ඒ ආදරයත් ආදර කතාවත් හරි වෙනස් - නයනතරා වික්‍රමආරච්චි
ආදරණීය නිලා... මගේ හද මඬලේ එක් තැනක නවතින්න දැයි නොඅසාම නුඹට නවතින්න හැකිවුණේ මේ ලෝකයේ සොඳුරුතම ආදරවන්තිය නුඹදැයි හිතෙන තරම් විසල් ප්‍රේමයකින්, “ගන්න හුස්මක් ගාණේ ආදරෙයි මගෙ මිනිහො” කියලා වචනවලින් නොකියා දැනවූ ප්‍රේමයකින් උඹ අමරෙට ආදරය කරපු හින්දා... එහෙම තමයි නිලා රැජනක් වුණත්, කුමරියක වුණත්, හිස දරන කිරැළේ මිණි මුතු කොයි තරම් දිලිසුණත්, හුස්මක් වැටෙන හැම ගැහැනියක්ම, හුස්මක් වැටෙන බව දැනෙන ජීවිතයක් හොයන හැම ගැහැනියක්ම, පිරිමි පපුවක අමුතු උණුහුම විඳින්නෙම ආදරය ඉල්ලගෙන... ඒත් නිලා හරි ලස්සනට කියා දෙනවා ආදරය කියන්නෙ පිදුමක් මිසක් ඉල්ලීමක් නෙවෙයි කියලා.
“සිහිලැල් පවන් රැල්
මසිත තැවරූ සුවඳ මල් මාලා
ගලාවිත් තිස්සේම මා මත් කළා”
නිලා එහෙම කියුවේත් අමරේටය. ජීවිතය දැනෙන්නම ආදරය තියෙන තැන නොවෙන්නට අමරේ සැතපුම් සිය දහස් ගව් දුර ගෙවා යළිත් නිලා සොයා එන්නටත් හැටියක් නැත. ආදරේ නම් ඉතින් එහෙමය. ආදරේ නම් ඉතින් එහෙමමය. ප්‍රේමණීය පෙම්බරාණන් අත්සනින් නොව හදවතින් තමන් සන්තක වූ කල, හදවතින් හදවතට ළය ලෙයට දැනෙන්නට බැඳුණු කල ප්‍රේමය තරම් ශ්‍රේෂ්ඨත්වයක් ලොව නැති වග කියන නිලා මා දකින්නේ ප්‍රේමණීය ගැහැනියක උදෙසා සිනමාමය ප්රකාශනයක් ලෙසය. ඒ නිලා මට හමුවූයේ ක්‍රිස් ඇන්ටනි නම් සිනමාවේදියා විසින් නිර්මාණය කළ පාස්පෝට් සිනමා වියමනෙහි සිනමා අක්ෂරයන් කියවද්දීය.
නිලා හා ආත්මීයව හුස්මක් ගත් ඇය නයනතාරා වික්‍රමාරච්චිය. සිනමාවේදයේ අකුරු උගනින්නට ඉන්දියාවට ගිය නයනතාරා හා කතාබහේ ප්රස්තුතය පාස්පෝට් විතරක්ම නම් නොවේ.
නයනතාරා ඔබ ඉන්දීය සිනමාව හා බැඳෙන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ දැනෙන සතුට, ආත්ම තෘප්තිය හෝ ඔබට දැනෙන වෙනත් හැඟීමක් කොහොමද වචනයෙන් අපට කියන්නේ?
ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් කාලය එද්දි ඒ සම්බන්ධව අපි කතා කරමු. මම හිතන්නේ දැන් නෙවෙයි වෙලාව ඒ ගැන කතා කරන්න. හොඳම මොහොත ආවම මම අනිවාර්යෙන් මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඒ ගැන කතා කරනවා.
හින්දී භාෂාව කියන්නේ මේ ලෝකයේ තියෙන ගීතවත්ම, සෞන්දර්යාත්මකම භාෂාවක්. ඒ භාෂාව කතා කරද්දී, ඒ භාෂාව කනට ඇහෙද්දී කොහොම හැඟීමක්ද හිතට දැනෙන්නේ?
හින්දී කියන්නේ මම පුංචි කාලෙ ඉඳන්ම හුඟාක් ආසා කරන, ආදරේ කරන භාෂාවක්. මම හිතන්නේ මම විතරක් නෙවෙයි, හුඟ දෙනෙක් හින්දී භාෂාවට ආසයි. මොකද ඒක කනට ඇහෙද්දී කනට හරිම ප්‍රිය භාෂාවක්. විශේෂයෙන්ම මම හින්දී ගීතවලට හුඟාක් ආසයි. හරි සමීප බවක්, හෘදයාංගම බවක් දැනෙන භාෂාවක් තමයි හින්දී භාෂාව කියන්නේ.
නිළියක් කියන භූමිකාව ඔබ නිර්වචනය කරගන්නෙ කොහොමද?
නිළියක් කියන එක භූමිකාවකට වඩා මම දකින්නේ ගෞරවනීය වෘත්තියක් විදිහට. නිළිය හෝ නළුවා කියන කෙනා මෙහෙමයි, මෙන්න මෙහෙම කෙනෙක් කියලා නිර්වචනය කරන්න බෑ. මේ ලෝකයට එන හැම කෙනෙක්ටම නිදහස තියෙන්න ඕනෑ. මම හිතනවා නළුවෙක් නිළියෙක් කියන කෙනා ඉතාමත් නිදහස් චරිතයක්, නිදහස් ජීවියෙක් වෙන්න ඕනෑ. එහෙම මානසික නිදහසක් නැතුව අපිට නිළිය නළුවා කියන භූමිකාව පුරවන්න බෑ. මම දකින විදිහට නළුවෙකුට නිළියකට නිර්වචනයක් නෑ. න්යායන්වලදී නම් කියනවා නළුවෙක් නිළියක් කියන්නේ පස් පිඬක් වගේ, ඒ කෙනා ඕනෑ වෙලාවකට චරිතයකට හැඩගස්වලා ගන්න පුළුවන් කියලා. අනිත් එක නළුවෙක් නිළියක් කියන්නේ එයා රඟපාන චරිතය එක්ක නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්වන කෙනෙක්. ඉතින් නළුවෙකුට නිළියකට ලොකු මානසික නිදහසක් සහ මතක ශක්තියක් තියෙන්න ඕනෑ.
ඉන්දියාව කියන්නෙ සිනමාව දැවැන්ත කර්මාන්තයක් විදිහට ගොඩනැගුණු රටක්. ඒ රටේ සිනමාව ගැන ඔබට තියෙන්නේ කොහොම අවබෝධයක්ද?
ඕනෑම කර්මාන්තයක් ගැන අපට අවබෝධය එන්නෙ අපට ලැබෙන අත්දැකීම් එක්ක. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අවබෝධය වැඩි වෙනවා කියන එකයි මගේ හැඟීම.
ශ්‍රී ලාංකික ඔබ ඉන්දියානු සිනමාව හා එක්වෙද්දී ඔබට ලැබුණු පිළිගැනීම කොහොමද? ඔවුන් ඇසුරේ ඔබ ලද විශේෂ අත්දැකීම් හා ඔබ ඉගෙනගත් විශේෂ දේවල් මොනවද?
ඉන්දියාවේ මුම්බායිවලට මම මුලින්ම ගියේ අනුපම් කේල් රංගායතනයේ අධ්‍යාපනය ලබන්න මම තේරුණු නිසා. අනුපම් කේල් හීදි මට මුණගැසුණු, මහේෂ් බාත් ප්‍රවීණ අධ්යක්ෂවරයා, ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී ජැකී ෂෙරොෆ් වැනි ජ්‍යෙෂ්ඨයන් හා ගැවසෙද්දී මට තේරුණු දේ ඔවුන් ඔවුන්ගේ මනස සිනමාවෙන් පිටස්තර කිසිම දෙයකට යොදවන්නෙ නැතුව කටයුතු කරන විදිහ. සිනමාව කියන්නෙ කෙතරම් ගැඹුරු සංකීර්ණතාවලින් යුක්ත වෘත්තියක්ද කියන එක. සිනමාවට ඔවුන් ආදරෙයි. එය කලාත්මක දෙයක්. ඒත් මේ කලාත්මක දේ ව්‍යාපාරයක් විදිහට කළොත් තමයි එය කර්මාන්තයක් වෙන්නෙ. ඉතින් මම හිතන්නේ කලාත්මක දේවල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන ආකාරය ගැන හුඟාක් දේවල් සිනමාව දැවැන්ත කර්මාන්තයක් වුණු ඉන්දියාවෙන් ඉගෙන ගන්න පුළුවන්. Business Acting කියලා අපට වෙනම විෂය නිර්දේශයක් තිබුණා. ඒක අපේ ලංකාවේ මම දැක්කෙ නෑ. ඒත් අපේ පරම්පරාවේ ඒ උවමනාව උනන්දුව තියෙන ලොකු පිරිසක් ඉන්නවා. අපි ආදරය කරන කලාව කලාත්මක විදිහට ව්‍යාපාරයක් බවට පත් කරගන්න නම් ඒ දැනුම අපි ළඟ තියෙන්නම ඕනෑ දෙයක්.
ඉන්දියාව කියන්නේ සිනමාවට, සංගීතයට, කලාවට දේවත්වයෙන් සලකන රටක්. ඔවුන් කලාවට දක්වන ඒ භක්ත්‍යාදරය ගැන ඔබට තියෙන ප්‍රායෝගික අත්දැකීම් මොනවද?
ඇත්තටම ඔවුන් විතරක් නෙවෙයි අපිත් සිනමාවට, සංගීතයට, කලාවට දේවත්වයෙන් සලකනවා කියලා මට හිතෙනවා. එහෙම නොවුණනම් අපි කලාවට සම්බන්ධ වැඩක් ආරම්භ කරන්න කලින් සරස්වතී දේවියට නමස්කාර පූර්වකව වන්දනා කරලා ආශිර්වාදය ගන්නෙ නෑනෙ. එහෙත් කලාවට, සිනමාවට, සංගීතයට දේවත්වයෙන් සලකන ඒ ගුණය ඉන්දියාවේ දහස් ගුණයකින් වැඩියි. දේවත්වය හා බැඳුණු ඒ විශ්වාස ඔවුන්ගේ සංස්කෘතිය, සම්ප්රදාය එක්ක තදින්ම බැඳිලා තියෙනවා. ඔවුන් මොන නිර්මාණයක් කළත් දෙවියන් වෙනුවෙන් පූජාවක් තියලා දෙවියන්ගේ ආශිර්වාද ගන්නවා. ඇත්තටම ඒක හරි ධනාත්මක දෙයක්. මනස තමයි ඇත්තටම ප්‍රධානම දේ. ඉතින් ඔවුන් විශ්වාස කරන ඇදහිලි විශ්වාස ඔස්සේ ආශිර්වාද අරගෙන තමයි ඔවුන් ඕනෑ නිර්මාණයක් ආරම්භ කරන්නේ. අපි නොහිතන මිනිසුන් පවා යම් නිර්මාණ කාර්යයක් ආරම්භ කරන්නෙ එහෙමයි. ඇත්තටම එය නිර්මාණයක ආරම්භයට පෙර සුබවාදී සලකුණක් විදිහටයි මම දකින්නේ. මට තියෙන ප්‍රායෝගික අත්දැකීම් ගත්තොත් මුම්බායි ස්කූල් එකේ ඉද්දි මම ලබපු විශේෂ අත්දැකීමක් තියෙනවා. ඒ පාසලේ පිවිසුම් දොරටුව ළඟම විශාල ශ්‍රී ගනේෂ් දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. මම දැකපු දෙයක් තමයි අනුපම් කේල් මහත්මයා පවා ඒ ශ්‍රී ගනේෂ් ප්‍රතිමාවට වැඳලා තමයි පාසලට ඇතුළු වෙන්නේ.
ඉන්දියානු කලා ක්ෂේත්රය තුළ එකිනෙකට දක්වන ගෞරවය ශ්‍රී ලාංකික කලා ක්ෂේත්රය හා සසඳද්දී වෙනස් වන තැන් නයනතාරාට දැනුණේ කොහොමද?
ඉන්දියානු කලා ක්ෂේත්රය තුළ ඔවුන් එකිනෙකාට බොහෝ ගරු කරනවා. සිනමා අධ්යක්ෂවරයා ගත්තොත් ඔහු රංගන ශිල්පීන්ට වගේම, රංගන ශිල්පීන් සිනමා අධ්‍යක්ෂවරයාටත් ඉහළින්ම ගරු කරනවා. කෙනෙක්ට ආදරය ගෞරවය දැක්වූ විට පෙරළා ඒ ආදරය ලැබෙනවා. ඒ සිද්ධාන්තයම තමයි මෙතැන තියෙන්නේ. ඒක සාමාන්‍ය නිහතමානී මානුෂීය සබඳතාවක්. රංගන ශිල්පීන් ශිල්පිනියන්, අධ්යක්ෂවරයා ඇතුළු සියලුම ශිල්පීන් එකිනෙකාට දක්වන ඒ ගෞරවය ආදරය හරිම මානවීය ස්වරූපයකින් ඉන්දියානු සිනමාව තුළ අත්විඳින්න පුළුවන්. බොලිවුඩ් හොලිවුඩ් අය සිනමාව හා කලාව වෙනුවෙන් උපරිම මහන්සි වෙනවා. ඒකට එක් ප්‍රධානම හේතුවක් තමයි එය ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වීම. ඉතින් එහි ගෞරවය තියන්න, එය හැමදාම රැකගන්න මහන්සි වෙනවා වගේම විනය හා ආචාරධර්ම ඔවුන් රකිනවා. මම දකින විදිහට නිර්මාණයකට දෙන්න පුළුවන් උපරිම දේව භක්තිය තමයි මහන්සි වෙලා උපරිම කැපකිරීමකින් ඒ නිර්මාණයට සාධාරණය ඉටු කිරීම.
සිනමාව හා ඔබේ මුහුවීමත් පාස්පෝට්හි නිලා හා යාවී නයනතාරා ගත් හුස්ම කොහොම බැඳීමකින් ගත් හුස්මක් විදිහටද දැනෙන්නේ?
මගේ පළමු සිනමා නිර්මාණය එක දවසක අපි. එහි පාරමී කියන චරිතය මම නිරූපණය කළේ. මගේ දෙවැනි චිත්‍රපටය සිනේමා. එහි තිළිණි කියන චරිතය තමයි මම නිරූපණය කළේ. තුන්වැනි සිනමා නිර්මාණය ඔස්ට්‍රේලියාවේ තිරගත වුණු ෂැඩෝ යන චිත්‍රපටය. තාරා කියන චරිතය මම එහි නිරූපණය කළේ. පාස්පෝට් මගේ හතරවැනි චිත්‍රපටය. නිලා කියන දමිළ යුවතියගේ චරිතය මම එහි නිරූපණය කළේ. ලලිත් රත්නායක නිර්මාණවේදියාගේ ජීවිතයේ එක දවසක් හි ශාරදා චරිතය ඔස්සේ මම දමිළ යුවතියකගේ චරිතයක් නිරූපණය කරනවා ප්‍රේක්ෂකයා දැක තිබුණත් පාස්පෝට් හි තමයි දමිළ යුවතියකගේ චරිතයක් මම මුල් වරට රඟපෑවේ. නිලා මට වෙනස්ම අත්දැකීමක් වුණා. පළමු වතාවට චරිතයකදී දමිළ යුවතියක් ලෙස ඇන්දා. ඒ ආභරණ පැළඳුවා. වෙනස් පරිසරයක රූගත කිරීම් කළේ. ඒ වගේම හරිම ආදරණීය පිරිසක් සමඟ වැඩ කළේ. ජගත් අයියා, ධර්මප්‍රිය අයියා, මල්කාන්ති ආන්ටි, මේ ඔක්කොමලා හරි ළෙන්ගතුයි. නිලා කියන්නේ හරි ආදරණීය, ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානමින් ඉන්න ඉතා අවංක, කටකාර, දමිළ වතුකර යුවතියක්. නිලාගේ ආදරය සහ නිලාගේ ආදර කතාව හරි වෙනස්. අපේ පරම්පරාවේ බහුතරයක් දකින ආදරයට වඩා වෙනස්. මම ආරාධනා කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැම කෙනෙක්ටම පාස්පෝට් බලන්න. නිලාගේ ආදරය බලන්න. හීන හඹා යන තරුණ හිත්, ඒ හීන, අරමුණු ගැන කියවන්න. රට අත්හැරලා විදේශ ජීවිතය සැපක් කියලා හිතන අය පාස්පෝට් අනිවාර්යෙන් බලන්න. අපි දකින හීන සමහරවිට අපි හිතන තරම් සුන්දර නොවෙන්න පුළුවන්. සමහරවිට හිතනවටත් වඩා සුන්දර වෙන්න පුළුවන්. නිලාට මම හරි ආදරෙයි. මම හිතනවා ප්‍රේක්ෂකයනුත් නිලාට හුඟාක් ආදරය කරයි කියලා.
ක්‍රිස් ඇන්ටනි කියන්නේ ඔබේ දක්ෂතාවය මැනවින් හඳුනාගත් අධ්යක්ෂවරයෙක් ලෙස අපි හඳුනා ගන්නවා. ඒ අධ්යක්ෂවරයා ඔබට දැනෙන්නෙ කොහොමද?
පාස්පෝට් කියන්නෙ නිර්මාණවේදී ක්‍රිස් ඇන්ටනිගේ පළමු චිත්‍රපටයයි. පළමු චිත්‍රපටයෙන්ම ඔහු ලොකු වෙනසක් කරලා තියෙනවා. ඒක පාස්පෝට් බලපු ඕනෑම කෙනෙක්ට දැනෙනවා. ලංකාව ඇතුළේ කරන්න බැහැ කියලා හිතෙන වෙනසක් පාස්පෝට් චිත්‍රපටය ඇතුළෙ තියෙනවා. පාස්පෝට් ඇවිත් පළමු සහ දෙවැනි දවස් දෙක (ඇය හා මා කතා කරන විට පාස්පෝට් ලාංකික රසිකාගාරයට තිළිණ වී දවස් දෙකයි) පාස්පෝට් හවුස් ෆුල් වුණා. මම ඇතුළු අපි කණ්ඩායමට ඒක ලොකු සතුටක්. අපි මෙච්චර කල් ඉන්දියාවේ විතරයි දැකලා තිබුණේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට ශාලා ඇතුළේ කෑ ගහනවා. පාස්පෝට් ඔස්සේ අපි ඒ අත්දැකීම විඳගත්තා. එයාලා පොඩි වීඩියෝ දානවා, එයාලගේ සතුට දන්වලා. අධ්යක්ෂවරයා ඇතුළු අපි හරි සතුටින් ඉන්නේ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා. ක්‍රිස් ඇන්ටනි මහතා කියන්නෙ අපේ සිනමාවට පැමිණි ඉතාමත් දක්ෂ, සිනමාවට අවශ්‍යම අධ්යක්ෂවරයෙක් ලෙසයි මම දකින්නේ.
ඉන්දියානු සිනමාවේ දොරටු ඇරෙද්දි නයනතාරා මතු යම් දවසක සිංහල සිනමාවෙන් සමුගනීද? මොකක්ද ඔබ මට දෙන ඇත්තම උත්තරය?
මම පුංචි කාලේ ඉඳන්ම රංගනය ගැන ඉගෙන ගන්න ආසා වුණා. අනෝජා වීරසිංහ මහත්මිය ළඟ මුලින් ඉගෙන ගත්තා. ඊට පසු අනුපම් කේල් රංගායතනයේ ඉගෙන ගන්න මම සුදුසුකම් ලැබුවා. හොඳ ආරාධනාවක් ලැබුණොත් මම බාර නොගෙන ඉන්න කිසිම හේතුවක් නෑ. හැබැයි මට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් දේ තමයි අපේ සිනමාවත් ඉන්දියානු සිනමාව වගේම දැවැන්ත කර්මාන්තයක් විදිහට ගොඩනැගෙනවා දකින එක. කවදාවත් මම ලංකාවේ වැඩ නොකර ඉන්නෙ නෑ. ලාංකික සිනමාව ගොඩනගන්න මට කළ හැකි යමක් වෙත්නම් එය උපරිමයෙන් මම නොකර ඉන්නෙත් නෑ.
• සංජීවිකා සමරතුංග