ඒ කාලෙ ඇත්තටම ප්‍රේමය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති තරම්
ඉස්කෝලෙ කාලේ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතුවන්නේ නව පරපුරේ දක්ෂ ආකර්ෂණීය රංගන ශිල්පිනියක්. ඇය නමින් නිපුනි පූජිත ගුණවර්ධන.
මම ඉස්කෝල දෙකකට ගියා. මුලින්ම ගියේ අම්පාර හිඟුරාන මහා විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. එතැනින් පසුව 6 වසරේ සිට මම කොළඹ ශාන්ත අන්තෝනි බාලිකාවට ඇතුළත් වුණා. ප්‍රාථමික විද්‍යාලයේදී මම හරිම දඟ කටකාර පණ්ඩිත ළමයෙක්. පිරිමි ළමයි එක්ක පවා රණ්ඩු කළා. ඉස්කෝලෙත් මාව ගොඩක් ජනප්‍රියයි. මගේ අක්කාත් ප්‍රාථමිකයෙදී ඒ ඉස්කෝලෙමයි ඉගෙන ගත්තෙ. ඇය ශිෂ්‍ය නායිකාවක්. ඒ නිසා ඉස්කෝලේ පන්තිය ඇතුළෙ ගොඩක් චණ්ඩිකම් කළේ නැහැ. හොරෙන් තමයි ඒවා කළේ.
මට මතකයි එක දවසක් මම පිරිමි ළමයෙක් එක්ක රණ්ඩු කරලා ඒ ළමයාට ගහන්න ගේට්ටුව ළඟ මග බලාගෙන හිටියා. මොකද පන්තියේදී චණ්ඩිකම් කළොත් අක්කාට දැනගන්න ලැබෙනවනෙ. එතකොට අක්කා ඒවා ගෙදර ගිහින් කිව්වම අම්මාගෙන් මට ගුටිකන්න වෙනවා. ඒ නිසා ඒවා හොරෙන් තමයි කළේ. මගෙත් එක්ක කවුරුහරි රණ්ඩු කළොත් මම ඒවාට ඒ කෙනාව අල්ලගත්තේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියෙ. ඒ විදියට තමයි පුංචි කාලෙ චණ්ඩිකම් සැලසුම් කළේ.
ඒ හැමදේම කොළඹ ඉස්කෝලෙට ආවට පස්සෙ වෙනස් වුණා. මොකද එතකොට මගේ පරණ යාළුවො එහෙමත් නැහැ. අවට පරිසරයේ සිට හැමදේම වෙනස්නෙ. ඒ දේවල් එක්ක මම හරිම නිශ්ශබ්ද චරිතයක් වුණා. චණ්ඩිකම් ඔක්කොම අතඇරලා හරිම පාඩුවේ තමයි ඉන්න වුණේ.
ඒ විදියට ටිකින් ටික කාලය ගත වෙද්දි මම කලාවට දක්ෂ නිසා මාව ඒ ඉස්කෝලෙ නාට්‍ය කණ්ඩායමට ගත්තා. ඒ ආරම්භ කරපු ගමනෙදි වැඩිපුරම හිටියෙ කලාව එක්ක තමයි. කොහොමත් මට පුංචි කාලෙ ඉඳන්ම නර්තනයට හැකියාවන් තිබුණා. ඒ නිසාම ප්‍රාථමිකයේදී පටන්ම මම ප්‍රාසාංගික දේවල්වලට යොමුවෙලා හිටියෙ. නර්තනයට තමයි වැඩිම නැඹුරුව තිබුණෙ. පුංචිම කාලෙ ඉඳන් මගේ හීනය වුණෙත් නර්තන ගුරුවරියක් වෙන්න. ඒත් එක්කම රංගනයටත් ආසයි. කලා අංශයේ විවිධ පැතිකඩවලට මම යොමුවෙලා හිටියා. ඉස්කෝලෙ විවිධ ප්‍රසංග, කලා උළෙලවල් හැමදේකම අපේ නර්තන අංග තිබුණා. ඒ වගේම රංගනයෙනුත් දායක වුණා.
රංගනයෙදි පිරිමි චරිත පවා මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැමදේම නිසා මම ඉස්කෝලෙ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියෙ. නර්තනයෙන් තමයි වැඩිපුරම මාව හඳුන ගත්තේ. ඒ වගේම නිවේදනයෙනුත් සම්බන්ධ වුණා. ඉස්කෝලෙ මාධ්‍ය ඒකකයෙත්, විවාද කණ්ඩායමෙත් මුලින්ම හිටපු කෙනෙක්. ඒ කාලෙ පාසල් මට්ටමින් පවත්වන විවාද තරග, කතික තරග ආදියට පවා සහභාගි වුණා.
මේ හැමදේමත් එක්ක පාසල් තූර්යවාදක කණ්ඩායමේ නායිකාව විදියට 2011 වසරෙ සිට 2014 වසර දක්වාම වැඩ කළේ මම. ඉස්කෝල ජීවිතේ මගේ වැඩිපුරම ගෙවුණෙ බාහිර වැඩත් එක්ක තමයි. ක්‍රීඩාත් කළා. බාහිර වැඩ කළා කියලා ඒ දේවල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර ගත්තෙත් නැහැ. මොකද අපිට හොඳ ගුරුවරු පිරිසක් හිටියා.
මම වැඩිපුරම කැමති අපේ A/L කාලෙට තමයි. A/L වලට මම කළේ කලා විෂයන්. ඒ තුළින් මම කැමතිම විෂය වුණේ ජන සන්නිවේදනය. ඒ විෂය ඉගැන්නුවෙ ක්‍රිෂාන්ති පෙරේරා ගුරුතුමිය. ඒ ගුරුතුමිය අපිත් එක්ක යාළුවෙක් වගේ හිටියෙ. විෂය පැත්තෙන් විතරක් නෙමෙයි ජීවිතේටත් වටිනා ගොඩක් දේවල් ඒ ගුරුතුමිය අපිට කියලා දීලා තියෙනවා. හරිම ආදරණීය චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති A/L කාලෙ අපේ ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න ඇත්තේ. ඒ වගේ ආදරණීය ගුරුවරු කිහිපදෙනෙක්ම හිටියා. ඒ හැමදෙනාම අදටත් සිහිපත් කරන්නෙ හරිම ආදරෙන්. ඒ කාලෙ ඉතින් අපි ගුරුවරුන්ගෙන් දඬුවම් එහෙමත් විඳලා තියෙනවා. ඒවා ගොඩක්ම කණ්ඩායම් වශයෙන් විඳපු දඬුවම් තමයි. එක දවසක් මට මතකයි ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබිලා අපි 7 දෙනෙකුට වගේ ඒ තැනට වෙලාවට යන්න බැරිවුණා. අපි ''IT'' රූම් එකේ තමයි ඒ මොහොතේ හිටියෙ. අපි කළේ ඒ රූම් එකට වෙලා U Tube එකෙන් සින්දු දාගෙන නටපු එක. ඒ නට නටා ඉද්දි මැඩම් එතැනට ආවා. ඉතින් අපිට හොඳටම බැනලා දඬුවම් කරලා එහෙම පොඩි සිදුවීමක් වුණා. එවගේ සිදුවීම් ගොඩක් වෙලා තියෙනවා.
ඒ වගේම වැඩිපුරම තවත් අපි එපා කියද්දි කරන වැඩක් තමයි ඉස්කෝලෙ ගස්වල අඹ කඩන එක. මොකද ඒ ගස්වල ගෙඩි අපිට කඩන්න දෙන්නෙ නැහැ. අපි හොරෙන් තමයි ඒවා කඩන්නෙ. හොරෙන් අඹ කඩලා ගෘහ විද්‍යා කාමරයට ගිහින් අච්චාරු දාලා කනවා. ඒ සිද්ධියට ගොඩක් බැනුම් අහලා තියෙනවා.
මේ විදිහේ පිස්සු වැඩ කරන්න මට හොඳ යාළුවො සෙට් එකකුත් හිටියා. ඉතින් ඒ හැමෝමත් එක්ක හරිම සතුටින් තමයි ජීවිතේ ගත වුණේ . ඒ යාළුකම් ඉතින් අදටත් තියෙනවා. වැඩි දෙනෙක් අද වෙද්දි විවාහ වෙලා ඉන්නෙ. ඒ නිසා නිතරම වගේ නම් මුණගැහෙන්නේ නැහැ. කතාබහ කරනවා. නමුත් ඒ කාලේ කරපු වැඩ තවමත් මතකයේ රැඳිලා තියෙනවා.
අපි A/L කාලෙදි අමතර පන්ති ගියානෙ. අපි ඒ කාලෙ කැමැත්තෙන්ම ගියේ රන්ජන් සර්ගෙ සිංහල පන්තියට. ඔහු ගොඩක් හොඳ ගුරුවරයෙක්. ඒ නිසාත් ඒ පන්තියට ගොඩක් කැමතියි. ඒ වගේම ඒ පන්තියට ගියාම අපි ගෙදරින් ගෙනියන කෑම එක නෙමෙයි කෑවෙ. අපි යාළුවෝ ටික සල්ලි එකතු කරලා ෆ්‍රයිඩ් රයිස් අරගෙන කෑවෙ. ගෙදරින් ගෙනියන කෑම එක නැති බැරි කෙනෙක්ට දුන්නා. ඒ දේ අපි හැමදාම වගේ කළා.
ඒ කාලෙ ඉතින් අමතර පන්තිවලට ගියාම ප්‍රේම යෝජනා එහෙම එනවා. ලියුම් එවනවා. චිට් දෙනවා. තෑගි දෙනවා. ඒ යාළුවෙන්නෙ නැති වුණාම තර්ජන පවා කරලා තියෙනවා. මට සාමාන්‍යයෙන් ඒ දේවල්වලට තරහ යනවා.
ඒත් පුංචි කාලෙ වගේ නම් රණ්ඩුවට ගිහින් නැහැ.
මට අයියලා දෙන්නෙක් හිටපු නිසා සමහර වෙලාවට පිරිමි ළමයි පොඩි බයක් තිබුණා මට. මොකද අපේ ලොකු අයියා මාව ගන්න පන්තිය ළඟට එනවා.
මට පාසල් ප්‍රේමයකුත් නොතිබුණා නෙමෙයි. නමුත් ඒ කාලෙ ඇත්තටම ප්‍රේමය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති තරම්. ඒ කාලෙදි හම්බවෙනවා, කතා කරනවා එච්චරයි. ඒ කාලෙ මුලින්ම ආකර්ෂණයක් කියන දේනෙ ඇති වෙන්නෙ. ඉතින් මටත් එහෙම දෙයක් ඇති වුණා. ඊට පස්සෙ ඒවා නැතිවෙලාම ගියා. අදටත් දන්නෙ නැහැ ඒවට මොකද වුණේ කියලා. ඇත්තටම අපේ ජීවිතේ ආයෙත් යන්න බැරි සුන්දරම කාලයක් තමයි ඉස්කෝල කාලෙ කියන්නෙ. ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම් කියලා හිතෙනවා. හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණ කාලයක්. අදටත් ඉස්කෝලෙ දකිද්දි ඒ සුන්දර අතීතයට යනවා. ඉස්කෝලෙ ආදරණිය ගුරුවරු අපේ යාළුවො හැමදෙනාම මතක් වෙනවා. ඇත්තටම ඉස්කෝලෙන් ලබා ගත්ත දැනුම අත්දැකීම් හැමදේම එක්ක තමයි අපි අද සමාජයේ මේ විදියට ජීවත් වෙන්නෙ.
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්