ඒ් තරමට මගේ හිත රිදිලා තාමත් මට ඒක වාවගන්න බැහැ.- කුමාර තිරිමාදු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුමාර.. ඔබ තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා. අපෙන් සුබ පැතුම්?

ගොඩක් ස්තූතියි. කොහොමත් සම්මානයක් ලැබුණම 'හදසර' මට කතා කරලා සුබ පතනවා කියලා මම දන්නවා. ඒකට ගොඩක් ස්තූතියි. Ceylon International film festival (CEYIFF) සම්මාන උළෙලෙදි මට හොඳම සහාය නළුවා සම්මානය හිමි වුණා. ඒ The Newspapers චිත්‍රපටය වෙනුවෙන්. මේ සඳහා රටවල් හතළිහකට අධික සංඛ්‍යාවකින් චිත්‍රපට තුන්සිය පහළොවක් පමණ ඉදිරිපත් වෙලා තිබුණා. මේ ජාත්‍යන්තර සම්මාන උළෙල සිනෙස්ටා පදනමේ පූර්ණ අනුග්‍රහය ඇතිව ජයන්ත ධර්මදාස මහතාගේ සහ අමෙරිකානු තානාපතිනිය Julie Chung මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සම්මාන උළෙලෙදි 'හොඳම සහාය නළුවා' වෙනුවෙන් ඔබට ලැබුණු සම්මානය තවත් නිර්මාණකරැවෙක් වෙනුවෙන් ප්‍රදානය කරනවා කියලයි ආරංචිය.. මොකක්ද මේ කතාව?

ඔව්.. ඒක ඇත්ත. මේ සම්මානයට මම, බිමල් වගේම අපේ ආදරණීය සහෝදරයා දර්ශන් නිර්දේශ වෙලා තිබුණා. අදටත් මට 'රැල්ල වෙරළට ආදරෙයි' ටෙලිනාට්‍ය රූගත කරද්දි දර්ශන්ව ගොඩක් මතක් වෙනවා. ඔහු නැතිව හරි පාළුයි. දර්ශන් ධර්මරාජ් මගේම සහෝදරයෙක් වගෙයි. අපි එකට රඟපෑවා. සිංහල, දෙමළ කියන පාලම තිබුණෙ දර්ශන් ළඟයි. ඒ පාලම හැදුවෙයි ඔහුයි. ඒ පාලම කඩා වැටීම මට ලොකු දුකක්. ඒ නිසා මම ඒ සම්මානය මගේ සහෝදර දර්ශන් වෙනුවෙන් එයාගේ දුවට දෙන්න තීරණය කළා. ඒ සම්මානය අයිති ඔහුටයි. ඒක මම එදා කිව්වා. එදා සම්මාන උළෙලට දර්ශන්ගේ පවුලේ අය ඇවිත් හිටියෙ නැහැ. ඒ නිසා ළඟදිම මම ඒ සම්මානය ගිහින් ඒ දරුවට දෙනවා. ඒක තාත්තා වෙනුවෙන් ඒ දරුවන්ට අයිති වෙන්න තියෙන දෙයක්.

ඒ කියන්නෙ ඔබට තවමත් ඒ සහෝදර කලාකරුවගේ මරණය දරාගන්න බැහැ?

ඔව්... තාමත් මට ඒක දරාගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි, දර්ශන් ධර්මරාජ් එකක් සම්මාන සඳහා නිර්දේශ වන සම්මාන උළෙලකදි මට ඒ සම්මානය ලැබුණොත් ඒ හැම සම්මානයක්ම මම ඒ දරුවාට දෙන්න තීරණය කළා. ඒ තරම් ඔහු නැති පාළුව මට දැනෙනවා. තාම ඒ දරුවගේ තාත්තා මැරිලා නැහැ කියලා ඒ දරුවාට තේරේවි. දර්ශන් කියන්නෙ මාර හිත හොඳ සහෝදරයෙක්. සම්මානය ලබා දීමට මම ගත්ත තීරණයට මගේ බිරිඳගෙවත් දරුවන්ගෙවත් කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ ගැන එයාලට සතුටුයි. අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි. මේ හැමදේම පොදි බැඳගන්න මම කැමති නැහැ. මගේ ජීවිතේ මට හිටපු හොඳ යාළුවෝ දෙන්නෙක්ම නැතිවුණා. සරත් චන්ද්‍රසිරි නැති වුණා. දර්ශන් ධර්මරාජ් නැති වුණා. ඒක මට වාවන්නෙ නැහැ. අසනීපව හිටපු මට වඩා හයියක් තිබුණු ඒ දෙන්නා නැති වුණා. දැන් සරත් කොතලාවලටත් මම කියන්නෙ 'උඹට කලින් මම යන්න ඕනෙ'  කියලා. ඒ තරමටම මගේ හිත රිදිලා. සරත් චන්ද්‍රසිරිගෙවත් දර්ශනගෙවත් ඒ අවසන් මොහොතෙ මුහුණු මම බැලුවෙ නැහැ. මම උන් එක්ක තරහයි. ඉතින් දර්ශන්ට මට ලැබුණු සම්මානය දෙන්න මම තීරණය කළා. එහෙම තීරණයකට ආවට පස්සෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් මමයි සරත් කොතලාවලයි අධ්‍යක්ෂණය කරපු 'The Newspapers' චිත්‍රපටයට ලැබුණා.  

තමන්ට ලැබුණු සම්මානය පවා තවත් කලාකරුවෙක්ට දෙන්න තරම් සංවේදී කලාකරුවන් ඉන්න අපේ රටේ කලාකරුවන්ට අද ලැබෙන තැන ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

කොහොම සෑහීමකට පත් වෙන්නද? මේ අපි හදවතින්ම ආදරය කරපු රටේ ලස්සනම නළුවාව හිරේ දාපු රටක්. ඒ කලාකරුවගේ මූණට වෙඩි තියලා මරා දාපු රටක්. 'මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි... මේ නගරය මා ඔබ වෙන් කෙරුව නගරයයි' කියලා ලියපු 'ආදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ.. ඔබ මතු බුදු වන දවසේ.. මා රාහුල කුමරුන් සේ.. සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි.. සුළැඟිල්ලේ එල්ලී..' කියලා ලියපු ප්‍රේමකීර්ති ද අල්විස්ව මරා දාපු රටක් මේක මේ කලාකරුවන් අහිංසකයි. පසුගිය කොරෝනා වසංගතයෙදි මාස ගණන් මිනිසුන්ට ගෙවල්වලට වෙලා ඉන්න සිදු වුණා. ඒ අයට බලන්න තිබුණෙ පරණ චිත්‍රපට, නාට්‍ය විතරයි. ඒවායින් ඒ මිනිස්සු හිත හදාගත්තා. මනස සුවපත් කර ගත්තා. ඒ නිසා දේශපාලනඥයන් මේ කලාකරුවන්ට අත තියන්න නරකයි. අපි රට වනසන අය නෙවෙයි. අපි රට සනසන අයයි. ඒ අයට කරදර කරන්න එපා කියලයි මම කියන්නෙ.

පසුගිය දිනෙක ඔබ රඟපෑ ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ රැෂාන්ත විජේනායක නිෂ්පාදනය කළ 'තාත්තා' චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නරඹන්න අවස්ථාව ලැබුණා. 'තාත්තා' ගැන යමක් කිව්වොත්?

'තාත්තා' ප්‍රසාද් සමරතුංගගේ අනුවේදනීය කතාවක්. 'තාත්තා' මූලික ප්‍රදර්ශනයෙන් පසුව අපි කොටස් කිහිපයක් නැවත එකතු කළා. ප්‍රසාද් හොඳ අධ්‍යක්ෂකවරයෙක්. මේ ඔහුගේ දෙවැනි නිර්මාණයයි. මේ කටයුතු අතරතුර ඔහු අත්දැකීම් තියෙන මගෙනුත් නිල්මිණීගෙනුත් බොහෝ උපදෙස් ලබාගත්තා. අපිට අපේ අත්දැකීම් එක්ක යෝජනා, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අදහස් හා යෝජනා බාරගන්න නොගන්න එක්ක තීරණය කරන්න ඕන ඒ අධ්‍යක්ෂකවරුන්. ප්‍රසාද් ගොඩක් හොඳ තරුණ අධ්‍යක්ෂකවරයෙක්. හොඳ ගමනක් තියෙන අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මට හිතෙනවා 'තාත්තා' ඉතා හොඳ, ප්‍රේක්ෂක ආදරය දිනාගත හැකි චිත්‍රපටයක් වේවි කියලා.

තවත් නිර්මාණ කිහිපයකම අත් පිටපත් කුමාර අතේ තියෙනවා?

ඔව්.. 'The Newspapers' චිත්‍රපටයෙන් පස්සෙ මම ලියපු තවත් පිටපත් හතරකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. 'Old man' නමින් ලියපු පිටපතක් තියෙනවා. 'ස්පා', ලයිෆ් ගාඩ්, බල්රාජ්, Sky වගේම Sri Lankan නමින් ලියපු පිටපත් කිහිපයක් තියෙනවා. මමයි සරත් කොතලාවලයි එකතුවෙලා ලියපු පිටපතකුත් තියෙනවා. නමුත් ඒ පිටපත් චිත්‍රපටයක් බවට පත් කරන්න තවමත් අපිට නිෂ්පාදකයෙක් මුණගැහුණෙ නැහැ. හොඳ නිෂ්පාදකයෙක් ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා. එහෙම වුණොත් 'The Newspapers' චිත්‍රපටය වගේම ඒවත් ජාත්‍යන්තරයට යාවි කියලා අපි විශ්වාස කරනවා.

දිශානි ජයමාලි / සේයාරූ- අන්තර්ජාලෙයන්