ඒ දේවල්වලට සම්බන්ධ වීමට පෙර මගේ බර අඩු කර ගන්න ඕනැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය සම්මානනීය කලා තරුවක්. ඇය මේ දිනවල නම් කලා ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇය දෙවන වරටත් දියනියකගේ ආදරණීය මවක් වීම නිසා. ඉතින් ඇයත් සමඟින් කතාබහක යෙදෙන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා.

නෙහාරා ගෙදරට අලුතින් සාමාජිකාවක් එකතු වුණා නේද?

ඔව්නේ, පසුගිය 11 වෙනිදා තමයි අපේ දෙවැනි බබා ලැබුණේ, ඉතින් දැන් දියණියන්ම දෙදෙනෙක්. ඉතින් මගෙත් මේනකගේත් ජීවිතේ තව තවත් ලස්සන වුණා කියලා කියන්න පුළුවන්. ඒ සුන්දර බව සතුට වචනවලට පෙරළන්න බැහැ. හරි සතුටින් ජීවිතේ ගෙවිලා යනවා කියන්න පුළුවන් මේ දිනවල නම්.

දියනියන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක් කිව්වම දැන් වගකීම් වැඩියි නේද?

ඔව්, ඇත්තටම. ඒ දේ අම්මා කෙනෙක්ට වගේම තාත්තා කෙනෙක්ට පොදු දෙයක්. මොකද බබාලගේ ඉදිරි අනාගතය, ආරක්ෂාව ගැන හිතන්න ඕනා. කිසිදු හානියක් නොවන විදියට ඇස් දෙක වගේ රැක බලාගන්න ඕනැ. ආදරේ වැඩිකමට හරි බයයි දරුවෝ ගැන. ඒ හැඟීම එන්න අම්මා කෙනෙක් වෙන්නම ඕනැ.

ඉතින් ඒවා ගැන හිතද්දි ඔලුවට පීඩනයකුත් එනවා. මොකද මට ඉන්නේ ගැහැනු ළමයි දෙන්නෙක්නේ. ඉතින් පරිස්සම් කරන්න ඕනැ වැඩි වශයෙන්. මමත් මේනකත් සූදානම් ඒ වගකීම් එක්ක ඉදිරි ජීවිතේට මුහුණ දෙන්න.

ඒ වගකීම් වැඩිවෙද්දි හිතෙනවද නෙහාරාගේ දෙමව්පියෝ කොහොමද හදලා වඩලා මේ තැනට ගෙනාවේ කියලා?

අනිවාර්යයෙන්ම. මම නම් කියන්නේ ඇත්තටම අම්මා තාත්තා කෙනක් වෙන්නම ඕනැ තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්න. ඇත්තටම අපි ටිකක් හරි වාසනාවන්තයි අපිට අපේ වැඩ කටයුතු කරගන්න උදව්වට ගොඩක් දෙනෙක් ඉන්නවා. මට නම් මගේ අම්මා, තාත්තාත්, මේනකගේ අම්මාත්, අක්කාත් ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. නමුත් අපේ අම්මලාගේ කාලේ එහෙම නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි පොඩි කාලෙදි අම්මලාට හිතුවක්කාර වැඩ එහෙමත් කරනවනේ. පොඩි දේවල්වලට කෑ ගහන අවස්ථා තියෙනවා. ඇත්තටම අපිටත් දරුවො ලැබුණට පස්සේ තමයි තදින්ම දැනෙන්නේ, තේරෙන්නේ අම්මලාගේ හරි වටිනාකම.

නෙහාරා පීරිස් කියන්නේ දඟකාර, කටකාර කෙළිලොල් විදියට ජීවිතය ගත කරපු කෙනෙක්නේ. දැන් බිරිඳක් මවක් වෙලා ගත කරන මේ ජීවිතේ එක්ක ගෙවුණු ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

අම්මා කෙනෙක් වුණා කියලා මම ගෙවපු ඒ ජීවිතේ නම් වෙනසක් වෙන්නේ නැතිවෙයි.

නමුත් බිරිඳ කියන භූමිකාවෙත් අම්මා කියන භූමිකාව ඇතුළෙත් සියලුම යුතුකම් සියයට සියයක් මට පුළුවන් විදියට කරන්න මම උත්සාහ කරනවා. මම පළමු වතාවට අම්මා කෙනෙක් වෙලා බබා ගෙදරට ගෙනාපු දවසට පසුවදා ඉඳන් වගේ නාවන, කවන, පොවන, බබාගේ හැම කටයුත්තක්ම කළා. මෙවරත් එලෙසම තමයි, අම්මාටවත් බබාව නාවන්න දුන්නේ නැහැ. ඉතින් සීසර් කරලා තමයි බබාව ගත්තෙත්. ඒ දාපු මැහුම්වල වේදනාව තිබුණත් බබාලාගේ කටයුතු මගේ අතින්ම කරන්න උත්සාහ කරනවා. බොහොම වගකීමක් ඇතිව අම්මා කෙනෙක් සහ බිරිඳක් විදියට ඒ වැඩකටයුතු කරගෙන ඉන්න නමුත් මම පෙර ගෙවපු ජීවිතේ වෙනසක් නැතිව පෙර ලෙසම තියෙයි.

අලුත් සාමාජිකාවට නමක් යොදල ද තියෙන්නේ?

ඔව්, බබා ඉපදෙන්නත් කලින් දුවෙක් වුණත් පුතෙක් වුණත් නමක් යොදන්න අකුරක් අපි හිතාගෙන හිටියේ. පළවෙනි බබාට ‘‘ම’’ අකුරෙන් නම යොදන්න තීරණය කළේ ‘‘මේනක’’ කියන නමත් එක්ක.

ඉතින් දෙවැනි බබාට මගේ නම ‘‘නෙහාරා’’ කියන නමත් එක්ක ‘‘න’’ යොදන්න සූදානම් කරලා තිබුණේ. මම නම් ලිස්ට් එකක් පවා සකස් කරගෙනයි හිටියේ, ඉතින් ‘‘න’’ අකුරත් එක්ක අපි දෙන්නගෙම කැමැත්තට අපි නමක් යොදාගත්තා. ලැබුණේ දුවක් නිසා ‘‘නෝරි’‘ කියන නම තමයි යෙදුවේ. නෝරි මරියා රාජපක්ෂ තමයි බබාගේ සම්පූර්ණ නම වුණේ.

නෝරි ගෙදරට ගේද්දි අක්කා මේලිගේ ප්‍රතිචාර කොහොමද?

බබා ලැබුණ දවසේ අපේ අම්මලා, තාත්තලා ඒ හැම දෙනාම එක්ක මේලිත් රෝහලට ආවා. ඉතින් එදා හැම දෙනාගෙම අවධානය තිබුණෙත් මේලිගේ ප්‍රතිචාරය කොහොමද කියන දේ තමයි. ඇත්තටම කියන්න සතුටුයි මේලි නංගිව දකිද්දි හරිම සතුටින් හිටියේ. කිසිම ඊර්ෂ්‍යාවක්වත් මොනවත්ම දකින්න තිබුණේ නැහැ. මම ඒ ​ෙමාහොතේ වේදනාවෙන් හිටියත් මේලිගේ ප්‍රතිචාරය දැක්කම හරිම සතුටු හිතුණා.

ඒ සතුට දරාගන්න බැරිව ඇස්වලට කඳුළු ආවා, ඒ තරම් හැඟීම්බර අවස්ථාවක් වුණා ඒ මොහොත. දැන් වුණත් නංගිව ආදරෙන් බලාගන්නවා. අඬද්දි නලවනවා. අම්මා කෙනෙක් වගේ තමයි ළඟට ගිහින් කතාබහ කරන්නේ, නංගිව බලාගන්නේ. ඇත්තටම හරි ආසයි ඒ සහෝදරත්වය දකිද්දි. ඒවා දැකලා මේනක කියපු දෙයක් තමයි අපි දෙන්නා හරිම වාසනාවන්තයි මේ වගේ කෙල්ලෝ දෙන්නෙක් ලැබෙන්න  කියලා.

වැඩිවුණු වගකීම් එක්ක නැවත කලාවට සම්බන්ධ වෙන්න ඉඩක් වෙන්වෙයි ද?

ටෙලි රංගනය පැත්තට සම්බන්ධ වෙන්න නම් ඉඩක් තියෙයි ද කියලා කියන්න බැහැ. මොකද දැන් ජීවිතේ වැඩිම තැන බබාලා වෙනුවෙන් වෙන් කරන්න ඕනැ. ඒ නිසා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දීර්ඝව වැඩ කරන්න අමාරුයි. නමුත් නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙයි ආරාධනා ලැබෙන විදියට. ඒ වගේම නර්ථනය පැත්තෙන් ප්‍රසංගවලට සම්බන්ධ වෙයි. කලාව අත අරින්නේ නැහැ.

මොකද නර්ථනය මම ගොඩක්ම කැමැත්තක් දක්වන අංශයක්නේ. නමුත් ඒ දේවල්වලට සම්බන්ධ වීමට පෙර මගේ බර අඩු කර ගන්න ඕනැ. මේ වෙද්දි මගේ බර 80kg වෙලා තියෙනවා. පළවෙනි බබා ලැබෙද්දි 78kg තිබුණේ. ඉතින් මම උසෙනුත් අඩු නිසා මේ බර දරාගන්න මටම අපහසුයි. නමුත් බබා ලැබිලා සති 6ක් යනතුරු ව්‍යායාම් කරන්න බැහැ. ඉතින් මම නොඉවසිලේලෙන් බලාගෙන ඉන්නේ ව්‍යායාම් කරල බඩ අඩු කරගෙන නැවත සුපුරුදු වැඩ කරගෙන ඉන්න.

ධනු විජේරත්න