එහෙම දවසක් ආවොත් ආයෙත් මම රඟපාන්නෙ නෑ - ප්‍රවීණ රංගවේදී සංජීව උපේන්ද්‍ර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාවේ රංගනයක ඔබ මේ දවස්වල. කතාබහ එතනින්ම පටන්ගමු?

ඔව් දැන් මම වේදිකාවෙ. කොරා සහ අන්ධයා වේදිකා නාට්‍ය එක්ක හුස්ම ගන්න දවස් තමයි මේ ගෙවිලා යන්නෙ. ධර්මසේන පතිරාජ සහ ධම්ම ජාගොඩ ප්‍රත්‍යාවලෝකනය පිණිස පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ එම නාට්‍ය එදා රංගනයෙන් වර්ණවත් කළේ විමල් කුමාර ද කොස්තා සහ දයා තෙන්නකෝන්. එය නැවත වේදිකාව මත දිගහැරෙන්නේ ජූලි 7 සිකුරාදා හවස 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේදි. ඒ හැරුණාම මේ දිනවල මම 1990 ටෙලිනාට්‍යයෙත් රඟපානවා.

ධර්මසේන පතිරාජ කියන්නෙ සිනමාව මෙන්ම ඔහු සැරිසැරූ සියලු භූමිකාවන් දේශපාලනමය දෘෂ්ටියක් තුළ විග්‍රහ කර ගත්ත, නිර්වචනය කර ගත්ත එක්තරා සොඳුරු හිතුවක්කාරයෙක්. පරාක්‍රම නිරිඇල්ල කියන්නෙත් එවන් සොඳුරු හිතුවක්කාරයෙක්. කොරා සහ අන්ධයා තුළ මේ දේශපාලනික කතාන්දරය කියවෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න?

තමන්ගේ බලාපොරොත්තු, අභිමතාර්ථ වෙනුවෙන් මළසිරුරු උඩින් හෝ පළමු පියවර තබමින් තනියෙන් විමුක්තිය අත්පත් කර ගන්න පුදුමාකාර කුහක, ලෝභී තෘෂ්ණාවකින් පොරකන සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ. තමන් ඉදිරියේ සිටින අනෙකා ගැන කිසිදු වගවීමක් සහකම්පනයක් නැති සමාජයකින් තමයි ආදරය, ප්‍රේමය සහ මනුෂ්‍යත්වය ඉල්ලන්න වෙලා තියෙන්නෙ. සාමූහික චින්තනයකින් විමුක්තියේ මාර්ගය සොයමින් විමුක්තියක් අත්කර ගන්න යන ගමනකදි වුණත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නැත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සු සොයා යන සාමූහික විමුක්තිය පසෙක තබා තමන්ගේ විමුක්තිය සොයා යාම බොහෝ විට සැලසුම් සහගතව කරන දෙයක් නොවෙන්නත් පුළුවන්. එහෙත් අවාසනාවක් කියන්නෙ ආත්ම පරිත්‍යාගයෙන් ලෝකයක් දිනන්න ගමන් සගයින් සමඟ කරන අරගල අවසානයේදී පටු ලෞකික පරමාර්ථවලට ලඝු වීමෙන් සටන හෝ අරගලය තුළ වන පොදු අපේක්ෂාවන් අත්හැරෙනවා. මේය සියලු මනුෂ්‍ය වර්ගයාට පොදු ලක්ෂණයක් විදිහටයි මම දකින්නෙ. ඉතිහාසයෙ ඉඳන් අද දක්වාම මෙය සදාකාලික සත්‍යයක්. කුඩා ජීවියාගේ පටන් සද්දන්ත මනුෂ්‍ය පෞරුෂත්වයන් දක්වා මෙය සනාතන සත්‍යයයි. මම විශ්වාස කරනවා අර්හත් භාවයට පත් කෙනකුට, ශාන්තුවරයකුට භෞතික වශයෙන් පූර්ණ සමාජවාදියකුට හැරෙන්නට කිසිවකුට මේ මානසික අවුලෙන් ලිහී යන්න බෑ. කාල් මාක්ස් කියන සමාජවාදියා කියනවා නිවී සැනසිල්ලේ සිටින්නට කැමැත්තන් මහත් විපර්යාසයන්ට තුඩු දෙන වර්තමාන ලෝකෙ ඉපදීම අවසානාවක් කියලා. 

කොරා සහ අන්ධයා කියන්නෙ එකම මිනිසා තුළ පවතින පරස්පර විරෝධී ස්වභාවයන් හෙළි කරන අපූරු නාටකයක්. මේ නාට්‍යයෙන් ඉඟි කර පෙන්වන්නේ තම අපේක්ෂාවන්ගෙන් තොර පූර්ණ සමාජවාදී ලොවක් බිහි කිරීම පරම අපේක්ෂාව කර ගන්න මානව වර්ගයාට පෙළගැහෙන්න කියලා. මම මේ විග්‍රහය කළේ ධම්ම ජාගොඩ මහතා කළ අර්ථකථනයකට අනුවයි. ඒ අර්ථකථනයට මම එකඟ නිසයි ඔබ අහපු ප්‍රශ්නයට ඒ ඇසුරින්ම උත්තර දුන්නේ. 

දැන් මට කියන්න සංජීව උපේන්ද්‍ර කියන මනුස්සයා වේදිකාවට පා තැබුවේ කොයි වකවානුවේද කියලා?

1990 දි විතර වේදිකාව තමයි මගේ රංගනය සනිටුහන් කළ මුල්ම තැන. ඒ මම ඉස්කෝලෙ යන කාලය. මට අවුරුදු දාසයක් විතර ඇති. 

මම විශ්වාස කරනවා වේදිකාව කියන්නෙ රංගධරයකුට සරසවියක් හා සමාන භූමියක් කියලා. ඔබේ විශ්වාසය එතනද? නැත්නම් ඉන් එහා තැනකද? 

වේදිකාව නිවැරදි ලෙස පරිශීලනය කරන තැනක දශකයකටත් වැඩි කාලයක් වේදිකාව තුළ සැරිසරන ගමනකදි වේදිකාව කියන්නෙ සරසවියක් තමයි. ලංකාවෙ ජාතික නාට්‍ය පාසලක් අපිට නෑ. රංගනය ගැන හදාරන්න තැනක් නෑ. මම හඬ පාලනය හදාගත්තෙ වේදිකාවෙන්. මම හිතන්නෙ වේදිකා නාට්‍ය තුළින් ලබන සුවිසල් අත්දැකීම් සමුදාය වෙන කිසිම තැනකින් ගන්න බෑ. සිනමාව හෝ ටෙලිනාට්‍ය කලාව පරිපූර්ණ ලෙස ජයග්‍රහණය කරන්න වේදිකාව කියන්නෙ අපූරු තෝතැන්නක්. මම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ සැරිසරන්නෙ අවුරුදු තිස් තුනක් තිස්සෙ. රංගනය තුළ මම ගන්න ආත්මීය හුස්මක් හුස්මක් ගාණෙ ඒ සුවඳ, ඒ හයිය විහිදෙන්නෙ වේදිකාවේ අක්මුල් සිසාරා කියලා මම කිව්වොත් ඒ තමයි වේදිකාව කෙරේ මා දක්වන ආදරයට මම තිළිණ කරන කෘතවේදීත්වය. 

සංජීව.. මම විශ්වාස කරන මෙහෙම දෙයක් තියෙනවා. රංගනය කියන්නෙ රංගන පාසලකින් හෝ වැඩමුළුවලින් නැත්නම් සරසවියකින් විෂයක් විදිහට ඉගෙන ගත හැකි දෙයක් නෙවෙයි. එය නිසඟ සාංසාරික ප්‍රතිභාවක්. රංග පාසලකින් හෝ සරසවියකින් හැදෑරිය හැක්කේ රංගනය හා සම්බන්ධ තාක්ෂණික කාරණාවන් පමණයි. ඔබටත් උත්තරයක් ඇති?

ඇත්තටම රංගනය කියන්නෙ එහෙම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනෑම චරිතයක් එක්ක හුස්ම ගන්න ඒ ආලය එන්නෙ තමන්ගෙ හදවතින්, ලේ වලින්, ආත්මයෙන්. ජෝ අබේවික්‍රම කියන සුවිශිෂ්ට නළුවා අරගෙන බලන්න. කොහෙන්ද ඔහු රංගනය හැදෑරුවෙ. මොන විශ්වවිද්‍යාලයෙන්ද ඔහු රංගනය ඉගෙන ගත්තෙ. මට සෝමදාස කියන පුද්ගලයෙක්ගෙ චරිතය රඟපාන්න කිව්වා කියලා හිතන්න. ඒ චරිතයට මම ආත්මීයව ආවේෂ වෙන හැටි කොහොමද මට රංග පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් උගන්වන්නෙ. හැබැයි රංගනයට අදාළ තාක්ෂණික කාරණාවන් සංකල්ප න්‍යාය අපට රංග පාසලකින්, විශ්වවිද්‍යාලයකින් හදාරන්න පුළුවන්. හැබැයි එසේ හැදෑරූ පමණින් නළුවෙක් හෝ නිළියක් විය හැකිද? කියන ප්‍රශ්නය තියෙනවා. කැමරාව ඉදිරියේ දෙබස් කියන එකට නෙවෙයි රඟපෑම කියන්නෙ. කැමරාවක් ඉදිරියේ රඟපෑමකින් තොරව චරිතයක් තුළ සැරිසැරීමටයි රඟපෑම කියන්නෙ. 

යථාර්ථයෙන් ඔබ්බට පවතින දේ තමයි සත්‍ය කියන්නෙ. ලාංකික සිනමාව නාට්‍ය, වේදිකාව යන ත්‍රිත්වයේම මා දකින පොදු ලක්ෂණයක් තමයි මේ සත්‍යවාදී බවෙන්, තාත්විකත්වයෙන් දුරස් වී යන ස්වභාවය. වර්ණ කියන්නෙත් භාව සන්නිවේදනයක්. නිර්වාචික සන්නිවේදනයේදි දෑස, කම්මුල්, දෙතොල්, ඇහි බැම, මේ සියල්ල හරි ප්‍රබලයි. එහෙත් ඒ කිසිවක් තේරුම් ගත් රංගන ශිල්පීන් මෙන්ම අධ්‍යක්ෂකවරුන්ද හමුවෙන්නෙ ඉතා කලාතුරකින්. මේ මගේ මතය. ඔබේ මතයටත් ඉඩක් තියෙනවා?
නළු වරණය කියන දේ නොතේරෙන අධ්‍යක්ෂකවරුන් ඉන්න බව ඇතැම් සිනමා නිර්මාණ, ටෙලි නිර්මාණ සහ වේදිකා නිර්මාණ දිහා බලද්දි පෙනෙනවා. ඇත්තටම වර්ණ කියන්නෙ ප්‍රබල භාව සන්නිවේදනයක්. රංගනයකදි ඒ චරිතයට අදාළව ඒ චරිතය ඔස්සේ ධ්වනිත භාවයන්ට අනුව වේෂ නිරූපණයේදී මෙන්ම වස්ත්‍ර නිර්මාණයේදිත් වර්ණ කියන්නෙත් ප්‍රබල සාධකයක්. නිර්මාණයක් කියන දේ මුලින්ම ඉපදෙන්නෙ හිතේ. එම නිර්මාණය ඇත්තටම රූප රාමුවෙන් රූප රාමුවට ඒ හිතුවිල්ල ඉපදෙන හිතේ චිත්‍රණය විය යුතුයි. එතැනදි නිර්මාණයක් යනු සත්‍ය හා ප්‍රබන්ධය අතර දෝලනය වන්නක් වුවත් යම් ප්‍රස්තුතයක් වටා ගෙතෙන කතාන්දරය වේදිකාව, සිනමාව හෝ ටෙලිනාට්‍ය තුළ නිර්මාණයක් බවට පත්වෙද්දි එය යථාර්ථයෙන් හා සත්‍යයෙන් බැහැර නොවිය යුතුයි. ඇස්වලින්, මූණෙන් හදවත පෙන්වන්න පුළුවන් නම් ඒ තමයි නළුවා සහ නිළිය. ඒ වගේම මේ පොළොවේ පය ගහලා ඇවිදින්න පුළුවන් නම් මේ මහ පොළොවෙ සුවඳත් එක්ක හුස්ම ගන්න පුළුවන් නම් සහකම්පනයෙන් ලෝකය දිහා බලන්න පුළුවන් නම් නළුවකුට නිළියකට පුළුවන් ඕනෑම චරිතයක් එක්ක හුස්ම ගන්න. ඒත් අද හුඟක් අය ජීවත් වෙන්නෙ තාක්ෂණයත් එක්ක. තාක්ෂණය කියන්නෙ හොඳ මෙවලමක්. ඒත් කවදාවත් ඒ තුළ වහල්භාවයෙන් බැඳෙන්න නරකයි. අපට ලෝකය සහ සත්‍ය හමුවෙන්නෙ සියල්ල සොයා යන තැනකදි. බෞද්ධ දර්ශනය ගත්තත් තියෙන්නෙ සෙවීම කියන කාරණය. මට හිතෙන්නෙ ලෝකයේ සියල්ල හමුවෙන්නෙ සොයා යාම තුළ පමණයි. 

එසේ බැහැර වෙන යම් තැනක් වේද, ඇත්තටම එතැනදි මොකද වෙන්නෙ?

එසේ වෙන සෑම තැනකදිම විශ්වාසය බිඳී යනවා. විශ්වාසය බිඳී යන තැන ප්‍රේක්ෂකයා අත්හරිනවා. ඒ අත්හැරෙන තැන කෝ ඒ නිර්මාණයට හෝ නිර්මාණවේදියාට පැවැත්මක්. ප්‍රශ්නාර්ථයක් විතරයි බොහෝ තැන්වල අවසානයේ ඉතුරු වෙන්නෙ. 

ප්‍රස්තුතවලින් ලාංකික සිනමාව අද මේ තරම් දුප්පත් ඇයි?

මිනිස්සුන්ගෙ හදවත් තුළට කිමිදෙන්න පුළුවන්, මේ සමාජ දේහයේ ගැඹුර පිරික්සමින් එහි න්‍යෂ්ටිය දක්වා ගමන් කරමින් පාදාගත් උල්පත් තුළින් අරගෙන ආව ප්‍රස්තුත අපිට නෑ. හුඟක් වෙලාවට අද අපේ සිනමාව තුළ දකින්නෙ මේ සමාජයේ දකින පොදු ප්‍රශ්න කේන්ද්‍ර කරගත් ප්‍රස්තුතයි. ඒත් සිනමාමය ඇහැකට, කලාවත් එක්ක සංකේන්ද්‍රණය වූ හදවතකට පුළුවන් වෙන්න ඕනෑ පෙනෙන දේ විනිවිද සියල්ල දකින්න. මතුපිට අර්ථයෙන් ඔබ්බට ගැඹුරු තැන් හඹා යන්න. එහෙත් කියවීමේ තියෙන පටු බව සහ සිතුවිලි සහ චින්තනයේ තියෙන ලඝුකරණය තුළ අපි ඉන්නෙ හරිම ගෝත්‍රික වැඩවසම්වාදී රාමුගත සම්ප්‍රදායන් තුළ. ඇයි බැරි එතනින් එහා චින්තනයකට ඉඩ හදන්න. නව ප්‍රස්තුතයන් නිර්මාණශීලී ප්‍රස්තුතයන් සොයා යන්න. 

ඔබ හිතන විදිහට මිනිසාට මිනිසා හමුවෙන තැන කොතැනද?

අනෙකා හුස්ම ගන්න සද්දය ඒ හුස්මක් ගන්න මොහොතේ හදවතේ රිද්මය අනෙකාට ඇහෙන තැන මිනිසාට මිනිසා හමුවෙනවා. හුස්මක් ගාණෙ ඔබ ඉදිරියේ සිටින අනෙකා ඔබට කියවිය හැකි තැන ඔබට මිනිසා හමුවෙනවා. භෞතිකව හරිහම්බ කරන සියල්ල තුළ පමණක් කවදාවත් පරිපූර්ණත්වය විනිශ්චය කරන්න එපා. සාර්ථකත්වය කියන්නෙ භෞතික සහ ආධ්‍යාත්මික යන කාරණා ද්විත්වයේ එකතුවක් මිස එකක් අත්හැරී අනෙකෙන් පරිපූර්ණත්වයට පත්වීම නෙවෙයි. ජීවිතය හමුවෙන හැම තැනකදිම සල්ලි නොතිබෙන්න පුළුවන්. සල්ලි හමුවෙන හැම තැනකදිම ජීවිතය හමු නොවෙන්න පුළුවන්. සියල්ලේ තීරකයා වන්නේ හදවත සහ  චින්තනයයි. 

තාක්ෂණය සහ මිනිසා අතර බැඳීම මානව ආදරයට හරස්වෙලා තියෙන්නෙ කොහොමද?

ළඟ ඉන්න කෙනා දුරම ඉන්න කෙනා වෙලා දුරම ඉන්න කෙනා ළඟම ඉන්න කෙනා කරන්න තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා. ඒක මොන අවාසනාවක්ද? උදාහරණයක් විදිහට මුහුණුපොත ගත්තොත් කවදාවත් හැබැහින් දැකලා නැති කෙනෙක් එක්ක ජීවිතයේ සියල්ල බෙදාගන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. හැබැයි ජීවිතය ඇතුළෙ ඉන්න කෙනා වෙනුවෙන් තමන්ගෙ පංගුකාරයන් වෙනුවෙන් දෙන්න කාලයක් නැතිවෙලා තියෙනවා. මම මෑතකදි එක්තරා සමීක්ෂණයක් ගැන කියෙව්වා. ජංගම දුරකථනය නිසා කෙනෙක්ට එයාගේ ජීවිතයේ ඉන්න කෙනෙක්ව 54% කින් මඟහැරිලා තියෙනවා. ඒ කියන්නෙ 54% ක ඉඩ අත්පත් කරගෙන තියෙන්නෙ ජංගම දුරකථනය. මානවවාදී හැඟීම් කියන්නෙ සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද ඇතිවන දෙයක් මිස තාක්ෂණය තුළින් ඇතිවෙන දෙයක් නෙවෙයි. 

මම නෙමෙයි චිත්‍රපටය මම නැරඹූ විශිෂ්ට සිනමා කෘතියක්. එහි ප්‍රස්තුතය නැවුම්. මා යන සංස්කරණය තුළ මම මඟහැරීම පිළිබඳව ගැඹුරු කතාන්දරයක් ඒ චිත්‍රපටය තුළින් කියවෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ජීවිතය බෙදාගන්න පංගුකාරයෝ අපේ ජීවිතයේ කවදා කොතැනකදී හෝ අපේක්ෂිතව හෝ නිරපේක්ෂිතව අපිට හමුවිය හැකි බව මේ චිත්‍රපටයේ කියනවා. මේ චිත්‍රපටයේ රංගනය ඇත්තටම ඔබට තෘප්තියක්ද? නොඑසේනම් එය ඔබ තුළ දනවන්නෙ කවර හැඟීමක්ද?

ඒ චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ කොල්ලුපිටියෙන් වගේ පටන් ගත්තාම යාපනයටත් ගිහිල්ලා ඉවර වෙන්නෙ කටුනායකින්. මගේ චරිතය අතීත කාමයකින් අතීතයේ ආ ගිය තැන් හොයා යන ගැහැනියක් වෙනුවෙන් ඇයගේ රියැදුරා වීමේ චරිතයයි. මම රියැදුරා තමයි. ඒත් ගැඹුරින් මේ චිත්‍රපටය තේරුම් ගනිද්දි ඒ චාරිකාව ගියේ ඇය නෙවෙයි මමයි. මේ චිත්‍රපටය තුළ අපේ රටේ ඉතිහාසය හා බද්ධ වුණු අපූරු සංස්කෘතික කතාන්දරයකුත් කියවෙනවා. යාපනය පැත්තෙ කුලයෙන් අඩු මිනිස්සුන්ට ඒ කාලෙ අඩි හතරකට වඩා උසට තාප්ප බඳින්න බෑ. ඒ රූප රාමු පෙන්නද්දි ඉන් ධ්වනිත කරන්නෙ ඒ සංස්කෘතික කාරණාවන්. ගිනි තියපු යාපනය පුස්තකාලය පෙන්වද්දි අතීත දේශපාලනික ඛේදවාචකයක් බරපතළ ලෙස නිහඬව කතා කරනවා. ඇත්තටම මම යන ප්‍රකෘතිය සංස්කරණය වීම තුළම නිර්මාණය වන මා කියන්නෙ මේ සමාජ, සංස්කෘතික, දේශපාලන ස්වරූපයන්ට අනුගත වූ එක්තරා මානව නිෂ්පාදනයක්. ඉතා අවංක, සුන්දර, අව්‍යාජ මිනිසා හම්බවෙන්නෙ එසේ සංස්කරණය නොවූ තැනකදි පමණයි. මේ චිත්‍රපටයේ ප්‍රස්තුතය හරි ගැඹුරුයි. විශ්වීය සිනමාව තුළ මෙවැනි ප්‍රස්තුත තමයි සිනමාවට විෂය වෙන්නෙ. එහෙත් අපේ රටේ එවැනි පොහොසත් ප්‍රස්තුත නෑ. මේ චිත්‍රපටයේ රඟපාන්න මම කැමති වෙන්න මූලිකම කාරණාව තමයි ඒක. 

තවමත් ලංකාවෙ මම නෙමෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නෑ. එහෙත් ජාත්‍යන්තරව එය ප්‍රදර්ශනය වුණා?

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ එම්. සෆීර් ඩකා චිත්‍රපට උළෙලට මේ චිත්‍රපටය අරගෙන ගියා. එහිදී විශාල ඇගයීමක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඇත්තටම අධ්‍යක්ෂවරයාට මේ චිත්‍රපටය රූගත කිරීමේදී උවමනා වුණේ මුල්ම රඟපෑම චිත්‍රපටයට ගන්නයි. මම මේක අමු චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නෙ ඒකයි. එක පැත්තකින් එය සාර්ථකයි. මොකද සංස්කරණය තුළදී සමහර විට හොඳම කෑල්ල අතහැරී, අතහැරෙන්න ඕනෑ කෑල්ල අත නොහැරෙන්න පුළුවන්. ලෝකයේ කවියා හා කවිය ගත්තාම හොඳම කවි තියෙන්නෙ කුණු කූඩේ කියනවනෙ. ඒ වගේ තමයි සංස්කරණය කියන්නෙ ප්‍රකෘතිය නොවෙන නිසා මම නෙමෙයි චිත්‍රපටයේ අමු බවට මම කැමතියි. 

ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවද? 

කලාකරුවන් වගේම ප්‍රේක්ෂකයනුත් බුද්ධිමත් විය යුතුයි. එහෙත් ලංකාවෙ එහෙම බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියාවෙ වගේ රටවල්වල මිනිස්සු නාට්‍ය බලන්න එන්නෙ, චිත්‍රපට බලන්න එන්නෙ ඒ රටවල්වල සෙනඟ වැඩි නිසාම නෙවෙයි. ක්‍රිකට් තරග බලන්න එන්නෙත් සෙනඟ වැඩි නිසාම නෙවෙයි. ඒක ඒ මිනිස්සුන්ගෙ ආදරය සහ සංස්කෘතිය. ඉන්දියානුවන්ට කලාව කියන්නෙ ආගමක් සහ සංස්කෘතියක්. ඒත් අපේ බහුතර ප්‍රේක්ෂකයන්ට එහෙම සාවධාන වින්දනීය බුද්ධියක් නෑ. ඔහේ බලාගෙන ඉඳලා ගෙදර යන මානසිකත්වයක් තමයි තියෙන්නෙ. නැරඹීමෙන් එහා විශ්ලේෂණයක් හෝ චින්තනයකුත් නෑ. ඒක එහෙම නොවුණා නම් අපේ කලාව මීට වඩා හුඟාක් පොහොසත් තැනක තියෙයි. 

ඇත්තටම කලාවට පුළුවන්ද ලෝකයක් වෙනස් කරන්න. සමාජය පරිවර්තන කරා රැගෙන යන්න. ජන විඥානය වෙනස් කරන්න? 

ලෝකයේ දේශපාලනයට උඩින් කලාව තියෙන තැන් අපට හමුවෙනවා. එහෙත් අපේ කලාව තියෙන්නෙ දේශපාලනයට හුඟක් පහළින්. ඒක එහෙම නොවුණා නම් අතීතයේදි සාහිත්‍යවේදීන්, කලාවේදීන් කුණු කාණුවලට දාන දේශපාලනඥයන් ඉන්න විදිහක් නෑ. කලාකරුවන් මහ පාරේ මරලා දාපු දේශපාලනයක් බිහිවෙන්න විදිහක් නෑ. රුසියාව රුසියානු විප්ලවය පටන් ගත්තෙ රුසියානු සාහිත්‍යයෙන්. රුසියානු විප්ලවයේ කැඩපත ලෙසින් වී.අයි. ලෙනින් හැඳින්වූයේ ලියෝ තෝල්ස්තෝයි. රුසියානු සාහිත්‍යයට පුළුවන් වුණා ජන විඥානය වෙනස් කර විප්ලවයක් කරා ජන මනස මෙහෙයවන්න. ප්‍රංශ විප්ලවයත් කවදාවත් අමතක කරන්න බෑ. එහෙත් අපේ රටේ කලාවට කවද්ද පුළුවන් වුණේ සමාජ පරිවර්තනයකට පාර කියන්න. මිනිස්සු ලෝකයට ආදරය කරන හෙට දවසක් වෙනුවෙන් පසුබිම හදන්න. නමුත් එදා නොවූ දෙය හෙට හෝ සිදුවිය යුතුයි කියන තැන මම ඉන්නවා. 

සිතුවිලි වියපත් නොවන තාක් පුද්ගලයෙක් මරණය තෙක් තරුණයි. මම ඔබ තුළත් ඒ තාරුණ්‍ය දකිනවා. මගේ දැක්ම ගැන ඔබට හිතෙන්නෙ මොකක්ද?

වැදගත්ම දෙය තමයි සිත සහ සිතුවිලි. සිතුවිලිවලින් වියපත් නොවන තාක් අපි තරුණයි. වයස කියන්නෙ එක ඉලක්කමක් විතරයි. මම ඒකට ලස්සන කතාවක් කියන්නම්. අයි.පී.එල්. තරගවලදි මාධ්‍යවේදියෙක් සචින් තෙන්ඩුල්කාර්ගෙන් අහනවා ඔබට දැන් වයස අවුරුදු පනහයි. මොනවද දැන් හිතෙන්නෙ කියලා. සචින් කියනවා මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න එද්දි පිට්ටනියට එද්දි කීයක් ගහනවද කියලා හිතලා ආවේ නෑ. මම ආවේ මගේ රට වෙනුවෙන් ගහන්න. මගේ රට දිනවන්න. ලකුණක් කියන්නෙ, වයසක් කියන්නෙ ඉලක්කමක් විතරයි. මට මගේ ගොඩ වැඩිකර ගන්න අවශ්‍යතාවයක් නෑ. මටත් එහෙමයි. මම කීයක රඟපානවද කියන එක මට වැදගත් නෑ. මට වැදගත් වෙන්නෙ මම කොයි තරම් දුරට මගේ හෘද සාක්ෂියට එකඟව කරන දේ කළාද කියන කාරණාව විතරයි. මම කොහොමත් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. සල්ලි කියන්නෙ මගේ ජීවිතේ වැදගත්ම සහ මූලිකම දේ නෙවෙයි. මට වැදගත්ම දේ මම සහ නිදහස කියන කාරණා දෙකයි. මැරුණත් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වුණේ ඉලක්කම්වලින් වැඩි කාලයක් ජීවත් වුණු මිනිසුන් නෙමෙයි. නොමැරෙන මතක ලෝකයට දායාද කර ගිය මිනිසුන් පමණයි. මට හදවතටම දැනෙන චරිතයක් හම්බවුණොත් ඒ චරිතය රඟපෑමෙන් පස්සෙ ආයෙ මම කවදාවත් රඟපාන එකකුත් නැතිවෙයි. මතක හිටින තැනකින් යමක් අවසන් කිරීම වැදගත්. ඒ වගේම සුන්දරයි. එතකොට ඒ මතකය හැමදාමත් ආදරණීයයි.

සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ