ඒ අත්දැකීම් මට තියෙනවා. මම පෙම්වතෙක්.
මීළඟට අපි සම්බන්ධ කරගත්තේ සචින් චතුරංග
සචින් කොහොමද ඉරෝන්ට තියෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ඉතා ඉහළයි. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි කොහේ ගියත් අද කතා කරනවා ඉරෝන් ගැන. මේ තරමටම ප්‍රේක්ෂකයෝ අතරට ඉරෝන්ව යයි කියලා මම හිතුවෙ නැහැ. ඉතින් ලැබෙන ප්‍රතිචාර හිතාගන්න බැහැ. ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට මම හරිම ආදරෙයි.
වගීෂා සහ සචින් ඔබ දෙපළගෙ මේ රංගනය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම වගීෂායි මමයි හමුවුණු සහ දැකපු පළවෙනි දවසෙ අපි හරියට කතා කළේවත් නැහැ. අදට වුණත් එහෙම කතාබහක් නැහැ. රංගනයෙන් පසුව ගෙවල්වලට ගියාට අඩුම තරමේ අපි ඇමතුමකින් හෝ කෙටි පණිවිඩයකින්වත් ඇත්ත ජීවිතේ සම්බන්ධතා නැහැ. ඒවා ඒ විදියට වුණත් මේ චරිත රූගත කිරීම සිදුවෙද්දි මොකක් හෝ දේකින් අපි දෙන්නගේ රංගනය මාරම විදියට සිද්ධවෙනවා. මම හිතන්නෙ අපි දෙන්නටම ලොකු අවබෝධයක් තියෙනවා මේ චරිත රංගනයන් දෙක ගැන. ඒ අවබෝධය එක්ක අපි දෙන්නා හැමවෙලාවෙම මේ රංගනයේ යෙදෙන්න කලින් කතා බහ කරගෙන වැඩේට යන්නෙ. මෙහි අධ්යක්ෂවරයාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා අපිට. ඉතින් ඒ හැමදෙනාගෙම සහාය එක්ක තමයි අපි මේ රංගනයන් ගොඩනඟාගෙන යන්නෙ. අද ලැබෙන ප්‍රතිචාර එක්ක අපේ රංගනයන් සාර්ථකයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.
මේ චරිත රංගනයන් තාත්ත්විකව ඉදිරිපත් කරන නිසාම ඔබ දෙපළව ප්‍රේක්ෂකයෝ විවාහ කරලාත් ඉවරයි නේද?
ඔව්. ඔව්. ගොඩක් දෙනෙක්ගේ ප්‍රතිචාරය ඒක තමයි. වගීෂායි මමයි ඇත්තටම එකතු වුණොත් හොඳයි කියනවා. ගැළපෙනවා කියනවා. ඒ වගේ ප්‍රතිචාර ගොඩයි.
සචින්ට නම් ප්‍රේමය පිළිබඳ අත්දැකීම් මේ වෙද්දි තියෙනවා නේද?
ඔව්. ඒ අත්දැකීම් මට තියෙනවා. මම පෙම්වතෙක්. ඉතින් මගේ ඒ සැබෑ ජීවිතේ අත්දැකීම් මේ චරිතය වෙනුවෙන් උපයෝගී වෙන්නත් ඇති. මොකද සචින් කියන්නෙ හරි ආදරණීය චරිතයක්. හැම වෙලාවෙම ආදරය හොයනවා. ආදරය ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඇත්ත සචින් තමයි ඉරෝන් චරිතයට ගෙනාවෙ කියලා. සචින්ගෙයි ඉරෝන්ගෙයි වෙනසක් නැහැ. එකම වෙනසයි තියෙන්නේ. ඒ මේ කතාවෙ ඉරෝන් පාතාලෙ ඉන්නෙ නමුත් සචින් පාතාලේ කෙනෙක් නෙවෙයි.
සචින්ගේ පාතාල වැඩ නැද්ද?
නැත්තෙමත් නැහැ. අවශ්‍ය වෙලාවට පොඩි පාතාල වැඩි ටිකක් තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් ලොකු පාතාලයක් නම් නැහැ.
කොහොමත් සචින්ට ලැබෙන්නෙත් චණ්ඩි චරිතනෙ නේද?
ඇත්තටම ඔව්. ගොඩක් ලැබෙන්නෙ කළු චරිත තමයි. නමුත් මම ඒ චරිතවලට කැමැතියි සුදු චරිතවලට වඩා. අද සමාජයෙත් සුදු චරිතවලට වඩා ගොඩක් දෙනෙක් ආදරය කරන්නෙත් කළු චරිතවලට. නමුත් මට සුදු චරිතයක් ලැබුණොත් භාර නොගන්නෙත් නැහැ. මොකද මම එකම චරිතවලට කොටුවෙන්න කැමැතිත් නැහැ. මට හෙට ලැබුණොත් සුදු චරිතයක් ඒකත් හොඳට කරනවා කියන තැන තමයි ඉන්නෙ. රංගන ශිල්පියෙක් වුණාම ලැබෙන චරිත අභියෝග ජයගන්න හැකිවෙන්න ඕනැ. කොහොමත් ‘ලංවී’ චරිත රංගනය තුළ ඉරෝන් චරිතයට මුලදි ගොඩක් දෙනා කැමැති වුනේ නැහැ. නමුත් ඒ චරිත රංගනය තුළදි ඉරෝන්ගෙ පෙම්වතිය රසාංගා සමඟ ඒ ආදරණීය රංගනයට මිනිස්සු නොදැනුවත්වම නැඹුරු වුණා. ඒ චරිතයට ආදරය කරන්න පටන්ගත්තා.
සචින්ගේ ප්‍රේමනීය රංගනයන් ගෙදර අය බලනවද? ඒවට ප්‍රතිචාර කොහොමද?
ඔව්. බලනවා. ප්‍රතිචාර ඉතින් හොඳයි. මගේ තාත්තා නම් කලා ක්ෂේත්රයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ප්‍රේමනීය රංගනවලට එතරම් ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට ටීවී එක බල බලා ඉද්දි අම්මා නම් ඒ රංගනයන් යද්දි නැගිටලා යන අවස්ථා තියෙනවා.
සමහර තැන්වලදී සිප වැළඳ ගැනීමේ දර්ශන එහෙම තියෙනවනේ? සචින්ට ඒ රංගනයේ යෙදීම ප්‍රශ්නයක් නැද්ද?
නැහැ. ඒ රංගනයක් පමණයිනෙ. රංගනය කියන්නෙ මගේ වෘත්තිය. වෘත්තියේදී මගේ සීමා තියෙනවා. නමුත් මට කරන්න පුළුවන් දේ උපරිම මම කරනවා. ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ ගොඩක්ම.
මේ දිනවල ඉරෝන්ට අමතරව සචින්ට ආදරය කරන තවත් චරිත රංගනයන් තියෙනවද?
ඔව්. පාර දිගේ අභියාගේ චරිතයටත් ගොඩක් දෙනෙක් ආදරෙයි. ඔහු කරන ඒ මෝඩ වැඩවලට මෝඩ කතාවලට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් කොහේදි හෝ හමුවෙලා කතා කළත් ඒ චරිත රංගනයන් ගැන කියනවා. ඉතින් මට හරි සතුටුයි රංගන ශිල්පියෙක් වෙලා මෙතරම් ආදරයකට පාත්‍රවෙන්න ලැබීම ගැන.
පාර දිගේ යන ගමන කොහොමද?
ගොඩක් සතුටින් ඒ ගමන යනවා. මේ වෙද්දි අපිත් එක්ක මේ ගමන තුළ ළඟින්ම හිටපු භානුට රංගනයෙන් දායක වුණු ගයාන් ගුණවර්ධන අයියා යම් පෞද්ගලික හේතුන් මත මේ නිර්මාණය තුළින් ටිකක් ඈත් වුණා. නමුත් අපි මේ තුළින් ආරම්භ කරපු සංගීත කණ්ඩායම 'Rawds' ලස්සන ගමනක් යනවා. මම හිතනවා අපේ මේ බැඳීම කිසිදා නොබිඳෙන බැඳීමක්. ඒ තරමට අපේ මේ කණ්ඩායම එකමුතුයි. පාර දිගේ ටෙලි නිර්මාණය වගේම සංගීත කණ්ඩායමේ වැඩත් කරගෙන ගමනක් යනවා.
රංගනයට වගේම ගායනයටත් හොඳ ප්‍රතිචාර තියෙනවාද?
ඔව්. ඇත්තටම මේ වෙද්දි අපේ සංගීත කණ්ඩායමත් ඉදිරියෙන් තියෙනවා. ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා ගොඩක් ආසාවෙන්. පසුගිය දෙසැම්බර් මාසයේදී අපේ ප්‍රසංගයක් සාර්ථකව පැවැත්තුවා. තවත් වැඩ ඉදිරියේදී කරන්න තියෙනවා. ඒවා නුදුරේම බලාගන්න හැකිවෙයි. ඒ වගේම මගේ ඥාති සොහොයුරෙක් සමඟ මම ගීතයක් කළා. ඒකත් ඉදිරියේදී දැකබලාගන්න ලැබෙයි.
2023 වසරේ අලුත් වැඩ කටයුතු කොහොමද?
අලුත් වැඩ කිහිපයක්ම ආරම්භ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී දැක බලාගන්න ලැබෙයි. ඉතා නුදුරේම මම රංගනයේ යෙදෙන නිර්මාණයක් විකාශය වීමට නියමිතව තියෙනවා. ඒ වගේම රිදී තිරයටත් ආරාධනාවක් ලැබුණා. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා.
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්