එයයි - මමයි ඇත්තටම ගුටි කෑවා - යෂ් වීරසිංහ
යෂ් මේ දවස්වල මැරයෙක් වෙලා. හැබැයි සැබෑ ජීවිතේ නම් නෙමෙයි. මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියන, ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ''කියාදෙන්න ආදරේ තරම්'' නාට්‍යය ඔස්සේයි. ''අනා'' දැන් ජනප්‍රියයි. හැබැයි යෂ් නම් කියන්නේ අනා වගේ යෂ් මැර, චණ්ඩි චරිතයක් නෙමෙයි කියලයි.
''මේ දවස්වල අනාට ලැබෙන ප්‍රතිචාර සෑහෙන ඉහළයි. කොහේ ගියත් ඒ ප්‍රතිචාරවල අඩුවක් නම් නැහැ. ඉස්සර ඉඳන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්න මම ආස කළා. ඉතින් ඒක අඩුවක් නැතිව ලැබෙද්දී මම හරි සතුටින් ජිවත් වෙනවා. අනාට එක වතාවක් එයාගේ අයියා වන නිර්මාත් එක්ක එක පොදියට රණ්ඩුවෙන දර්ශනයක් තිබුණා. සචිත්රයි මායි කරද්දී සමහර වෙලාවට අපි දේනනටම ඇත්තටම ඒ පහරවල් වැදුණා. හැබැයි ඉතින් කොච්චර ගුටි කෑවත් අපි ඒ කොටස් හොඳටම කළා. ඒක නරඹපු බොහෝ දෙනා ඒ කොටසට හොඳ ප්‍රතිචාර අපිට ලබල දුන්නා.''
පාරා වළල්ලෙන් මම ගොඩ
අද වෙද්දී යෂ් නිර්මාණ අතරේ ඉන්නා රංගන ශිල්පියෙක්. විවිධ චරිතත් එක්ක රංගනයෙන් දායක වෙන යෂ් මුලින්ම රඟපාලා තිබෙන්නේ නම් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු ''පාරා වළලු'' කියන ටෙලි නාට්‍යයෙයි. හැබැයි යෂ් කියන විදිහට ඒ ටෙලිනාට්‍යයේ එයා රඟපාපු චරිතයට නමක්වත් තිබිලා නැහැලු. ඒ තරමටම ඒක බොහෝම සුළු චරිතයක්. හැබැයි ටෙලිනාට්‍යයේ එයාගේ කොටස රෑපවාහිනියෙන් විකාශනය වෙද්දී නම් යෂ් ගෙදර හැමෝම රෑපවාහිනිය ඉදිරියේ වාඩි කරවගෙන තමයි බලලා තියෙන්නේ. අද නම් තමන් රඟපාපු ටෙලිනාට්‍යයක් රෑපවාහිනියෙන් බලන්න යෂ්ට වෙලාවක් නම් නැති තරම්.
''පාරා වළලු, ටෙලිනාට්‍යෙය් රඟපාද්දී මට එහෙම ටෙලිනාට්‍ය රංගනය සම්බන්ධයෙන් අත්දැකීමක් තිබුණේ නැහැ. හැබැයි පාසැලේදී නම් මම හොඳ නළුවෙක්. කැමරාවක් ඉදිරියේදී කලින් රඟපාලා නැති නුහුරු දෙයක් වුණාට කියලා දීපු විදිහට මම ඒ හැමදේම කළා. ඒ නිසා අධ්යක්ෂකතුමන්ගෙන් බැනුම් ඇහුවේ නම් නැහැ. ඒ මුල්ම රංගනය හොඳ අත්දැකීමක් වුණා. ඒක රෑපවාහිනියෙන් විකාශනය වෙද්දී නම් මට මාර සතුටක් දැනුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම නළුවා. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ලැබුණ. හැබැයි සමහර යාළුවෝ ඒ චරිතය ලොකු චරිතයක් නොවුණ නිසාත් ''අපි උඹව දකින්නත් කලින් ඒ කොටස ඉවරයිනේ'' කියලත් මට විහිළු කළා. හැබැයි මගේ යාළුවෝ මම මේකෙන් ගොඩ යන බව දැනගෙන හිටියා.
උපන්දිනේ සමරන්නේ නෑ. කවදාවත් විශේෂ තෑග්ගක් ලැබිලත් නෑ
''පුංචි කාලේ ඉඳන් මම උපන්දින ලොකුවට සමරන්න කැමැති කෙනෙක් නෙමේ. ඒකට හේතුව පුංචිකාලේදීවත් උපන්දින සැමරුමක් තිබිලා නැහැ. ඒ නිසා අමතක නොවන උපන්දින සැමරුමක්, උපන්දින තෑග්ගක් මට ජීවිතේ ලැබිලා නැහැ. ඉදිරියේදීත් එහෙම විශේෂ උපන්දින තෑගි හම්බ වෙන එකකුත් නැහැ. මාව දන්න අය ඒ ගැන දන්නවා.
නසරානි වැඩම තමයි ඒ කාලේ කළේ
යෂ් පාසැල් දෙකක ඉගෙන ගත්ත රංගන ශිල්පියෙක්. මුලින්ම මුණිදාස කුමාරතුංග විදුහලෙනුත්, බෝමිරිය ජාතික පාසලෙනුත් ඉගෙන ගත්තා.
''පාසැල් ජීවිතේ ගෙවුණේ අද ඉන්න චරිතයම තමයි. නසරානි වැඩම තමයි කළේ. පාසැල් ජීවිතේ මාරයි. ක්‍රිකට් ගැහුවා. කෙල්ලෝ පස්සේ ගියා. පන්ති කට් කළා. ඒවා පුදුම අත්දැකීම්. අද කාලේ ඉන්න ළමයින්ට වඩා ඒ කාලේ අපි හරි සුන්දර පාසල් ජීවිතයක් ගෙව්වා. අද බොහෝ දරුවන් සතුට කියලා අනවශ්‍ය දේවල් බදා ගනිද්දී ඒ කාලේ අපි හරි අපූරු සතුටක් පාසැල් ජීවිතේදී වින්දා.''
කෙල්ලකට ආදරය කළේ හතර වසරේදී
අද යෂ් හැඩකාර තරුණයෙක්. යෂ්ගේ ආදර කතාව ගැන අහනවාට වඩා මුල්ම ආදර කතාව ගැන ටිකක් අහන්න අපිට හිතුණා. ඒකත් හිතාගන්න බැරි හරි ලස්සන ආදරයක් කියලයි යෂ් කියන්නේ.
''මගේ හිත ගැහැනු ළමයෙක්ට මුලින්ම ගියේ හතර වසරේදියි. ඒක ආදරයක්ද කියලා දන්නෙ නැහැ. හැබැයි ඒ ගෑනු ළමයත් මගේ වයසේ මගේ පන්තියේ හිටියේ. එයා පන්තියට එනකම් මම බලාගෙන හිටියා. කතා කරන්න ආසා කළා. හෙමීට අතින් ඇල්ලුවා. ඒක ආදරය වෙන්න ඇති.''
ඉස්සරෝම පඩියෙන් ගත්තේ කේක් ගෙඩියක්
අද යෂ් රංගන ශිල්පියෙක්. හැබැයි යෂ් මුලින්ම කරපු රුකියාව රංගනය නම් නෙමෙයි. යෂ් මුලින්ම පෞද්ගලික ආයතනයක සේවය කරලා. උසස් පෙළ අවසන් කරලා ප්‍රතිඵල එන්නටත් කලින්ම යෂ් ඒ ආයතනයට බැඳිලා. අදටත් යෂ්ට ලැබුණ මුල්ම වැටුප මතකයි. ඒ රුපියල් හයදාස් පන්සියයි. දන්නවාද යෂ් ඒ සල්ලිවලට කරලා තියෙන දේ. හොඳ කේක් එකක් ගෙදරට ගෙනැල්ලා. ඉතිරි සල්ලි රීලෝඩ් දාන්න, බස් එකේ යන්න වියදම් කරලා. අද නම් ඉතින් ලැබෙන සල්ලිවලින් කරන දේවල් ගැන නම් අපි අහන්න ගියේ නැහැ.
දිශානි