ඒ කාලෙදි තාත්තා දන්නවා මම මේ ක්ෂේත්රයට එතරම් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ කියලා
පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ වනවිට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන සිටින ආදරණීය චරිතයක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. රංගනයෙන් පමණක් නොව නිවේදන අංශයෙනුත් ඉදිරියෙන් සිටින ඇය ඉෂාරා අතුකෝරළ.
පාර දිගේ සචී අද ගොඩක් ජනප්‍රිය වෙලා නේද?
ඔව්. ඇත්තටම මම කොහේ ගියත් අද මට මඟතොටේ හමුවන ගොඩක්දෙනෙක් මේ චරිතය ගැන කතා කරනවා. සචී කියන්නෙ ඉතින් ටිකක් කලු චරිතයක් වුණත් ඒ චරිතයටත් ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර වලින්.
ඉතින් මේ සචී ගැන ටිකක් කියමුද?
සචී කියන්නෙ මේ නාට්‍යය තුළ රුක්ෂානා කියන චරිතයට පණපොවන පියුමිගෙ හොඳම යෙහෙළිය.
ඇත්තටම ඒ චරිතය පැත්තෙන් ගත්තොත් යාළුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. යාළුවා කොයිතරම් අයහපත් දෙයක් කළත් සමහර වෙලාවට උපදෙස් දෙනවට වඩා කරන්නෙ ඒ වැඩවලට හවුල්වෙලා යාළුවාගේ හිතසුව පිණිස වැඩකිරීම තමයි. හොඳ මඟට ගන්නත් අවවාද දෙනවා. ඒ හැමදේම එක්ක යන රංගනයක් මේ.
ඉෂාරා මීට පෙර රංගනයෙ යෙදිලා තියෙනවද?
ඔව්. මීට අවුරුදු 10 කට පමණ පෙරදි ‘ආත්මා’ කියලා ටෙලි නාට්‍යයක රංගනයට සම්බන්ධ වුණා. ගයාන් කරුණාතිලක අයියා සහ චතුරිකා පීරිස් අක්කා තමයි ඒ නාට්‍යය කළේ. ඒ තුළ මම ගයාන් අයියගේ නංගි විදියට රංගනයෙ යෙදුණා. ඒ අන්ධ චරිතයක්. ඒ තමයි මගේ පළමු රංගන අත්දැකීම.
අවුරුදු 10 කට පස්සෙ පාර දිගේ යන්න ලැබුණෙ කොහොමද?
පාර දිගේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ මෙහි අධ්යක්ෂ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ආරාධනාවකින්. මම ස්වර්ණවාහිනි ආයතනයේ මීට වසර තුනකට පමණ පෙර සිට නිවේදිකාවක් ලෙස සේවය කරනවා. ඒ තුළ මමත්, ස්වර්ණවාහිනි ආයතනයේ නිවේදක මුදිත විජේසුන්දරත් වැඩසටහනක් කරනවා ‘Studio With Muditha and Ishi කියලා. ඒ වැඩසටහනට එක් වරෙක සම්බන්ධ වුණා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා.
එතැනදි ඔහු මාව දැකලා මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ඇත්තටම මගෙත් අකමැත්තක් තිබුණෙ නැහැ ඒ සම්බන්ධව. ඉතින් මම කිව්වා අවස්ථාවක් ලැබෙනවා නම් රඟපාන්න කැමතියි කියලා. ඉන්පසුව තමයි මාව ඒ වෙනුවෙන් තෝරාගත්තෙ චරිත රංගනය පිළිබඳ කතාබහ කරගෙන.
ඉෂාරා අතුකෝරළ කියන්නෙ කලා ක්ෂේත්රයේ ඉදිරියෙන්ම ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ආනන්ද අතුකෝරළ මහත්මයාගේ එකම දියණිය. ඉතින් මීට පෙර රංගනයට ඕනෑ තරම් ආරාධනා ලැබෙන්න ඇතිනෙ?
ඔව්. ඇත්තටම මට අවස්ථා ලැබුණා. නමුත් ඒ කාලෙදි තාත්තා දන්නවා මම මේ ක්ෂේත්රයට එතරම් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ කියලා. ඒ නිසා තාත්තා කොයිම තැනකදිවත් මට බලපෑම් කරලා නැහැ ක්ෂේත්රයට එන්න. රඟපාන්න ලැබෙන අවස්ථාවන් මගඇරගන්න එපා ඒවගේ දේවල් කියලා. නමුත් දැන් මට තේරෙනවා තාත්තා කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා මම රඟපානවට. මොකද දැන් මගේ රඟපෑම් වගේම නිවේදන ක්ෂේත්රයේ කරන වැඩසටහන් බොහොම ආසාවෙන් තමයි බලන්නෙ.
ඉෂාරාගේ රංගන හැකියාව දැකලා තාත්තාගේ ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර කියන්නෙ ඉතින් මගේ රංගනයන් බලලා අඩුපාඩු එහෙම තිබුණොත්, හදාගන්න ඕනෑ තැනක් තිබුණොත් කියනවා. මොකද මට අත්දැකීම් නැහැ රංගනයට අලුත්නෙ. ඒ ඇර ලොකුවට නම් ඉතින් මොනවත් කියන්නෙ නැහැ.
පසුගිය කාලෙ අම්මා, තාත්තා දෙන්නම එකතු කරගෙන ටික්ටොක් එහෙම කරලා ඒ රංගනයන්ට හොඳ ප්‍රතිචාර එහෙම ලබාගෙන තිබුණා නේද සමාජ මාධ්‍යවල?
ඇත්තටම ඒ කොවිඩ් කාලෙදි අපි ගෙවල්වලට හිරවෙලා ඉද්දි කරපුවා තමයි. දැන්නම් ඉතින් අවුරුද්දකින් හමාරකින්වත් බැරිවුණා ඒවා කරන්න. නමුත් ගෙදර ඉද්දි හරිම සතුටින් විනෝදෙන් ඉන්න තමයි කැමති. අම්මා තාත්තා කොහොමත් හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න දෙන්නෙක්. ඉතින් හරි සැහැල්ලුවෙන් සතුටින් පවුල තුළ ජීවිතේ ගෙවනවා.
ඉෂාරා පුංචි කාලේ රංගනයට එතරම් කැමැත්තක් නැහැ කිව්වනෙ එතකොට මොනවටද දක්ෂ වුණේ?
පුංචි කාලෙදි එක වසර දෙක වසර සිට වගේ මම දක්ෂ වුණේ නර්තනයට. ඒ කාලේ නර්තනයෙන් කැපී පෙනෙන චරිතයක් වුණා. මම පාසල් තුනකට ගියා. මුලින්ම ගියේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට. ඉන්පසුව මාලබේ රාහුල බාලිකාවටත්, නාවල ජනාධිපති බාලිකාවටත් තමයි ගියේ. ඒ පාසල් තුන තුළම නර්තනයෙන් තමයි ඉදිරියෙන්ම හිටියෙ.
නර්තනයට අමතරව දක්ෂතා තිබුණෙ?
ඇත්තටම කියනව නම් දක්ෂතා තිබුණෙ නර්තනයට සහ ඉගෙනීමට විතරයි. රංගනය පැත්තෙන් ගත්තොත් කිසිම දෙයක් ඒ කාලෙ කරලා නැහැ. ඒ වගේම ක්‍රීඩා කළේම නැති තරම්.
ඉගෙන ගත්තෙ මොන අංශයෙන් ඉදිරියට යන්නද?
මම උපාධිය ගත්තෙ ව්‍යාපාර කළමණාකරණ අංශයෙන්. ඒ නිසා මට මගේම ව්‍යාපාරයක් කරන්න තමයි ආසාව තිබුණෙ. නිළියක් වෙන්න නම් හිතකවත් තිබුණෙ නැහැ.
නමුත් නිවේදනයට නම් ගොඩක් ලොකු කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත ඇතිවුණේ ඒ කාලේ ප්‍රමුදි කරුණාරත්න පුංචි පැංචි වැඩසටහන කරනවා දැකලා. ඉතින් ඒ කාලේ මමත් තනියම නිර්මාණ හදාගෙන තනියම සෙල්ලම් කළා. නමුත් නිවේදිකාවක් වෙන්න ඕනෑ කියන දේ ලොකුවට හිතපු කෙනෙක් නෙමෙයි. නමුත් අද වෙද්දි නොහිතපු විදියට මට නිවේදන ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දේ හරිම සතුටින් තමයි මම කරගෙන යන්නෙ.
ඒ දේවල් එක්ක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි ලොකුම බලාපොරොත්තුව සහ සැලසුම වෙලා තියෙන්නෙ.
නොහිතපු විදියට කලා ක්ෂේත්රයට ඇවිල්ලා අද රංගන ක්ෂේත්රයෙන් සහ නිවේදන ක්ෂේත්රයෙන් ආදරණීය ප්‍රතිචාර ලැබීම සම්බන්ධව මොකද කියන්න තියෙන්නෙ?
ඇත්තටම ඒ ගැන සතුටුයි. අද වෙද්දි මාව දන්න හඳුනන පිරිසක් ඉන්නවා. ඒ අය මාව දැක්කම කතාබහ කරනවා. ප්‍රතිචාර දක්වනවා. ආශිර්වාද කරනවා. ඒ දේවල් ඇත්තටම අපිට ලොකු ශක්තියක්. ඉතින් දැන් නම් මමත් කලාවට ලොකු කැමැත්තක් තියෙනවා මේ ලැබුණු හැමදේමත් එක්ක. ඉදිරියේදිත් කලා ක්ෂේත්රයේ හොඳ අවස්ථා ලැබුණොත් අනිවාර්යයෙන් භාර අරගෙන කරන්න කැමැත්තක් තියෙනවා.
ධනු විජේරත්න / ජායාරූප - සජීව ලක්ෂාන්