එවරස්ට් මුදුන දකින්න ලැබීම වාසනාවක් - ‘ගොසිප්’ වලට මගෙන් ප්‍රතිචාර නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියා යනු ආශාවරීගේ අක්කාය. ප්‍රියා ආදරය සොයා යන කාගෙන් හෝ ආදරය ලැබෙනතෙක් බලා සිටින තරුණියකි. මේ විදියට කාගෙන් හෝ ආදරය ලැබෙන තෙක් බලා සිටින ප්‍රියා ගේ චරිතයට දායකව සිටින්නේ, දිනිති වල්ගමගේ ශිල්පිනියයි. තිරගත කෙරෙන ආශාවරී චිත්‍රපටයේ ප්‍රියාගේ චරිතයට අමතරව විකාශය කෙරෙන කොළඹ ඉතාලියෙ - හංසි සහ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ - රයිනි ලෙස හමුවන දිනිති හට පසුගියදා දුර්ලභ දසුනක් දැකගන්නට අවස්ථාව ලැබුණා. ඒ ගැන සහ ඇයගෙ ජීවිතයේ අලුත්ම විස්තර මේ කතාබහට ඇය අපට කියාවි.

දිනිති මේ ඉන්නවා, මේ නෑ, කොහෙද නිතරම පියාඹන්නෙ? හරි අමාරුයි අල්ලාගන්න?

චුට්ටක් විතර බිසී ඉතින්.

ඒ තරමටම බිසී වෙන්න හේතුව?

ආයෙත් ගුවන් සේවයේ රැකියාව එක්ක කාර්යබහුල වී සිටිනවා. පසුගිය දිනවල පඩි රහිත නිවාඩු ලබාගෙන හිටියෙ. මොකද කිව්වොත් අනෙකුත් වැඩ කටයුතුවල යෙදුණ නිසා.

දැන් මේ විදියට ආයෙත් සුපුරුදු ගුවන් සේවිකා රැකියාවේ නිරතව සිටියදී පසුගියදා ලෝකයේ උස් ස්ථානය වන එවරස්ට් කඳුමුදුන ගුවනේ සිට දැකබලා ගැනීමේ අපූරු අවස්ථාවක් ලැබුණා නේද? කොහොමද ඒ අත්දැකීම?

මම කොච්චර වාසනාවන්තද කියලා තමයි හිතුණෙ. කොහොමටත් මට ගුවන්සේවයේ මගේ වෘත්තිය ගැන එදා ඉඳලාම තියෙන්නෙ ලොකු අභිමානයක්. ඒ වගේ අවස්ථාවක් දසුනක් නරඹන්න, දැකගන්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. හිමාල කඳුවැටියේ එවරස්ට් මුදුනත දැකගන්න ලැබීම කොච්චර නම් අපූරු අවස්ථාවක්ද කියලා හිතුවා.

එවරස්ට් මුදුනත සියැසින් දුටු දිනිති ගැන මේ දිනවල වැඩිදෙනෙක් කතාවෙන්නෙ ආශාවරී ෆිල්ම් එක නිසා නේද?

ආශාවරී ෆිල්ම් එකේ මගේ චරිතයේ නම ප්‍රියා. ආශාවරීගෙ අක්කා තමයි ප්‍රියා. එයාට පොඩි කාලයේ ඉඳලාම ආදරය හරියට ලැබිච්ච නැති කෙනෙක්. අම්මයි තාත්තයි පවා වැඩිපුර ආදරය කරන්නෙ ආශාවරීට. ඉතින් ඒ නිසා ආදරය හොයන කාගෙන් හරි ආදරය බලාපොරොත්තු වන කෙනෙක්.

කොහොමද ප්‍රියාගෙ චරිතය දිනිතිට ලැබුණෙ? මොකද කිව්වොත්, ඒ චරිතය ලැබුණෙම මුලින්ම ඔබ ඒක ප්‍රතික්ෂේප කළාලු නේද?

මෙහෙමයි, මේ වගේ ස්වභාවයේ චරිතයක් ඊට පෙර මම කරලා තිබුණෙත් නැහැ, ඒ චරිතය ගැන කිව්වාම මම ටිකක් බයවුණා. ආශාවරී චිත්‍රපටයේ තිර රචනය සද්ධා මංගල සූරියබණ්ඩාර. සද්ධා අයියා මට කෝල් කරලා කිව්වෙ, මේ චරිතය ලියලා තියෙන්නෙ ඔයාට. ඔයාගේ රූපය ඔළුවෙ තියාගෙන දිව්ව චරිතයක්. ඒ නිසා මේකට බෑ කියන්න එපා කියලා කිව්වා. අනේ අයියා මේ චරිතය මට කරගන්න පුළුවන් වේවිද කියලා ඒ පාර මම එයාගෙන් ඇහුවාම, ඔයාට මේ චරිතය හොඳින් කරන්න පුළුවන් කියලා, සද්ධා අයියා කිව්වා. ඊට පස්සේ අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ කතා කරලා මට මේ ගැන කිව්වා.

දිනිති මොකද මේ හිටිහැටියෙම සමාජ මාධ්‍ය කළඹන්නෙ?

මම නම් කළඹන්නෙ නැහැ. මම සහභාගිවූ වැඩසටහන් එහෙම බලලා මොකක් හෝ තැනක් අල්ලගෙන සමාජ මාධ්‍යයේ විවිධ දේ පළවෙනවා. හැබැයි ඉතින් ජනතාව හරි දේ තීරණය කරාවි. මම මෙහෙමයි මම වැරදි නැහැ, අරවා මේවා කියලා මම මොකටද ඒවාට උත්තර දෙන්න යන්නෙ? අපට සමාජයේ සියලුදෙනාම සතුටු කරවන්න බැහැ. මොකද හැමෝම සතුටු කරවන්න මම අයිස්ක්‍රීම් වෙළෙන්ඳෙක් නෙවෙයිනෙ. ඒ නිසා සමාජ මාධ්‍යයේ පළවෙන ඒ දේවල් වෙනුවෙන් මම ප්‍රතිචාර දක්වන්න යන්නෙ නැහැ. මට කවුරු මොනවා කිව්වත්, ඒවා මගේ ප්‍රශ්න නොකරගන්නතාක් මට සතුටින් ඉන්න පුළුවන්.

ටී.වී. ප්‍රෝග්‍රෑම්වලට ගියාම අදහස් ප්‍රකාශ කරද්දි දෙපාරක් තුන්පාරක් හිතලා අදහස් ප්‍රකාශ කළේ නම්? ඔය වගේ දේ වෙන්නෙ නැහැ නේද? ඕනෑවට වඩා විවෘතව අදහස් ප්‍රකාශ කරන්න ගියාම නේද ඔය වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ?

අදහස් ප්‍රකාශ කිරීමේදී ඔබ හිතනවද මම වෙනස් වේවි කියලා? ඒ මගේ විදියයි. ටී.වී. එකේ එක විදියක්, තවත් තැනකදි තව විදියක් මට අවශ්‍ය නැහැ. මම සැරින් සැරේ පාට වෙනස් කරගන්න කෙනෙක් නෙවෙයි. මම සැබෑ ජීවිතයේ රඟපාන කෙනෙක් නෙවෙයි. මම රඟපාන්නෙ නිර්මාණයකදි කැමරාව ඉදිරියේදී විතරයි.

දිනිති මහා ලොකුවට ෆැෂන් කරන කෙනෙකුත් නෙවෙයි නේද?

වෙසක් කූඩුවකට වුණත් ඕනෑවට වඩා කැටයම් දාන්න ඕනෑ නැහැ. එතකොට කූඩුවෙ ලස්සන පේන්නෙ නැහැනෙ. කැටයම් විතරයි කැපිලා පේන්නෙ.

තර්කානුකූලව තමයි දිනිති උත්තර දෙන්නෙ නේද?

මෙහෙමයි, හිත ලස්සනයි නම් මුහුණත් ලස්සනයි, ඒ නිසා බොරු ආටෝපවලට මම අකමැතියි.

ආශාවරී, ෆිල්ම් එකේ ප්‍රියා බලාගෙන ඉන්නෙ කාගෙන් හරි ආදරයක් ලැබෙන කල් සැබෑ ජීවිතයේදී දිනිතිත් ඒ වගේද?

මට ඇතිවෙන්න ආදරය ලැබෙනවා.

එහෙනම් ඉතින්, ඒ ආදරය ගැන කියමු?

මට හැමෝගෙන්ම ආදරය ලැබෙනවා. ඒ නිසා මගේ ජීවිතයේ මම බොහොම සතුටින් ඉන්නෙ.

දැන් ඉතින් හංගන්නෙ නැතුව කියමු දිනිතිගෙ ආදරය හමුවුණේ කොහොමද?

ඔය කියන්නෙ මොන ආදරය ගැනද?

කෙල්ලෙක් වුණාම, කොල්ලෙක් ඉන්න ඕනෑ, කොල්ලෙක් වුණාම කෙල්ලෙක් ඉන්න ඕනෑ. ඒවගේ කතා සමාජයේ තියෙනවනෙ? මම අහන්නෙත් ඒ ගැනයි?

මම අර ඉස්සෙල්ලා කිව්ව විදියට මට ආදරය ඇතිවෙන්න ලැබෙනවා. ඔහොම යමු ඉතින්.

දිනිති ආදරයේදි මොන විදියද?

මම ආදරය කරන තරමටම අනෙක් පැත්තෙනුත් ඒ ආදරය ලැබෙනව නම් හොඳයි.

දිනිතිට ක්ෂේත්‍රයේ හොඳ යහළු යෙහෙළි පිරිසක් ඉන්නවා නේද?

අපොයි ඔව්.

ඒ අතරින් සංගීත් සතරසිංහ, හොඳම යාළුවෙක් නේද?

අනේ ඔව්. මට යාළුවෝ ගොඩාක් ඉන්නවා, ඒ අතරින් සංගීත්, දෙව්නක, අංජලී, මට වඩාත් සමීප යාළුවො. එයාලා හරියට මගේ පවුලේ අය වගෙයි. ළඟදි දවසක මගේ ගෙදරට හොරු පැන්නා. ඒ වගේ වෙලාවලදි පවා එයාලා මාව තනි කළේ නැහැ. මගේ ජීවිතේ ළඟින්ම ඉන්නෙ ඒ අයයි.

දිනිතිගෙ උසස් අධ්‍යාපන කටයුතු දැන් ඉවරද?

මම උපාධිය ගත්තෙ ජෛව තාක්ෂණ අංශයෙන්. දැන් එහි මාස්ටර්ස් (ශාස්ත්‍රපති) එක ඉවර කරන්න තියෙනවා.

රස්සාවකුත් තියෙන එකේ, උපාධියකුත් තියෙන එකේ, ගෙදරින් කියන්නෙ නැද්ද, දැන් නම් පුතේ පරස්ථාවකුත් කරගන්න කියලා?

අපේ ගෙදරින් එහෙම මට බල කරන්නෙ නැහැ. ප්‍රපෝසල් නම් ඕනෑ තරම් එනවා. මම මතුපිටින් පණ්ඩිත වුණාට මගේ ඇතුළාන්තයෙ ඉන්නෙ හරිම සංවේදී කෙනෙක්. ඒ කියන්නෙ මම හරි ආදරණීය චරිතයක්. ඒ නිසා මාව හරියටම තේරුම් ගත්ත කෙනෙක් එක්ක කවදාහරි විවාහ වෙන්න ඕනෑ. ඒකට මට හදිසියක් නැහැ. එක දවසකින් දෙකකින් මනුස්සයකුව තේරුම් ගන්න බැහැනෙ. ඇසුරු කරලම බලන්න ඕනෑ හරියටම ගැලපෙනවද කියලා? එහෙම නොවී කලබල වෙලා කසාද බැන්ඳොත් ඉක්මණට ඩිවෝස් වෙන්නයි වෙන්නෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ