එයා එක්ක කාලය ගත කරන්න තියෙන වෙලාව තමයි මදි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායනයෙන් කලාවට පැමිණ, පසුව රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනයෙන්, නොනැවතී කැමරා අධ්‍යක්ෂණය ද කළ මේ චරිත් අබේසිංහ, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදන ශිල්පියකු ලෙස ​ මේ දිනවල අපට හමුවන්නෙ, සිරසෙ මනිඩ්‍රොප් (money drop) සමගය. ‘මනිඩ්‍රොප්’ යනු අන්තර් ජාතිකව ඉදිරිපත් කෙරෙන රූපවාහිනී වැඩසටහන් සංකල්පයකි. තාරුණ්‍යයේ බොහෝ දෙනා කියන විදියට මේ චරිත් අබේසිංහ යනු සැබෑම දක්ෂයෙකි. එක වැඩක්වත් කරගත නොහැකිව දවස නිකරුණේ ගත කරන මිනිස්සු සිටින සමාජයක, මේ චරිත් අබේසිංහ යනු ගෙවන දවසට වඩාත් අරුතක් ලබා දීමට කටයුතු කරන අපූරු මිනිසෙකි. ඔබ දන්නවා ද? ඔහු කලාවේ ඉහත කී සියලු දේ කිරීමට පෙර කළේ මොනවද කියලා? ක්‍රිකට් රසයේ උණුසුමින් ඔබ කාලය ගත කරන මොහොතක චරිත් ගැන ඔබ නොදන්නා විස්තරයක් කිරීමටයි අද අපේ සූදානම. මේ සෑම දෙයක්ම කිරීමට පෙර චරිත් අබේසිංහ යනු මෙරට ක්‍රිකට් පිටියේ  සිටි ක්‍රීඩකයෙකි. ඉතින් එහෙම නම් මේ තරම් තවත් හොඳ වෙලාවක් තියෙනවද ඔහු එක්ක ඒ ගැන කතා කරන්න? අපි කතා කරමු ඔහු එක්ක.

චරිත් මේ දිනවල වැඩි දෙනා කතා වෙන්නෙ නම් සිරස මනි ඩ්‍රොප් (money drop) නිසයි? ඒ හැර වෙන මොනව ද?

ඒ පාර මගේ අලුත්ම ටෙලි නාට්‍ය නිසයි. මගේම අධ්‍යක්ෂණයක්. ඒ වගේම කැමරාකරණයත් මගේ. ඒ නාට්‍යය මේ මාසයේ සිට විකාශයට නියමිතයි. ඒකෙ නම චණ්ඩි කුමාරිහාමි.  ඊටත් අමතරව සාරංග දිසාසේකර එක්ක චිත්‍රපටයක් කළා. ඒක එයාගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඒකෙන් කැමරාකරණය කළේ මම.

චරිත් තරුණ පිරිස ඔබට කියන්නෙ එයාලගෙ ආමන්ත්‍රණයෙන්, පට්ට වැඩ්ඩෙක් කියලයි. ඇත්තටම මොනවද කරන්න බැරි ඔබට? මොකද හැම දෙයක්ම පුළුවන් නිසා?

කවුරු හරි මගෙන් ඒ විදියට ඇහුවාම මම කියන්නෙ මට බැරි චිත්‍ර අඳින්න විතරයි කියලයි. ඒ හැර අනෙක් ඔක්කොම පුළුවනි කියලයි.

මේ හැර තවත් දේ කරනව ද?

ඔය කී දේවලට හැර මම ලංකාවේ ආයෝජන සඳහා වූ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් උපදේශනය කරනවා. ඒ වෙනුවෙන් ‘‘තර්ඩ් අයි ඒෂියා’’ (Third Eye Asia)  නමින් කම්පැණි එකක් අපට තියෙනවා. ලංකාව මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න ඕනෑ. එතකොට තමයි අපි හැමෝටම අනාගතයක් තියෙන්නෙ. ඉතින් මේ කටයුතුවලට අමතර සිරසෙ මනි ඩ්‍රොප් ඉදිරිපත් කරන නිසා තවත් වැඩසටහන් මෙහෙයවන්න ඇරයුම් ලැබෙනවා. ඔය ඔක්කෝම අතරේ කාර්ය බහුල ජීවිතය ගෙවනවා.

මේ විදියට කාර්ය බහුලවීම නිසා චරිත්ට ගෙදර ඉන්න වෙලාවක් නැති තරම්නෙ? ගෙදර නෝනා මොකද කියන්නේ?

එයාට තමයි පාඩුව. මොකද එයා එක්ක කාලය ගත කරන්න තියෙන වෙලාව තමයි මදි. මගේ කාර්ය බහුලකම එක්ක එයා තමයි අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ.

අපි ‘මනිඩ්‍රොප්’ ගැන කතා කරමු? මේ වගේ අන්තර්ජාතික වරලත්භාවය රැගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන හිතන්නෙ කොහොම ද? ඇයි චරිත්ට එය ලැබෙන්න ඇත්තේ?

මීට කලින් නිවේදන කටයුතු වෙනුවෙන් මට අවස්ථා කිපයකදීම ඇරයුම් ලැබුණා. ඒත් ඒ එකකටවත් නොගිය එකම සමහර විට මට මේ අවස්ථාව ලැබෙන්න පිටවුහලක් වෙන්න ඇති. මේක අලුත්ම සහ ලෝකයේ සළකුණු වෙච්ච රූපවාහිනි වැඩසටහනක්. ඒ වැඩසටහන වගේම එය ඉදිරිපත් කරන මාවත් බ්‍රෑන්ඩ් එකක් වෙනවා. චන්දන සූරියබණ්ඩාර මහතා ලක්ෂපති වැඩසටහන හැදුවා වගේ මටත් මේ මනිඩ්‍රොප් බ්‍රෑන්ඩ් එකක් වෙන්න අවස්ථාවක් තියෙනවා. සිරස මට කිව්වේ මනි ඩ්‍රොප් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. එය ඉදිරිපත් කරන ඔබ තව බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලයි. ඉතින් සිරස ඒ විදියට මට ලොකු විශ්වාසයක් අවස්ථාවක් ලබා  දෙනකොට මට ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණෙ. චන්දන සූරිය බණ්ඩාරයන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන නිසාත් එයාගෙ තියෙන පළපුරුද්ද එක්ක මගේ රූපය සහ හැකියාව එළියට ගන්න සිරසේ තරුණ අධ්‍යක්ෂවරයකු වන තාරක සහ තරුණ නිෂ්පාදකවරියක වන කාංචනී දෙපළ නිසා මට මේ වැඩේට අවතීර්ණ වෙන්න පුළුවන් වුණා.

හරි දැන් මොහොතකට චරිත් අබේසිංහ මෙහෙයවන මනි ඩ්‍රොප් වැඩසටහන මම කරන්නයි, සූදානම? මොකද ඔබ බාර ගන්නව ද?

බාර ගන්නම්.

මාතෘකා දෙකක් දෙන්නම්, ක්‍රිකට් සහ සංචාර? මේ දෙකෙන් මොකක්ද තෝරා ගන්නෙ?

ක්‍රිකට්.

හරි, එහෙම නම් ප්‍රශ්නය මේකයි. මේ දක්වා ලෝකයේ බිහි වූ පන්දු යවන්නන් අතරින් වේගවත්ම  පන්දුව යැවූ ක්‍රීඩකයා කවුද?

පාකිස්ථානයේ ෂොයිබ් ආක්තාර්...

ෂුවර්ද?

ඔව්. එයා තමයි පැයට කිලෝමීටර 161.3 වේගයකින් පන්දු යවා තියෙනවා. ඊළඟට ඔස්ට්‍රේලියාවේ ෂෝන් ටේට්.

හොඳයි ඔබ සාර්ථකව පිළිතුරු දුන්නා. ඉතින් තවත් ප්‍රශ්න නොඅසා මම මෙහෙම අහන්නම්. ඇයි ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති?

කුඩා කාලයේ ඉඳලම මාත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. එංගලන්තයේ දී ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම ලංකාවෙන් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.

ඇයි චරිත් ක්‍රිකට් අත්හැරියේ?

හරි. මම ඒ කතාව කෙටියෙන් කියන්නම්. එදා ලංකාවෙන් මම එංගලන්තයට ගියේ අවුරුදු 20දී වගේ. ආයෙත් ලංකාවට ආවේ 23න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. එංගලන්තයෙ සිටි කාලයේදී මම ක්‍රීඩා කළ සමාජයට උපුල් තරංගත් ක්‍රීඩා කළා. ලංකාවට ඇවිත් ක්ලබ්  ක්‍රිකට් ගහද්දී මගේ ක්‍රීඩා සමාජයෙන් මාව NCC එන්. සී. සී. එකට යොමු කළා. එතකොට NCC සභාපති ලෙස හිටියේ ලියෝ මහතා. එන්සීසී ඇවිත් පුහුණුවීම් කරද්දී දිනිඳු ජාගොඩත් හිටියෙ එන්සීසී. ඒ විදියට හිටපු මම පළමු පෙළ අවස්ථාවක් ගන්න නම් වෙන ක්ලබ් එකකට යන්න හිතුවා. එහෙම හිතාගෙන පානදුර ක්‍රීඩා සමාජයට එක්වුණා. ඒ සීසන් එකේදී වැස්ස නිසා අපට එච්චර තරග ක්‍රීඩා කරන්න ලැබුණෙ නැහැ. ඒ වෙලාවෙ අපේ ගමේ හිටපු සංගීතය කරන නුවන් තේනුවර, මට යෝජනාවක් කළේ අපි සිංදුවක් කියමු කියලයි. ඔන්න ඒ පාර සිංදුවක් කළා. අපේ ගමේ දිනේත් ද කියන කැමරා ශිල්පියා යෝජනා කළේ අපි මේ ගීතයට විෂුවල් එකක් කරමු කියලයි.

සුදු මුදු රෝස පාට තොල්පෙති

ඔබෙ සිප ගන්නට..

සිංදුව කළේ ඒ විදියටයි.

ඊට පස්සෙ?

ඊට පස්සෙ ආයෙත් මම එංගලන්තයට ගියා. මොකද නිවාඩුවටනෙ ඇවිත් හිටියෙ. ඒ අතරවාරයේ දී මගේ  ගීතය ස්වර්ණවාහිනියෙ හද රැඳි පැයට ලහිරු මුදලිගේ ප්‍රචාරය කළාය කියලා මට අපේ නංගි ඇමතුමක් දීලා කිව්වා. එතකොට මම ලහිරුව හඳුනාගෙන හිටියෙ නැහැ. නංගිගෙන් ස්වර්ණවාහිනියෙන් අංකය ඉල්ලා ගෙන ලහිරුට ස්තුති කරන්න කතා කළා. ඒ හඳුනා ගැනීම එක්ක රවීන්ද්‍ර විජේරත්න මහතාගෙ අතිශය ජනප්‍රිය වූ නාට්‍යයක රඟපෑමට අවස්ථාවක් ලැබුණා. එහි රඟපා සම්පත් ශ්‍රී රෝෂන් හඳුනා ගැනීම නිසා ජුලියා ෆිල්ම් එක කළා. ඔන්න ඔය විදියට  තමයි ක්‍රිකට් ගමන කළා ගමනක් බවට පත්වුණේ. මම ඔය කිව්වේ දිගු කතාවක් කෙටියෙන්. කොහොම වුණත් අපේ ගෙදර ආවොත් ඔයාලට දැක ගන්න පුළුවන් මගේ සම්මාන අතරින් වැඩිපුර තියෙන්නෙ ක්‍රිකට් නිසා ලැබු සම්මාන බව.

ක්‍රිකට් අත්හැරීමට සිදුවීම අද හැඟෙන්නෙ මොන විදියට ද?

මම මෙතෙක් කළ දේ වලින් අතරමග නතර කළ එකම දේ ක්‍රිකට්. ඒත් ක්‍රිකට්වලට ඇති ආදරය, ගෞරවය, රසිකත්වය හැමදාටම තියෙනවා. අපේ රටේ දැන් සිටින කණ්ඩායම හොඳ තරුණ කණ්ඩායමක්. එයාලා තව අවුරුදු දෙක තුනක් මේ විදියට ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට වාසියක් වේවි. තරගයක් දෙකක් දිනනකොට විශාල පිළිගැනීමක් ප්‍රචාරයක් රසිකයින් ලබා දෙනවා. ඒ විදියට වැඩිපුර විශ්වාසය තබා එයාලට පීඩනයක් දීම හොඳ නැහැ. එයාලා යන මේ ගමන දිහා බලා සිටිමින් එයාලව දිරි ගන්නවන්න. මේ නැගී එන ශ්‍රී ලංකා කණ්ඩායම තව අවුරුදු දෙක තුනකින් ලෝක පූජිත හොඳම ක්‍රීඩකයන් සිටින රට බවට යළි පත්වේවි.

සඳුන් ගමගේ