එහෙම දවසක් තියෙනවා - ශානිකා මධුමාලිගේ හඬින් ගැයූ අසන්ති කරුණානායක ගේ ගීපද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල දහස් ගණන් මිනිසුන් ආසාදිතයන් බවට පත්කරන්නට විය. ඒ සමග මරණ ගණන දෙසීය ඉක්මවිය. රටේ ජනතාව වසංගතයෙන් මුදාගන්නට නම් නැවත වාරයක් රට වසා දමන්නට සිදු වේ යැයි. සෞඛ්‍ය අංශ අවධාරණයෙන් පවසද්දී රජයට සිදුවූයේ රට වසාදමන්නට ය.

ඒ සමගම නැවත වාරයක් මිනිසුන්ට ගෙවල්වලට කොටුවන්නට සිදුවිය.

එය ඇයට දැනුණේ ව්‍යසනයක් ලෙසිනි. ඒ වන විටත් අවස්ථා දෙකකදී රට වසා දමා තිබිණි.

අත්‍යවශ්‍ය සේවාවකට පමණක් එළි බහින්නට ඉඩදී රටේ සියලුම ජනතාව ගෙවල්වලට කොටුකර තැබූ අතීතයම තුන්වැනි රැල්ලේ දී යළි ක්‍රියාත්මක විය.

ඇය සිය ළබැදි යෙහෙලිය අසන්ති කරුණානායකට දුරකථනයෙන් ඇමතුවාය.

‘හරි වැඩේ නේද ආයෙත් වුණේ’

අසන්ති ඇසුවාය.

උඔට නම් ප්‍රශ්නයක් නැහැනෙ’.

‘මහත්තයයි දරුවෝ දෙන්නයි ඔක්කෝම ගෙදරනේ’.

යෙහෙලිය කීවාය.

‘ඉතින් උඹත් බැඳපන්කො එතකොට ඉවරනේ මට ඊරිෂියා කරන්නේ’.

අසන්ති සරදම් හඬින් කීවාය.

‘මං කාව බඳින්නද’ ?

එවර යෙහෙළිය සුසුම් හඬින් ඇසුවාය.

‘ඇයි ඉන්නේ උඹේ ප්‍රේම කුරුල්ලා’

අසන්ති හඬින් හිනැහිණි.

ප්‍රේම කුරුල්ලා නම් ඉන්නවා තමා

යෙහෙළිය කීවේ හීන් හඬිනි. ‘ඒ වුණාට අසා අපි දෙන්නට බඳින්න පුළුවන්කමක් නෑ’.

‘ඇයි ඒ ගෙවල්වලින් කැමැති නැද්ද’?

‘එ්කත් එකක්’

‘එතකොට තවත් හේතු තියෙනවද’

‘ඔව්නෙ’

‘වෙඩින් එක ගන්න සල්ලි නැද්ද’?

එවර යෙහෙළිය නිහඬව සිටියාය.

‘බැංකු ලෝන් එකක් අරන් වෙඩින් එක ගනින්. වෙඩින් එකට එන උන් සල්ලි දෙයිනෙ ඒකෙන් ලෝන් එක ගෙවන්න පුළුවන්නේ.

ඊටත් වැඩියෙ ප්‍රශ්නේ බරපතළ යි අසා, මං උඹට හැමදේම කියන්නම්. හැබැයි කාටවත් කියන්නේ නැත්නම්.’

‘කාටවත් නම් කියන්නේ නැහැ. හැබැයි ඉතින් මට සිංදුවක් ලියැවෙයිද නම් දන්නේ නැහැ. ඒකට නම් තහංචි දාන්න එපා.’

අසන්ති හිනැහුණාය.

‘සිංදුවක් නම් ඉතින් නමක් ගමක් ලියැවෙන්නෙ නැහැනෙ’

යෙහෙලිය කල්පනාබරව කීවාය

‘එහෙනම් ඉතින් කියපංකො තෙපරබබා ඉන්නෙ නැතුව’

අසන්ති කීවේ සිනාසෙමිනි

එවර යෙහෙලිය ඇගේ පෙම් කතාවේ දිග පලල හෙලි කරන්නට පටන්ගත්තාය.

‘මගෙ පෙම් කුරුල්ලා බැඳපු කෙනෙක්. එයාට ලස්සන පවුලක් තියෙනවා. දරු දෙන්නෙකුත් ඉන්නවා.

යෙහෙලිය ඇගේ රහස හෙළි කලාය.

‘උඹට පිස්සුද ඉතින්’

අසන්ති ඇසුවේ පුදුමයෙනි.

‘මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා’.

‘මට පිස්සුද කියලා මමම කල්පනා කරනවා. මේ තරම් කොල්ලෝ ඉන්න රටේ මගේ පස්සෙනුත් කොල්ලෝ කැරකෙද්දි මම බැඳපු මිනිහෙක්ට ලව් කරන්නෙ මට පිස්සු ඇති. ඒත් මට එයාගෙන් තොර ලෝකයක් නැහැ. රට වැහුවාම මට එයාව මුණ ගැහෙන්න බෑ. එයාට තුරුළු වෙන්න බෑ. එයාට ආදරේ කරන්න බෑ. එයා එයාගෙ ගෙදර මම මගේ ගෙදර’

යෙහෙලියගේ මුවෙන් සුසුමක් ගිලිහිණි.

‘මම නම් දකින්නේ ඒක හොඳක් කියලා. ඔය කාලෙදි ඒ මනුස්සයාව අමතක කරන්න උත්සාහ ගනින්. එතකොට ඒ මනුස්සයා එයාගේ අඹුදරුවෝ එක්ක සතුටින් ඉදීවිනේ. උඹ හිත හදාගෙන වෙන කෙනෙක් ගැන හිතන්න පටන් ගනින්’.

‘උඹට පිස්සුද’?

යෙහෙළිය ඇසුවාය. ‘මම හිතන්නේ එහෙම නෙවෙයි එයා මගෙ ළඟට ඇවිත් මට තුරුළු වෙන දවසක් එනවා කියලා මං හිතන්නේ. මං හිතන්නේ උඹ සිංදුවක් ලියනවනම් එහෙම දවසක් තියෙනවා කියලා ලියපං.’

යෙහෙළිය දුරකථන ඇමතුම නිමා කරමින් කීවාය.

‘එහෙම දවසක් තියෙනවා’

‘එහෙම දවසක් තියෙනවා’.

යෙහෙලිය කී වචන තුන අසන්තිගේ හිතේ සැරිසරන්නට පටන් ගත්තේය.

කොරෝනා වසංගතය අවසන වසන්තයක් උදාවු පසු යෙහෙලිය සහ ඇගේ පෙම්වතා හමුවෙතැයි උපකල්පනය කරමින් අසන්ති එහෙම දවසක් තියෙනවා යැයි ලීවාය.

අනුරාධ අබේසිංහ ඒ පදවැලට තනුව යොදා සංගීතය ද නිර්මාණය කළ පසුව ශානිකා මදුමාලි ගායනයෙන් එක්වූවාය.

අසන්ති කරුණානායක ඇගේ කුළුදුල් ගී පද සරණිය ‘එහෙම දවසක් තියෙනවා’ නමින් ජනගත කළ දා අර යෙහෙලිය ද පැමිණියා ය.

ඇය පැමිණ අසන්තිගේ මුහුණ සිඹ ඇයට සුබ පැතූ මොහොතේ අසන්ති වටපිට බැලුවේ පුදුමයෙනි.

‘තනියමද ආවේ’?

අසන්ති ඇසුවාය.

‘නෑ’

යෙහෙලිය කීවේ උත්සව ශාලාවේ පිටුපසට අත දිගු කර ඔහු සිටිනා තැන පෙන්වමිනි.

‘එහෙම දවසක් තියෙනවා’

අසන්ති ඇස නටවා කී විට යෙහෙලිය සුරතේ මහපටඟිල්ල ඔසොවා ඒ බව පිළිගත්තාය.

ශාන්ත කුමාර විතාන