ඒ වගේ පර්ෆියුම් එකක් සල්ලි දීලා ගන්න මට බෑ - ඉෂාන් වන්නිආරච්චි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ඉෂාන්... අලුත් ජීවිතේ කොහොමද?

මගේ අලුත් විවාහ ජීවිතේ හොඳින් ගෙවීගෙන යනවා. කෙනෙක්ගේ විවාහය කියන්නේ ජීවිතේ යම් හැරවුමක් විදිහටයි මම දකින්නේ. ඉතින් තනිකඩ ජීවිතේට වඩා මනුස්සයෙක් විදිහට ජීවිතේට වගකීමක්, බරක් ලැබෙන කාලයක් විදිහටයි මම මේ හැරවුම දකින්නේ. තාම මම මේ ජීවිතේ හුරු නැහැ. ඒ නිසා ඒ අලුත් ජීවිතේට හුරුවෙමින් ඉන්නවා.

Q ඔබගේ මේ අලුත් ජීවිතේට එකතු වුණු ඇය කවුද?

එයා නමින් පියුමි රණසිංහ. පියුමි විදෙස් ගතවෙලයි හිටියේ. අපි දෙන්නගේ මුණගැහීමත් අහම්බයක්. මම රඟපාපු ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරපු 'දාම්' ටෙලිනාට්‍ය පියුමි YouTube එකෙන් බලලා තිබුණා. ඒ නාට්‍යයේ මම රඟපාපු අහිංසක තරුණයෙක් වුණු විසල්ගේ චරිතයට පියුමි ආසා කළා. එයා මුලින්ම 'දාම්' ටෙලිනාට්‍යයේ විසල්ට තමයි ආදරේ කළේ. එයා මුලින්ම මගේ හොඳ රසිකාවියක්. අපි Instagram එකෙන් හම්බවුණා. Massage කළා. කතා කළා. ඒ වෙද්දි පියුමි ජපානයේ හිටියේ. කාලයක් මමත් ජපානේ හිටපු නිසා මටත් ජපන් භාෂාව පුළුවන්. ඉතින් අපි කතා කළා. ටික කාලයකට පස්සේ මම එයාට මගේ හිතේ තිබුණු යෝජනාව කළා. ටික කාලයකින් එයා මට උත්තරයක් දුන්නා. ඒ උත්තරය දීලා සති කිහිපයකින් එයා මාව බලන්න ලංකාවට ආවා.

Q ජපානයේ හිටපු කෙල්ලෙක්ට විවාහ යෝජනාවක් ගේන්න තරම් ඇයගේ දැකපු සුවිශේෂීකම මොකක්ද?

අපි මාස දෙක තුනක ඉඳන් කතාබහ කළා. ඒ වෙද්දි මමත් පෙම්වතෙක් නෙවෙයි. එයත් පෙම්වතියක් නෙවෙයි. පියුමි මගේ හොඳ රසිකාවියක් නිසා මගේ ඉදිරි ජීවිතයට එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙයි කියලා හිතුණා. අපි නිතරම කතාබහ කරද්දි අපේ අදහස් ගැලපුණු බව අපිට තේරුණා. ඉතින් ඔය දේවල් එක්ක මම එයාට මගේ යෝජනාව කිව්වා. ටික දවසකින් පියුමිත් මගේ යෝජනාවට කැමති වුණා. එහෙම කැමතිවෙලා මාස දෙකකට පස්සේ එයා ලංකාවට ආවා.

Q ජපානයේ ඉඳන් කතාබහ කරපු පියුමිව මුලින්ම දකිද්දි මොකද හිතුණේ?

මම මුලින්ම එයාව එයාගේ විජේරාම ගෙදරදි දැක්කේ. එයා ලංකාවට ආවට පස්සේ එයාගේ අක්කා මට කතා කළා. පියුමි ලංකාවට ආවෙත් මගේ උපන් දිනය දවසෙයි. ඒ ගිය අවුරුද්දේ සැප්තැම්බර් පහළොස් වැනිදා. ඉතින් මම එයාට හොරෙන් එයාගේ ගෙදර ගියා. එයාව මුලින් දකිද්දි මට හිතාගන්න බැරි වුණා. පින්තූරවලින් වීඩියෝවලින් දකිනවාට වඩා ඒ වෙලාවේ මට පියුමිව ගොඩක් ලස්සනට පෙනුණා. ඒක තමයි අපේ මුල්ම හමුවීම වුණේ.

Q පළමු හමුවීම වුණේ ඉෂාන්ගේ උපන් දිනය දවසෙමයි. පියුමි එදා දීපු තෑග්ග මොකක්ද?

එයා මට ජපානයෙන් එද්දි 'පර්ෆියුම්' එකක් ගෙනල්ලා තිබුණා. මම නළුවෙක් විදිහට ලොකු ගණන්වල පර්ෆියුම් භාවිත කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඒ වගේ මුදලක පර්ෆියුම් එකක් මට සල්ලි දීලා ගන්නත් බැහැ. එදා ලංකාවට ඇවිත් පළවෙනි දවසේ දීපු ඒ තෑග්ගත් එක්ක ලංකාවේ ආධුනික රංගන ශිල්පියෙක් විදිහට තියෙන ආර්ථිකයත් එක්ක එතනින් එහාට ''එයා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද?'' කියලා මට හිතුණා. ඒ තරමටම ඒ පර්ෆියුම් එක මිල අධිකයි. සාමාන්‍යයෙන් ඒක රුපියල් පනස්දාහක හැටදාහක පර්ෆියුම් එකක්. පියුමිගේ උපන් දිනය ඔක්තෝබර් මාසේ පළවෙනිදා. එදා මම පියුමිට ටෙඩිබෙයාර් කෙනෙක්ව තෑගි කළා. ඒකට පියුමි ගොඩක් ආසා කළා. පියුමි කියන්නේ මාව හොඳින් තේරුම් ගත්තු, මට ආදරේ උපරිමයෙන්ම ලබා දෙන කෙනෙක්. එයා මම දෙන තෑගිබෝගවලට වඩා මගේ ආදරයට ගොඩක් ආදරේ කරනවා. පියුමි ලංකාවට ඇවිත් මාසයක් හිටියා.

Q මේ ආදරය විවාහය දක්වා ගෙන යන්න දෙපාර්ශ්වයේ දෙමාපියන්ගෙන් ලැබුණු ආශිර්වාදය කොහොමද?

මගේ අම්මා තාත්තාගේ ආශිර්වාදය ලැබුණා. රංගන ශිල්පියෙක් කිව්වාම පියුමිගේ දෙමව්පියන් ''අපේ දුවව බලාගන්න පුළුවන්ද?'' කියලයි ඇහුවේ. කාලයක් ගතවෙද්දි ඒ අයත් මාව තේරුම් ගත්තා. ඉතින් දෙපාර්ශ්වයේම ආශිර්වාදයෙන් තමයි අපේ විවාහය සිදු වුණේ.

Q 'ජාත්‍ර' ටෙලිනාට්‍යයෙන් ඔබට නැවතත් ජපන් යන්න අවස්ථාව ලැබුණා. ඒ ගිය ගමනෙදිත් පියුමිව මුණගැහුණද?

ඔව්.. පියුමි ජපානයේ IT ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. මට රූගත කිරීම් නැති, එයාට නිවාඩු තියෙන දවස්වලට අපි මුණගැහුණා. 

Q දෙන්නගේ විවාහ උත්සවය සැලසුම් කළේ කොහොමද?

අපේ ආදර සම්බන්ධය පටන් ගත්තේ 'ළං වී' ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන කාලෙදි. ඒ නිසා මේනක අයියා තමයි අපේ විවාහයට අත්සන් කළේ. ඒ වගේම සචින් චතුරංග, චතුරංග කොඩිතුවක්කු ටෙලිනාට්‍යයේ නිසාම දෙවැනි මනමාලයන් වුණා. අපේ විවාහයේ ලොකු බරක් ශානි මධුශානි අක්කා (Salon Belinda) ගත්තා. ඒ වගේම Grooms Art එකත් අපිට ගොඩක් උදව් කළා. අපේ විවාහ උත්සවය ජූලි 26 වැනිදා පැවැත්වුණා.

Q පියුමි ආයෙත් ජපන් යනවා නේද?

ඔව්.. එයාගේ නිවාඩු ඉවර නිසා ආයෙත් ජපන් යන්න සිදු වුණා. කොහොම වුණත් ලබන අවුරුද්දේ ජනවාරි මාසෙදි විතර මමත් නැවත ජපානයට යනවා කියලයි තීරණය කරලා තියෙන්නෙ. මම ලංකාවේ ඉන්න ආසයි. පියුමිත් ලංකාවේ ඉන්න ආසයි. නමුත් ලංකාවේ කලාවෙන් පමණක් ජීවත් වෙන්න අමාරු කාලයක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. ඒ නිසා ළඟදිම මමත් ජපන් රටට යාවි.

I දිශානි ජයමාලි කරුණාරත්න
I ඡායාරූප - අන්තර්ජාලයෙනි