ඒ ඇඳුම ඇඟට දාගත්තාම මාව හිර කූඩුවක දාලා වගේ හැඟීමක් තමයි දැනුණේ
කලා ක්ෂේත්රයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන සිටින දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක් සමගින් කතාබහක් කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කළා. ඒ ආදරණීය චරිතය, නිරෝෂා තලගල.
නිරෝෂා කොහොම ද ජීවිතේ? බොනිකර තරුවක් වගේ ද?
“ඔව්නේ... මේ කාලෙ ඉතින් හැමෝගෙම ජීවිත බොනිකර තරු වෙලානෙ තියෙන්නේ. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.”
එහෙනම් අපි මේ ‘බොනිකර තරු’ ටෙලි නිර්මාණය ගැන කතා කරමු ද?
“ඇත්තටම මේ නිර්මාණය නියම කාලෙදි තමයි විකාශය වෙන්නේ. මේ කාලෙ අපි මුහුණදීලා තියෙන ප්‍රශ්නත් එක්ක තනිකර බොරුවනෙ තියෙන්නේ. ඒක නිසා මිනිස්සුන්ගේ ආකර්ෂණය ගොඩක් දිනාගෙන තියෙනවා.
මේ ටෙලි නිර්මාණයත්, මෙහි චරිතත් මිනිස්සුන්ට ගොඩක් දැනෙනවා. අපි කරපු පරණ චරිත රංගනයනුත් අමතක වෙලා මේ වෙද්දී. මෙහි මම රංගනයෙන් යෙදෙන ෂර්මිලා චරිතය නමින් දැන් කට්ටිය ආමන්ත්‍රණය කරනවා. ඒ තරමට ප්‍රතිචාර තියෙනවා මේ නිර්මාණය වෙනුවෙන්.”
මීට අමතරව නිරෝෂා දකින්න ඉන්නේ?
“මේ නිර්මාණයට අමතරව මම ‘මහවිරු පණ්ඩු’ තුළින් දකින්න ඉන්නවා. මේ මගේ රංගන ජීවිතේ මට ලැබුණු අලුත්ම අත්දැකීමක්. පුංචි තිරයේ ඉතිහාස කතාවකට සම්බන්ධ වුණු පළමු වතාව මේ. ඇත්තටම මේ රංගනය හරිම අපහසුයි සාමාන්‍ය චරිතවලට වඩා. මොකද ඒ ඇඳුම් පැළඳුම්, කතා විලාශය, ගමන් කරන විලාශය ඒ හැමදේම ගොඩක් වෙනස්නේ. බොහොම ඉවසීමෙන් සහ අවධානයෙන් කළ යුතු රංගනයක්. නමුත් මෙහි අධ්යක්ෂවරයා සනත් අබේසේකර මහත්මයා මේ වැඩ කටයුත්ත වෙනුවෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔහු එක්ක මම වැඩ කරන්නෙ පළමු වතාවට. ඇත්තටම මට මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වෙන්න ගොඩක් හිතන්න වුණේ නැහැ. මොකද පුරාවෘත්ත, රජ කතා වැනි දේවල් හොඳින් අධ්‍යයනය කරලා ඒ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි ඔහු. ඒ නිසා ඒ තුළින් ඉතිහාසයට හානියක් වෙන්නෙත් නැහැ. අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එවැනි ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු දෙයක්.
‘මහවිරු පණ්ඩු’ කාලයක් තිස්සේ විකාශය වුණු නිර්මාණයක්. මම ඒ වෙනුවෙන් සම්බන්ධ වුණේ කොටස් 150ක් ගියාට පසුව. මේ වෙද්දී කොටස් 500 දක්වා ඇදිලා තියෙනවා ඉතින් අපිට මේ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක බලද්දී මිනිස්සු ඉතිහාස කතාවලට ගොඩක් ආදරේ කරන බව පේනවා. මගේ චරිතය නාගරාණි. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් කතාබහක් තිබෙනවා. ඒ දේ ගොඩක් දැනෙන්නෙ අපි එළියෙ රූගත කිරීම්වලට ගියාම තමයි.”
ඉතිහාස කතාවකට සම්බන්ධ වීම අලුත්ම අත්දෑකීමක් වුණා කිව්වනේ? කොහොමත් නිරෝෂා තලගල විවිධාකාර වූ චරිත රංගනයන් තුළින් පුංචි තිරයේ දකින්න ලැබෙනවා. මෑතකදී පොලිස් නිලධාරිනියක් විදිහට දකින්න හිටියා. ඒ චරිතයත් අලුත්ම අත්දැකීමක් ද?
“ඔව්, පොලිස් නිලධාරිනියක් විදිහට චරිත රංගනයේ යෙදුණේ පළමු වතාවට. ඒ ‘එන්කවුන්ටර්’ ටෙලි නිර්මාණය හරහා. ඇත්තටම ඒ නිල ඇඳුම ඇන්දාම තමයි එහි තියෙන අපහසුතාව දැනුණේ.
ඒ ඇඳුම ඇඟට දාගත්තාම මාව හිර කූඩුවක දාලා වගේ හැඟීමක් තමයි දැනුණේ. ඇත්තටම මේ නිලධාරීන් කොහොම ද මේ නිල ඇඳුම දාගෙන වැඩ කරන්නේ කියලා හිතුණ. බෙල්ට් දාලා තද කරලා ඇඟට බර ඇඳුමක්නේ ඒ. හරිම අපහසුයි. ඇත්තටම රටේ පොඩි සිදුවීමක් වුණ ගමන්ම මිනිස්සු එළියෙ ඉඳගෙන මේ නිලධාරීන්ට කෑගහනවා, බනිනවා. නමුත් උදේ ඉඳන් රෑ වෙනකම් මේ ඇඳුමත් ඇඳගෙන ඒ කරන රැකියාවේ අපහසුතාව මට මේ චරිත රංගනය හරහා තදින්ම දැනුණා.
ඇත්තටම රංගන ශිල්පි ශිල්පිනියන් වුණාම අපි විවිධ ක්ෂේත්රවල චරිත රංගනයන්වල නිරත වෙනවනේ. ඒ සමහර වෙලාවට ඒ ක්ෂේත්රවල සමහර පීඩාකාරී දේවල් අත්විඳිනවා. හැම වෘත්තියක්ම අපහසුයි තමයි. නමුත් මේ වෘත්තීන්වල ඇඳුමේ ඉඳන් ලොකු අපහසුවක් තියෙනවා.”
නිරෝෂාට විවිධ වෘත්තීන්වල චරිත රංගනයන් කරන්න ලැබිලා තියෙනවනේ. වෘත්තීන් වශයෙන් ගත්තොත් කැමැතිම චරිත රංගනයක් තියෙනවා ද?
“ඔව්. ඇත්තටම මේ වෙද්දී මගේ වාසනාවකට වගේ එක රාමුවකට කොටු නොවී විවිධාකාර විදිහේ චරිත රංගනයන් කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ රංගනයන්වලට මාව හොඳයි කියලා විශ්වාස කරලා මාව සම්බන්ධ කරගත්ත අධ්‍යක්ෂවරුන්ට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේම සහාය අධ්යක්ෂවරුන්, මාව යෝජනා කරපු නිෂ්පාදකවරුන්ටත් ඒ ස්තුතිය පුද කළ යුතුමයි. ඔවුන්ගේ සහයෝගය නිසා තමයි මට විවිධාකාර චරිත රංගනයන් කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මේ වෙද්දී විවිධ වෘත්තීන්වල චරිත රංගනයන් කරලා තියෙනවා. ප්‍රහසන නාට්‍යවලට පවා මට චරිත ලැබිලා තියෙනවා. ඒ හැමදේම අතරින් මම කැමැතිම චරිත රංගනයක් වුණේ ගුරුවරියකගේ චරිතය. ඉදිරියටත් මම එවැනි චරිතයක් කරන්න කැමැතියි. විශේෂයෙන්ම දමිළ නර්තන ගුරුවරියකගේ චරිතයක් කරන්න ආසයි. මොකද මම මුලින් හැදෑරුවේ නර්තනය. එහිදී ප්‍රධාන වශයෙන් මම හදාරලා තියෙන්නෙ භරත නාට්‍යය. ඒ නිසා ඒ අංශයට හැකියාවක් තියෙනවා. මට දෙමළ කතා කරන්න නම් බැහැ. නමුත් මම එවැනි ගුරුවරියකගේ චරිතයක් කරන්න කැමැතියි.”
ගුරුවරියකගේ චරිතයක් කරන්න ආසයි කිව්වනේ? ඉතින් ඇත්ත ජීවිතේ සැබෑ කරගන්න හිතුවේ නැද්ද?
“ඇත්තටම මට රංගන ශිල්පිනියක් වෙන්න කවදාවත්ම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ආස කළේ නර්තනයට. ඉගෙන ගත්තෙත් නර්තනය. ඒ නිසාම මම නර්තන ගුරුවරියක් වෙන්න තමයි කැමැත්තෙන් හිටියේ. නමුත් මගේ මහත්තයාට තමයි ඕනෑ වුණේ මාව රංගනයට යොමු කරන්න. ඒ වෙද්දී ඔහු මගෙ පෙම්වතා. ඔහුගේ කැමැත්තට අද මේ වෘත්තියේ නියැළෙන්නෙ නැති නම් මම අද නර්තන ගුරුවරියක්.”
මහත්තයාගේ කැමැත්තට රංගනයට එකතු වුණේ කොහොම ද?
“ඔහු මාව මුලින්ම වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කළා. ඒ තුළින් තමයි මාව මුලින්ම ‘පබා’ නාට්‍යයට සම්බන්ධ කරගත්තේ. ඒ ‘චාපා’ චරිතය වෙනුවෙන්. එතැනින් පසුව දිගින් දිගටම මට චරිත ලැබුණා රංගනයේ යෙදෙන්න. නමුත් මගේ කැමැත්තක් තිබුණේම නැහැ. මට සමහර වෙලාවට නිර්මාණවලට කතා කරද්දී මම ඒවාට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. දුරකතනය පවා විසන්ධි කරගෙන හිටියේ. නමුත් ටිකින් ටික මහත්තයාගේ කැමැත්තට මම නිර්මාණ එක දෙක සඳහා සම්බන්ධ වෙද්දී මම මේ ක්ෂේත්රයට ආදරය කරන්න පටන් ගත්තා. ඒ කැමැත්ත සහ ආදරය එක්ක මම දැඩි පිපාසයකින් චරිත හොයන්න පටන් ගන්නේ. ඒ විදිහට තමයි විවිධාකාර චරිත රංගනවල යෙදෙන්නේ. ඒ ආසාව තව වෙනකම් නැති වෙලා නැහැ.”
නර්තනය පැත්තෙන් යන ගමනත් නවත්වලා නැහැ නේද?
“ඔව්. නර්තනයත් කරගෙන යනවා. මට නර්තන කණ්ඩායමක් තියෙනවා. එහි වැඩ කටයුතුත් කෙරීගෙන යනවා. නමුත් මේ දිනවල නම් රටේ පවතින තත්ත්වය මත ප්‍රසංගවල අඩු වීමක් තියෙනවා. ප්‍රසංගවලට කතා කරලා අපේ මුදල කියද්දිත් ප්‍රසංග ප්‍රතික්ෂේප වීමකුත් වෙනවා. මේ කාලේ ආර්ථික තත්ත්වය එක්ක අපිටත් අපහසුයිනේ. ඉස්සර කණ්ඩායමේ ළමයෙකුට ගෙවන මුදල අද කාලෙට ප්‍රමාණවත් නැහැනේ. හැමදේකම මිල ඉහළයි. ඒ නිසා ලොකු වියදමක් අපිටත් යනවනේ. ඉතින් අද වෙද්දි නර්තන කණ්ඩායමේ වැඩවල අඩුවක් තියෙනවා.”
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්