ඒ කාලයේ ඉඳලම මට එහෙම පිරිසක් හිටියෙ නැහැ. මම ටිකක් හුදෙකලාවට කැමති පුද්ගලයෙක්
මේ දිනවල රොෂාන් පිලපිටිය අපට හමුවන්නෙ සර්කස්කාරයෝ, නීල පබළු සිකුරු ඇවිත් සහ සංසාරිණි ටෙලි නිර්මාණ ඔස්සේය. ඊට අමතරව තිරගතවන ශ්‍රී-වික්‍රම සහ කදිර දිව්‍යරාජ සිනමා නිර්මාණ ඔස්සේද අපට ඔහු දැක ගත හැකියි. ඒ විදියට ටෙලි හා සිනමා නිර්මාණවලට අමතරව වේදිකා නාට්‍ය සමගත් ප්‍රේක්‍ෂකයින් අතරට එන රොෂාන් සමග මේ මොහොතේ අපි පිළිසඳරකට එක්වෙමු.
කොහොමද රොෂාන්, බිසී වගේ නේද?
වැඩ ටිකක් කරගෙන යනවා.
රඟපෑම්වලට අමතරව ව්‍යාපාර වැඩත් කරනවා නේද?
ව්‍යාපාර ටිකකුත් කරගෙන යනවා.
කොහොමද ව්‍යාපාර වැඩ?
සාමාන්‍යයි. රටේ අනෙකුත් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න අපටත් තියෙනවා. ඒවාට මුහුණ දෙමින් ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා.
රොෂාන්ට මේ දිනවල දිගටම ලැබෙන්නෙ කට්ට–කයිරාටික ස්වභාවයේ මිනිසුන්ගෙ චරිත. ඇයි ඒ? කෝ අර හිටපු පෙම්වතා, ලයාන්විතයා?
චරිතයක් ලැබුණාම මම එහි දිග–පළල මනින්න යන්නෙ නැහැ. ඒ චරිතය හොඳට කරන්න උත්සාහ ගන්නවා. ලෙස්ටර් සර් ගේ ගොළු හදවත නාට්‍යයේ රඟපෑමෙන් රංගනයට ආ මට එයින් පසුව විවිධ චරිත රඟපෑමට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ විදියට ලැබුණ චරිත රඟපාමින් සතුටින් රංගන කාර්ය කරගෙන ආවා.
කොහොම වුණත්, මේ වගේ ‘‘සට–කපටි’’ ස්වරූපයේ මිනිසුන්ගෙ චරිත රඟපෑම නිසා මිනිස්සු ඔබ දිහා බලන විදිය මොනවගේද?
චරිත ගැන කතා කරනවා. ඒත් ඒ නිර්මාණය විකාශය කෙරෙන කාල සීමාවේදී විතරයි. ඒ හැර මම රොෂාන් පිලපිටිය විදියට එයාලා පිළිගන්නෙ.
ඒ වගේ චරිත ලැබීම ගැන ඔබ මොකද හිතන්නෙ?
මම කැමතියි විවිධ චරිත රඟපාන්න. රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා නම්, විවිධ චරිත රඟපෑම හොඳ දෙයක්. චරිතාංග නළුවකුවීමට ලැබීම එකතකට වාසනාවක්.
වත්මනෙහි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණ සිටින තරුණ නළු - නිළි පිරිස එක්ක රඟපාද්දි දැනෙන හැඟීම මොන වගේද?
ඉතාම හොඳ පිරිසක් අද ක්ෂේත්‍රයේ සිටිනවා. සමහර අය හැදෑරීමක් ඇතිව ඇවිත් සිටින වග පෙනෙනවා. විෂය ගැන හදාරාගෙන යන අයට හොඳ අවස්ථාවක් ලැබේවි. ඒ හැර සිටින අනෙක් අයට වැඩ අඩුවෙන් ලැබේවි. කොහොම වුණත්, කාටවත් වරදක් කියන්න බැහැ, කාලයෙන් - කාලයට අලුත් පිරිස් පැමිණීම ස්වභාවයෙන්ම සිදුවන දෙයක්නෙ.
ඒ අලුත් පිරිස ඔබගෙ පරම්පරාවේ අයට ගරු සරුවක් දක්වනවද?
ඒ ගැන මම හිතන්නෙ වෙනස් විදිහටයි. නගර සභාවේ සේවය කරන කම්කරුවාට අපි දක්වන ගරුත්වය මොන වගේද? ඒ තරමටම ඔහුටත් ගරු කරාවි. අපි මේ ක්ෂේත්‍රයට ආවෙ කලින්ය කියලා කාගෙන්වත් ගරුත්වයක් බලාපොරොත්තුවන එක වැරදියි. මම එහෙම ලොකුවට ඒ ගැන හිතන්නෙ නැහැ. නමුත් පාඩුවේ ජීවත්වන තරමට සතුට ළඟ රැඳේවි.
අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සෑහෙන නවක පිරිසක් පැමිණ සිටිනවනෙ. ඉතින් රොෂාන්ට ලැබෙන අවස්ථා වැඩිද? අඩුද?
1988 දී පාසල් ගිය කාලයේදීම තමයි මම ලෙස්ටර් සර්ගෙ ගොළු හදවතේ රඟපාමින් මේ ක්ෂේත්‍රයට ආවෙ. එදා ඉඳලම යම්තාක් ප්‍රමාණයකට වැඩ ලැබෙනවා. අඩුවීමක් නම් නැහැ.
නළුකම තෝරා ගැනීම ගැන අද වනවිට ආත්ම තෘප්තියක් තියෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒක හොඳ තීරණයක්. මේ වෘත්තිය හරිම ගෞරවනීය වෘත්තියක්. බාහිරව බලලා හරිම භයානකයි, වැඩක් නැහැ කියලා සමහරු තීරණය කරන්න පුළුවන්. ඒත් මේ රංගන ක්ෂේත්‍රයට මම ඉතාම ගෞරවනීයයි. ඒ වෘත්තියෙන් තමයි එදා ඉඳලා මම හරි හම්බකරගෙන ජීවත්වෙලා තියෙන්නෙ. තමුන්ට ලැබෙන දේ කළමනාකරණය කරගෙන හිටියොත්, වෙන ජොබ් එකක් කරන්න අවශ්‍ය නැහැ.
පසුගිය කාලයේදී දේශපාලනයටත් බොහොම නැඹුරුව හිටියා නේද? කෝ ඒ දේශපාලනය?
මම එහෙම ක්‍රියාකාරීව දේශපාලනයේ හිටපු කෙනෙක් නෙවෙයි. දේශපාලන වේදිකාවල ඉඳලත් නැහැ. හැබැයි මටත් දේශපාලනයක් තියෙනවා. දේශපාලන මතයක් තියෙනවා. ඡන්දය දානවා. ඒ හැර කිසිඳු දේශපාලකයකු වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ.
රංගනයේදී එකම චරිතයකට කොටුකර තබනවාට ඔබ කැමතිද? අද වන විට පෙම්වතා - සැමියා කියන චරිතය ඔබට ලැබෙන්නෙ නැති තරම්?
චරිත රංගනයේදී ඒ ඒ අධ්‍යක්‍ෂවරු එයාලට හිතෙන විදියටනෙ චරිත ලබා දෙන්නෙ. ඒ ලැබෙන චරිතයට උපරිම දායකත්වයක් දීම තමයි මගේ විදිය. මට අහවල් චරිතය කරන්න ඕනෑය කියන බලාපොරොත්තුවක් නැහැ. ලැබුණ චරිතය සතුටින් කිරීම මගේ විදියයි. එදා ඒ කළයුතු දේ සතුටින් කිරීම හැර ලොකු බලාපොරොත්තුවක් නැහැ. මේ රටේ විදිය එක්ක හොඳම දේ එදා සතුටින් ගත කිරීමයි.
බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයිද මේ රට?
ඒක – එකිනෙකාට සාපේක්‍ෂයි. බලාපොරොත්තු තියෙන එක හොඳ දෙයක්. මම කරන්නෙ එදාට කළයුතු දේ සතුටින් කිරීමයි. එතකොට ජීවිතය සතුටින්.
ගෙදර ජීවිතය කොහොමද?
ඉතාම සතුටින් ගෙවනවා. මමයි, බිරිඳයි, පුතයි. පුතාට දැන් අවුරුදු 4 යි. එදිනෙදා ජීවිතයට මුහුණ දෙමින් සතුටින් ඉන්නවා.
ගෙදර මල්පෝච්චිවල මල් වෙනුවට එළවළු වගා කරනවා නේද?
ඒක පටන් ගත්තෙ කොවිඩ් කාලයේදි. ඒක දිගටම කරගෙන යනවා. පසුගිය දිනවල අධික වැසි නිසා තරමක් හානි වුණා. නමුත් ගෙදරට පරිභෝජනය කළහැකි ප්‍රමාණයට ඒ වගා කටයුතු කරනවා.
ගෙදර අය එක්ක කාලය ගත කරන්න වෙලාවක් තියෙනවද?
පුළුවන් සෑම වෙලාවකම පවුලේ අය එක්ක ඉන්නවා. කොහොමටත් සතියේ එක් දවසක් නෝනයි - පුතයි එක්ක ගත කරන්නෙ. ඒ දවසට වෙන වැඩ මොනවත් නැහැ. එදා දවස එක්කෝ අපි කොහේ හරි ඇවිදින්න යනවා. නැත්තම් කෑමකට එළියට යනවා.
පුතා, තාත්තා නැතුව ඉන්නවද?
එයා දන්නවා මම උදේම වැඩවලට යනවා කියලා. හවසට එන බවත් දන්නවා. ඒ හැර එයා එක්ක දවසක්ම ඉන්න බවත් දන්නවා. ඉතින් එ් නිසා කරදර කරන්නෙ නැහැ. එයත් දැන් පූර්ව පෙර පාසල් අධ්‍යාපනය ලබන්න යනවා.
‘‘පුතා’’ නිර්මාණවලට දායක කරවාගෙන නැද්ද තවම?
ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගෙ, නාට්‍යයක පුතා හිටියා. එයාට ඉගෙන ගෙන ඉදිරියට යන්න අපි දෙන්නා උදවු කරනවා. එයා එයා කැමති විදියට අනාගතයේදී කටයුතු කරාවි.
තාත්තාගේ භූමිකාව එක්ක රොෂාන්ගෙ ජීවිතය වෙනස් වුණාද? ඒ මොන විදියටද?
පියාගේ භූමිකාව වගකීමක්. ඒක එහෙම වුණාම විවාහයට පෙර මම ජීවිතය ගත කළ විදිය, ආස කළ විදියටම තමයි අදත් ජීවිතය ගෙවන්නෙ?
මොනවද ආස කළ දේ?
ෆිල්ම් බලන්න, පොත් කියවන්න, ජිම් එකට ගිහින් ව්‍යායාම් කරන්න, ඒ වගේ දේ තවම මම කරනවා. මගේ ඒ වැඩවලට බිරිඳත් උදවු කරනවා. සමහරදාට අපි දෙන්නම එකතුවෙලා ෆිල්ම්ස් බලන්නෙ. වගකීම් තියෙන බව ඇත්ත. ඒත් තමුන්ගෙ නිදහස් ජීවිතයට බාධා අවශ්‍ය නැහැ.
පියකුගෙ වගකීම ලෙස ඔබ දකින්නෙ?
දරුවකුට නිසි මග පෙන්වීමට කියාදීම වගේම සමාජයට ගරුකරන පුද්ගලයකු බවට පත් කරවීම සඳහා වූ මග කියාදීමයි. මව්පියන් වූ නිසාම තමන්ට – තමන්ව නැති කරගතයුතු නැහැ. සල්ලි මත්තෙම ගියොත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නෙ නැහැ. ජීවිතය විඳිමින්, තමුන්ගෙ විදියට දවස ගෙවීම කළයුතුයි. වගකීමයි කියලා බොරුවට හිරවෙලා ජීවිතය ගතකළ යුතු නැහැ. වගකීම් ඉටු කිරීම කොහොමටත් කළයුතු දෙයක්.
රොෂාන්ට මිත්‍ර සන්ධානයක් නැද්ද?
ඒ කාලයේ ඉඳලම මට එහෙම පිරිසක් හිටියෙ නැහැ. මම ටිකක් හුදෙකලාවට කැමති පුද්ගලයෙක්. නිදහසේ පොතක් කියවමින්, ෆිල්ම් එකක් නරඹමින් සිටීම මගේ විදියයි.
මොකක්ද ළඟදි කියලා ඉවර කළ ඔබට දැනුණ පොත?
අජාන් බ්‍රහ්මවංශ හිමි රචිත ‘‘හදවත විවර කිරීම’’ නමැති බුද්ධ දර්ශනයට ලැදි පොත.
මේ විදියට ජීවත්වන ඔබගෙ ජීවන දර්ශනය මොන වගේද?
කාටවත් කරදරයක් නොවන විදියට ජීවත්වීම. එවිට තමුන්ට ලැබෙන කරදරත් අඩුයි.
සඳුන් ගමගේ