එයා මගේ හෙවනැල්ල වගේ, එච්චරටම මම එයාට ආදරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි ඉන්දියාව ගනිමු. එයාලා අමුතු විදියට හිතන ජාතියක් කියලා අපි හිතුවට. එයාලා කරන අමුතුම දේ තමයි ලෝකෙට අදහස් විකිණීම. ලෝකෙට අයිඩියාස් වැඩිපුර විකුණන්නෙ එයාලා. ඉතින් අපිට බැරි ඇයි? අපේ රටේ තරුණ පරම්පරාවට බොහෝම නිර්මාණශීලී අදහස් තියෙනවා. මාර ක්‍රියේටිව්. හරිම ක්‍රියේටිව්. ඒවා එළියට විකුණන්න පුළුවන් නම් ඒකත් හරි මරු.

මේ විදියට කියන හර්ෂණ බෙත්මගේ අපට හමුවන්නෙ ඉරහඳ පායන ලෝකය සිත්බැඳි දනව්ව සහ රෝස සංධ්වනිය නාට්‍ය ඔස්සේය. ඒ විදියට හමුවන හර්ෂණ එක්ක කතාබහකට එක්වෙමු.

හර්ෂණ කොහොමද මේ දිනවල කාර්යබහුලද? නැද්ද?

කාර්ය බහුල නම් නැහැ. කාලයකට පස්සෙ, කොරෝනා වසංගතයෙන් පසුව ආයෙත් වැඩ ටිකක් පටන් ගත්තා. ඒ නිසා කාර්ය බහුල වුණත්, ලොකු කාර්ය බහුලත්වයක් නම් නැහැ. කොරෝනා නිසා අපට කොහේවත් යන්න බැරුවනෙ හිටියෙ. ආයෙත් රූගත කිරීම් වෙනුවෙන් කොළඹින් පිට මීමුරේ, ගලිගමුව වගේ ප්‍රදේශවලට යන්න සිදුවුණා.

ඇයි මීමුරේට යන්න සිද්ධ වුණේ? ඇයි ගලිගමුවට යන්න වුණේ? පෙට්‍රල් ඩීසලුත් නැහැනෙ?

ගලිගමුවට ගියේ, ඉරහඳ පායන ලෝකෙ, ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වෙනුවෙන්. ජාතික රූපවාහිනියෙ විකාශය කෙරෙන ඒ නාට්‍යයේ රඟපාන අපි සියලුදෙනාම ඉතාම කටුක අසීරු අත්දැකීමකට මුහුණ දුන්නා. ඉරහඳ පායන ලෝකෙ කතාව ගලා යන්නෙ මීට වසර ගණනාවකට පෙර පැවැති සමාජ ස්වරූපය රැගත් කතාවක්. එකගෙයි කෑම කියලා ඒ දවස්වල අපි අහලා තියෙනවනෙ. ඉතින් අයියටයි මල්ලිටයි දෙන්නටම එක් කාන්තාවක් විවාහ කර දෙනවා. එක් කෙනෙක් යුද්දෙට යවන්න, අනෙක් කෙනා ගෙදර තියාගන්න. මම රඟපාන්නෙ යුද්දෙට යන චරිතය. අපෙ අම්මා ලෙස රඟපාන්නෙ වසන්ති චතුරානි මහත්මිය. මගේ චරිතයෙ නම උට්ටියා. මේ නාට්‍යයේ මම දුෂ්කරයි කියලා කිව්වෙ නාට්‍යයේ නළු නිළි පිරිස ඇතුළු අපි ඔක්කෝම නතර වෙලා ඉන්නෙ ගලිගමුව ටවුමේ නවා තැනක. එතැන සිට උදේ පාන්දර අවදි වෙලා කිලෝමීටර් විසිපහක් තිහක්, කැලයට යනවා. රාත්‍රි ෂූටිං කිරීම ඉතාම දුෂ්කරයි, සමහර දිනවලට අලි එනවා. ඒත් ඒ බය පැත්තකට දාලා අපි වැඩේට කැප වුණා. ගලිගමුවෙ පළාතේ මිනිස්සු හොඳයි, සරල ජීවිත ගතකරන්නෙ. ගමේ හදාගත්ත කුරක්කන් ටිකක්, බතක් එළවළුවක් කාලා දවස සතුටින් ගෙවන මිනිස්සු. ඉරහඳ පායන ලෝකෙ ෂූටිං කරන ඒ කැලෑවෙ ගෙදර දවසක් ඉන්න මායි බිරිඳයි එහේ යන්න හිතාගෙන ඉන්නෙ.

ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?

සොබාදහම එක්ක ජීවිතය එක් දවසක් හරි ගෙවන්න ලැබෙනව නම් හරිම සුන්දර දෙයක්. එහේ පැලක් තියෙනවා. ඒ පැලේ ඉන්න හිතාගෙන ඉන්නෙ. කුරුළු සද්ද, හරිම ලස්සනයි. ගස්වැල් දමන සද්දත් ඒ වගෙයි. ඒක හරිම සුන්දර අත්දැකීමක් වේවි. නේචර් එකේ වින්දනය තමයි සැබෑම වින්දනය.

බිරිඳ කැමතිද ගමේ ගොඩේ ඇවිදලා එන්න?

හරිම කැමතියි, ගමේ මිනිස්සු ගෙවන සරල සුන්දර ජීවිත දිහා බලද්දි අපි මේ මොනවද කරන්නෙ කියලා වෙලාවකට හිතෙනවා. ගහකොළ එක්ක තනිවුණාම තමයි සොබාදහමේ අපූරු වින්දනය ලබන්න පුළුවන් වෙන්නෙ. වෙලාවක් ලැබුණම අපි දෙන්නා කොහොමටත් ගම් පළාත්වල ඇවිදින්න යනවා.

මීමුරේ ගියේ මොකටද?

ඒ ගියෙත් ටෙලි නාට්‍ය රූගත කිරීමකට. ඉරේෂ් ලොකු බණ්ඩාරගෙ වරමද්ද ටෙලි නිර්මාණයේ වැඩට. මීමුරේ කියන්නෙ තවත් සුන්දර පළාතක්. ඒ කාලයේ මම ඉස්කෝලෙ යාළුවො එක්ක මීමුරේ ගිහින් තියෙනවා. හැබැයි එදා වගේ නොවෙයි, අද එදාට වඩා මීමුරේ තරමක් නාගරීකරණය වෙලා. බොහෝ තැන්වල මේ විදියට යන්න ආසයි, ඒත් ඒ ගියාම, දින ගණන් ඉන්නෙ නැහැ. බිරිඳව ගෙදර දාලා තනියම මට ඉන්න බැහැ. එයා නැතුව ජීවිතේ මට පාළුයි. ඒ නිසා ෂූටිං ඉවරවුණාද මම ගෙදර.

එච්චරටම බිරිඳට ආදරෙයි වගේ?

එයා මගේ හෙවනැල්ල වගේ. එච්චරටම මම එයාට ආදරෙයි. එයාට මා වගේම මට එයාව නැතුව දවසක්වත්. මොහොතක්වත් ඉන්න බැරි තරමේ පාළුවක් දැනෙන්නෙ. ඒක හරි පුදුම දෙයක්. ගෙදර ඉන්න කොට ගෙදර වැඩ සෑම දෙයක්ම එකට එකතුවෙලා. අපි දෙන්නා කරන්නෙ. එයාට හරිම රසට උයන්නත් පුළුවනි. එයා හදන බිරියානි එක තමයි මම මෙතෙක් කාපු රසම බිරියානි එක. අරුණි නදීශානි ස්පේෂල් කිව්වොත් හරි. එච්චරටම රසට  කෑම හදන්න එයාට පුළුවනි. පුදුම අත්ගුණයක්, එයාට තියෙන්නෙ.

ඉතින් මෙච්චර රසට කෑම හදන්න පුළුවන් එකේ, දෙන්නට එකතුවෙලා, ටොප් බිරියානි කියලා අවන්හලක් දැම්මොත් හොඳ නැද්ද?

ඒ වගේ අදහසකුත් තිබුණා. ඒත් අද අපි දෙන්නා ප්ලෑන් කරලා තියෙන්නෙ වගා කිරීමේ වැඩ පිළිවෙලකට යන්න. මම හිතන්නෙ අද ලංකාවේ හැමෝටම ඒ දේ කරන්න වෙලා. කොහොමටත් වගා කටයුතුවලට මම හරි ආසයි. ඒ ගැන අපි දෙන්නා පොඩි සැළසුමක් දාලා තියෙන්නෙ. ඒත් තවම වැඩේ පටන් ගත්තෙ නම් නැහැ.

මේ දිනවල හර්ෂණ අපට හමුවන්නෙ ඉරහඳ පායන ලෝකෙ උට්ටියාගේ චරිතයෙන් විතරද?

මේ දිනවල රිහාන් රවීන්ද්‍ර අයියගෙ සිත්බැඳි දනව්ව නාට්‍යයේ චරිතයක් රඟපානවා. සිත්බැඳි දනව්ව විකාශය වන්නෙ VTV (වීටීවී) නාලිකාවේ. ඒ නාලිකාවෙම තවත් ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒක නිර්මාණය කළේ අපේ සහෝදර රංග ශිල්පී ගිවන්ත අර්ථසාද්. ඒකෙ නම රෝස සංධ්වනිය. සිත්බැඳි දනව්වෙ මගේ චරිතයේ නම සාලිය. ප්‍රවීන රංග ශිල්පී ජනක් ප්‍රේමලාල් මහතා සමග මම එහි රඟපාන්නෙ චණ්ඩි ලෙසයි. අපි දෙන්නා චණ්ඩි දෙන්නෙක්. ඒත් ඒ දෙන්නා වෙස්වලාගෙන ගමට එන්නෙ රූකඩ කාරයින් විදියට. ජනක් ප්‍රේමලාල් අයියා වගේ ප්‍රවීණයකු එක්ක රඟපාන්න ලැබීමම හරි අපූරු අවස්ථාවක්. එයා ලොකු පරාසයක රඟපාන නළුවෙක්නෙ. රෝස සංධ්වනියෙ මම රඟපාන්නෙ, ඩිහේන් නමැති චරිතයක්. පරිගණක ෂොප් එකක වැඩ කරන කොල්ලෙක්. ගැහැණු ළමයකුට ආදරය ප්‍රකාශ කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් ඒක ප්‍රකාශ කරගන්න ප්‍රමාදය නිසා එයා ආදරය කරන ගැහැණු ළමයා වෙන කෙනෙක්ට ආදරය කරනවා. ඒ වගේ තමයි ඒ චරිතය ගලා යන්නෙ.

හර්ෂණ, රටේ පවතින මේ වාතාවරණය එක්ක, මොනව ද ඔබට කියන්න තියෙන්නෙ?

හැමදාම නැහැ බැහැ කියලා හිටියොත් අපි එකම තැන. අපි හැමෝටම තියෙන්නෙ පොදු ප්‍රශ්න ටිකක්. දරාගන්න බැරි ප්‍රශ්න ටිකක්. ඒවාට හේතු කාරක වූ පිරිසක් ඉන්නවා. නමුත් මේ වෙලාවෙ පුළුවන් විදියට අපි අපට පුළුවන් විදියට බෙදාහදාගෙන ජීවත්වීම වගේම, ගෙදර මල්පෝච්චියක හරි මොනවහරි වවන්න කියන දේ තමයි මම රටට කියන්නෙ. අපට තව ඉස්සරහදි ආහාර ප්‍රශ්නයක් ආවොත් එතකොට මොනවා හරි කාලා ඉන්න පුළුවනි. බඩගින්න නිසානෙ මේ ප්‍රශ්න ඔක්කෝම. ලංකාවෙන් පිටරට යවන්න පුළුවන් බොහෝ සම්පත් තියෙනවා. ඒ ගැන අවධානය යොමුකරවීම ඉතා වැදගත්. ඒ නිසා සමාජ මාධ්‍ය ඔස්සේ වුණත් නිරපරාදෙ වැඩකට නැති පෝස්ට් හදන්නෙ නැතුව, නිර්මාණශීලීව හිතලා රටට විදේශ විනිමය ගෙනෙන විදියෙ දෙයක් කළොත් හොඳයි. අපටත් අයිඩියාස් ලෝකෙට විකුණලා ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන්.

සඳුන් ගමගේ