ඒ ඈත් වීම මට දැනෙන්නේ අපිව මරලා දාලා වගේ
කුඩා කාලයේම රංගන ජීවිතේට ඇතුළු වෙන ඔහු අද කලා ක්ෙෂ්ත්‍රය තුල ජනප්‍රිය ආදරණීය චරිතයක් වී අවසන්. අරුංගල්, තාත්තා, මහපොළව වැනි කලාත්මක නිර්මාණ තුළින් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා ඔහු මේ දිනවල තවත් ජනප්‍රියම ටෙලි නිර්මාණයක් වූ කෝලං කුට්ටම ටෙලි නාට්‍ය තුලින් දැකගන්න පුළුවනි. රංගන ශිල්පියෙක් මෙන්ම වෘත්තියෙන් නීතිඥයකුද වන ඔහු මෞලි ෆර්ඩිනැන්ෙඩා්. මේ කතාබහ ඔහු සමඟයි.
මේ දිනවල ඔබේ අලුත්ම නිර්මාණ දායකත්වය "අඳුරු හීන" මියුසික් වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර?
මේ ගීතය චන්දන ලියනාරච්චිගේ ගීතයක්. ඒකේ විෂුවල් එකට තමයි මමයි උදාරියි සම්බන්ධ වෙන්නේ. ලැබෙන ප්‍රතිචාර නම් හිතුවටත් වඩා සතුටු දායකයි.
ඇයි මේ නිර්මාණයට එකතුවෙන්න හිතුවේ?
ඇත්තටම ඒක වෙනම කන්සෙප්ට් එකක්. මම ගොඩක් විෂුවල් කරලා නැහැ. මට මේක කරන්න ගොඩක් ආස හිතුණේ මේකේ හොඳ ඇක්ට් එකක් තිබුණ නිසා. ඇස් පේන්නේ නැති කෙනෙක්ට කෙල්ලෙක් ආදරය කරලා මැරි කරනවා. ඊට පස්සේ ඇස් දෙක සනීප වෙනවා. නමුත් පිරිමි කෙනාට ඇස් පෙනෙන්න පටන් ගත්තට පස්සේ එයාට ගෑණු ළමයව මුලින් දැනුණ තරම් දැනෙන්නේ නැහැ...ඒකෙන් අදහස් වෙන්නේ දැනෙන්නෑ කියන එකම නෙවෙයි ඇස් පෙනෙන්නේ නැති කාලේ ඊට වඩා ලෝකයක් එයා දැක්කා වගේ දෙයක්. මේ නිර්මාණය මම ආසාවෙන් භාරගත්ත නිර්මාණයක්.
මෞලි කියන චරිතේ අපි මේ දවස්වල විවිධ චරිත ඇතුළේ දකිනවා. සැබෑ ජීවිතේට සමීප නොවන වෙනස් චරිත කොහොමද මෙහෙම තමන්ගේ කරගන්නේ?
පොඩිකාලේ ඉදලා ගත්තොත් මට හරිම ඒකකාරී චරිත ටිකක් තමයි හම්බ වුණේ. හුඟක්ම ඉමෝෂනල් චරිත. ඒ ඒකාකාරී බව කඩා ගන්න මම සෑහෙන කාලයක් ඉදලා බලන් හිටියා. ඊට පස්සේ මුලින්ම නන්නත්තාර නාට්‍යයේ තමයි ටිකක් වෙනස් රෝල් එකක් හම්බවුණේ. ඊට පස්සේ කෝලං කුට්ටම. ඉතින් මේ හැම චරිතයක්ම මට ලොකු අභියෝගයකුත් වුණා. සාර්ථක වුණු තැන් වගේම අසාර්ථක වුණ තැනුත් සෑහෙන්න තියෙනවා. කොහොම වුණත් මම හිතනවා ආරම්භයට වඩා මම දැන් හොඳ තැනක ඉන්නවා කියලා. මම හැම වෙලාවකම උත්සහ කරනවා ලැබෙන චරිතය හොඳින් අධ්‍යනය කරලා චරිතයට සාදාරණයක් කරන්න.
ඔබේ පියා කලා අධ්යක්ෂවරයෙක්? අපි ඔහුවත් මතක් කරමු?
මගේ තාත්තා හේමසිරි ෆර්ඩිනෑන්ඩො. ඔහු වැඩ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. දැන් විශ්‍රාමිකයි. තාත්තා මං වගේ එක දෙයක් කරපු කෙනෙක් නෙවෙයි. එයත් කලාවට තදින්ම සම්බන්ධ වුණ කෙනෙක්. වේදිකාවේ හුඟක් වැඩ කරපු කෙනෙක්. තාත්තා පිටපත් රචකයෙක් “දියෙන් ගෙනා ගිනි, මල් පිපිලා, අකල විකල, රිදී කාසි, වගේ නාට්‍ය ගණනාවක් රචනා කරලා තියනවා වගේම ඔහු රාජ්‍ය සම්මානත් දිනාගෙන තිබෙනවා. ඒ වගේම තාත්තා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක්. කලා අධ්‍යක්ෂකවරයෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. වෙස් මුහුණු, අකාල සන්ද්‍යා, චක්‍ර, ඒ වගේ කතාබහට ලක්වුණු සම්මාන දිනපු නාට්‍ය බොහෝමයක කලා අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.
මෞලි වේදිකාවෙන් ටිකක් ඈත් වෙලාද?
හිතාමතා නොවුණත් වේදිකාවෙන් හුඟක්ම ඈත් වෙලා. ඇත්තට ඒ ඈත් වීම මට දැනෙන්නේ අපිව මරලා දාලා වගේ. වේදිකාව කියන්නේ සිටිය යුතුම තැනක්. නමුත් කාර්යබහුලත්වයත් එක්ක ඒකට වෙලාව වෙන්කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් කොහොම හරි වේදිකාවට ගොඩවිය යුතුයි කියන තැන දැන්නම් ඉන්නවා.
අරුංගල්, මහපොළව, තාත්තා වගේ කලාත්මක නිර්මාණ ඇතුළේ තමයි අපි මෞලිව වැඩිපුරම දැකලා තියෙන්නේ. නමුත් දැන් වාණිජමය නිර්මාණ තුළ වැඩි නැඹුරු වීමක් දකින්න ලැබෙනවා?
මට ලැබෙන හැම නිර්මාණයක්ම මම භාරගන්නේ නැහැ. මම ආසයි කලාත්මක නිර්මාණවලට. නමුත් වාණිජ නිර්මාණ ඇතුලේ මට හොඳ චරිතයක් ලැබෙනවනම් මම ඒක භාර නොගෙන ඉන්නේ නැහැ. අනිත් එක තමයි හැම දේටම කලින් මම මාව හොයාගන්නවා. මම උප්පත්තියෙන් මාව දන්නේ නැහැනේ. මට යම්කිසි හැකියාවක් තියනවා කියලා දන්නවා. ඒක වැඩි කරගන්න සුදුසු තැන්වල ජීවත්වෙන්න ඕනි කියලා හිතනවා. ටීවී කමර්ෂල්වලට මම ගොඩක් කැමති. ඒ පැත්තට යොමු වෙන්නේ මුදල් පරමාර්ථය හෝ වෙන හේතුවක් නිසා නෙවෙයි ඒ වෙනසත් ජීවිතේට එකතු කරගන්න මට අවශ්‍යතාවය තිබුණා.
ඔබ වෘත්තියෙන් නීතිඥයෙක් වගේම රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක සාර්ථකව ගමන් කරන්න දෙමව්පියන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය සහ ඔවුන් ඔබව විශ්වාස කිරීම පිළිබඳව අද මොකද හිතෙන්නේ?
මම මගේ ජීවිතේ ඉස්සරහට කතා කරන්න හිතන් හිටපු, සමාජයට දෙන්න හිටපු පණිවිඩයක් තමයි ඔබ මගෙන් ඇහුවේ. මගේ අම්මා තාත්තා මට දීපු නිදහස සහ එයාලා මාව විශ්වාස කරපු විදිය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මේ වෘත්තීන් දෙකම මට ලැබුණේ ඒ නිසා. මම නීතිඥයෙක් සහ නළුවෙක් වීම මගේ අම්මටයි තාත්තටයි ඕනි විදියට සිදුවුණ දෙයක් නොවෙයි. එයාලා මට ජීවිතේ මඟ පෙන්නුවේ නොවැටී ඉන්නවට වඩා වැටුණම නැඟිටින්න. ඒ නිසා මම අභියෝග වලට භය වුණේ නැහැ. ඊටත් වඩා කවදාහරි ඔයා මේ වගේ කෙනෙක් වෙන්න ඕනි කියන බල කිරීම් කරලා නැහැ. කැමති දේ කරන්න කැමති කෙනා වෙන්න සහායෝගය සහ නිදහස දුන්නා විතරයි.
නයනා උදයංගනී