෝමරත්න දිසානායක මහතාටත් රේණුකා බාලසූරිය මහත්මියටත් ඒ අවස්ථාව මට ලබා දුන්නට ගොඩක් ස්තූති කරනවා. ඊට පසුව මට සුජීව ප්‍රියලාල් මහතා අධ්‍යක්ෂණය කළ සුපර්ණා සිනමා පටයේ තේමා ගීතය වන දෝ දස අම්බරී ගිතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගීතය මාත් සමඟ ගායනා කළේ දුමාල් වර්ණකුලසූරියයි.
පසුගියදා පැවැත්වූ සිග්නීස් සම්මාන උළෙලේදි හොඳම ගායකයාට හිමි සම්මානය දුමාල් වර්ණකුලසූරිය දිනාගත්තා. ඒ ඔබ සමඟ යුග ගායනයෙන් සම්බන්ධ වුණු සුපර්ණා තේමා ගීතය වෙනුවෙන්. නමුත් එහිදී දුල්ෂාරාට සම්මානය හිමිවුණේ නැහැ. මේ ගැන දුල්ෂාරාට මොකද හිතෙන්නෙ?
නීති රීති කියලා දෙයක් තියෙනවා. මේක අවබෝධයකින් තොරව කරපු දෙයක්ද කියලා මම දන්නෙ නැහැ. ලෝකෙ හැම රටකම පවත්වන සම්මාන උළෙලවල්වලට නීති රීති තියෙනවා. යුග ගායනයට සම්මානයක් ලැබෙනවා නම් දෙදෙනාටම ලැබිය යුතුයි. යුග ගීතයක් කියන්නෙ දෙදෙනෙක් එකතුවෙලා ගායනා කරන ගීතයක්. එහිදී කෙනෙකුට විතරක් ඇගයීමක් කරන්න බැහැ. නීතියට අනුව නම් දෙදෙනාටම ඇගයීම් ලැබෙන්න ඕනෙ. සිග්නීස් සම්මාන උළෙලේදි මට ඒ වගේ අසාධාරණයක් සිදු වුණා. ඒ වෙනුවෙන් මට යම් සාධාරණයක් කරාවි යැයි මම බලාපොරොත්තු වෙනවා. දුමාල් එක්ක මම ඒ ගීතය ගායනා කළා. අපි දෙන්නම ඒ වෙනුවෙන් මහන්සි වුණා. දුමාල් අයියා ගොඩක් හොඳ, දක්ෂ ගායකයෙක්. දුමාල් අයියට සම්මානය හිමිවීම ගැන මට කිසිම දුකක් නැහැ. අයියට මම සුබ පතනවා. නමුත් අවබෝධයක් නැතිකම හෝ මොකක්දෝ වැරදීමක් නිසා හෝ මට අසාධාරණයක් සිදු වුණා. මම මේ ගැන කතා නොකළොත් ඉදිරියේදි අපේ පරපුරට මේ අසාධාරණය දිගින් දිගටම සිදුවේවි.
ඉදිරියේදි තිරගත වීමට නියමිත දැවැන්ත සිනමා නිර්මාණයකටත් දුල්ෂාරා සම්බන්ධ වුණා කියලයි ආරංචිය?
ඔව්. සනත් ගුණතිලක මහතා අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණයක් එළිදැක්වීමට නියමිතයි. ඒ චිත්‍රපටයේ මම ගීත දෙකක් ගායනා කළා. එයින් එක ගීතයක සුළු කොටසකට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයත් ඉදිරියේදි තිරගත වේවි යැයි බලාපොරොත්තු වෙනවා.
මේ වෙද්දි ඔබගේ ගීත නිර්මාණය වෙමින් තියෙනවද?
මේ වෙද්දි ගීත කිහිපයක්ම ප්‍රචාරය වෙමින් තියෙනවා. ඒ මමයි රිද්ම වීරවර්ධනයි ගායනා කළ %කුමාරි රාජනන්දනී^ ගීතයයි. එහි නව සංගීත සංයෝජනයෙන් තිළිණ බොරලැස්ස සම්බන්ධ වුණා. මේ ගීතය මුලින්ම ගායනා කළේ මගේ මුත්තා ආච්චි වන ශ්‍රීමතී කරුණාදේවි සිරිවර්ධනයි. ඒ මීට අවුරුදු අසූ එකකට පෙරයි. මුත්තා ආච්චිට පස්සේ මගේ ආච්චිත් මේ ගීතය ගායනා කළා. ඊට පස්සේ මේ ගීතය මම ගායනා කළා. මේ ගීතය යූ.වී. පෙරේරා මහතාගේ පද රචනයක්. මුල් සංගීත නිර්මාණය කළේ මොහොමඩ් ගවුස් මහතායි. ඒ හැමදෙනාම ආදරෙන් මතක් කරනවා. ඒ ගීතය මම කුඩා කාලේ සිට ආසාවෙන් ගැයූ ගීතයක්. ඊට අමතරව තවත් මගේ ගීත කිහිපයක්ම නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා. මගේ එක ගීතයක් ඔස්සේ මගේ නර්තන හැකියාව පෙන්නුම් කරන්නත් අවස්ථාව ලැබිලයි තියෙන්නේ.
දිශානි ජයමාලි