එදා සිට මම හඳගමගේ වේදිකාවෙ, ටෙලිනාට්‍යයේ සිනමාවෙ හැමතැනකම රංගනයෙන් දායක වුණා
වේදිකාවෙන්, භූමිකා,මාඝාත,( අශෝක හඳගම) පියාඹන අශ්වයා ( ඊ.එම්.ඩී.උපාලි)
පුංවි තිරයෙන්, ප්‍රභාතය,දුන්හිඳ අද්දර ( හොඳම නළුවා - උණ්ඩා සම්මාන උළෙල),දියකැට පහණ,නැගෙනහිර වෙරළින් ඇසෙන ( කුසලතා සම්මාන - සිග්නීස්)
සික්කා ටීම් ( ප්‍රදීප් ධර්මදාස)
සිනමාවෙන්, අයෝමා ( පරාක්‍රම නිරිඇල්ල),චන්ද කින්දරී,ඉනි අවන් ( අශෝක හඳගම),පාංශු ( විසාකේෂ චන්ද්‍රසේකරම්) පහසමත් ( සිවගුරුනාදන්) " අැල්බොරාදා" ( හොඳම සහාය නළුවා - සිග්නීස් සම්මාන උළෙල) '' මෙවර සුවිශේෂී කතාබහ ප්‍රවීණ රංගවේදී මැල්කම් මචාඩෝ සමගිනි.
රංගනයට පිවිසුණු සුන්දර මතකය අලුත් කරමින් මේ කතාබහ අරඹමු.
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ තමයි පාසල.මුල් කාලෙනම් බාහිර වැඩ එක්ක ගැටුණෙ නැති තරම්.ඒත් සාමාන්‍ය පෙළින් පස්සෙ නාට්‍යයක් කරන ආසාව තිබූණා.ඉස්කෝලෙ සංගීත සර් වුණේ සෝමපාල බොකලෙවෙල මහත්තයා.ඒ තමයි සිංහබාහු නාට්‍යයේ සිංහයාට රඟපෑව සමන් බොකලෙවෙලගෙ සහෝදරයා.ඉතින් මම,අශෝක හඳගම ඇතුළු ළමයි එකතුවෙලා තමයි ඉස්සෙල්ලම නාට්‍යයක් කළේ.පළමු නාට්‍යය ඉස්කෝලෙ පෙන්නුවාට දෙවැනි නාට්‍යය වූ " උකුණු මකුණු කතාවක් " පෙන්නන්න ඉස්කෝලෙන් අවසර දුන්නෙ නෑ.ඒ රාජ්‍ය විරෝධී තේමාවක් කියලා.ඊට පස්සෙ තමයි ඒ නාට්‍යය මීට පස්සෙ පාසල් නාට්‍යයක් වෙන්නෙ නෑ කියලා " කෑගලු රංග සභාව " පිහිටවපු බොකලවෙල මහත්තයා අපිව ප්‍රසිද්ධ වේදිකාවට ගත්තෙ.
ඔබේ රංගන ජිවිතය හා බැඳෙන අනෙක් නම තමයි අශෝක හඳගම.මේ සුසංයෝගයේ නිර්මාණාත්මක එකතුව මොන වගේද?
හඳගම පළමු නාට්‍යය කළේ පාසල් ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ. " තවද එක් නිදසුනක්" .ඒක රාජ්‍ය නාට්‍ය උළෙලේ මධ්‍යම පළාත් මට්ටමට ආවා.මමත් ප්‍රේමනාත් ජයසේකරත් රඟපෑවා.එදා සිට මම හඳගමගෙ වේදිකාවෙ,ටෙලි නාට්‍යයේ,සිනමාවේ මේ හැම තැනකම රංගනයෙන් දායක වුණා.ඒ නිර්මාණවලට අගැයීම් ලැබුණා.ඒවා හරි තෘප්තිමත් නිර්මාණ.ඒ අතීතයේ බොහොම සොඳුරු වගේම බිහිසුණු මතකත් තිබුණා.මට මතකයි 1987 වසරේ හඳගම " හෙණ " නාට්‍යය කළේ.මේ කාල සීමාව ගැන අමුතුවෙන් ආයෙත් කියන්න ඕන නැහැනෙ.මේ නාට්‍යයේ මම රඟපෑවෙ නැහැ.ඒත් දවසක් හඳගම පණිවිඩයක් එවනවා හෙණ නාට්‍යයේ ඊළඟ දර්ශනයට වළි කුකුලාගෙ චරිතය කරන නඵවා එන්නෙ නැහැ කියලා.ශෝ එක තියෙන්නෙ රුහුණු කැම්පස් එකේ.වැඩේ ට තියෙන්නෙ දවස් දෙකයි.හඳගම කියනවා පිටපත පොඩ්ඩක් බලලා අපිව ගොඩදාපන් ඒක කරන්න පුළුවන් උඹට විතරයි කියලා.ඒ ඉල්ලීම අහක දාන්න බෑ.කොහොමහරි මහන්සි වෙලා වැඩේ කළා.ඒ මතක ජීවිතේ කොතැනකවත් අමතක වෙන්නෙ නෑ.
අනිත් එක අපි දෙන්නම විශ්ව විද්‍යාලයටත් යනවා.මම කොළඹ නීති පීඨයට,හඳගම කැලණියෙ විද්‍යා පීඨයට.තැන් දෙකක හිටියට අපි දෙන්නාගෙම සරසවි සගයන්ගේ ඇසුරින් හොඳ නිර්මාණ කරන්න අවස්ථාව ලැබෙනවා.
ඔබ රංගනයෙන් දායක වී ඇත්තේ තෝරා බේරාගත් නිර්මාණ ඉතා අඩු ප්‍රමාණයක පමණයි.එදා සහ අද නිර්මාණවල වෙනස ඔබ දකින්නේ කොහොමද?
මම රංගනයට ඇවිත් අවුරුදු 30ක් පමණ ගෙවී ගිහින්.ඒ කාලෙ රූපවාහිනී චැනල් දෙකයිනෙ තිබුණෙ.ඒ නිසා ටෙලි නාට්‍යවලට වැඩි ප්‍රසාදයක් ලැබුණා.චිත්‍රපට බලලා හුරුවුණු අය ඒකත් වැළඳගත්තා.නිහාල්සිංහගෙ " දිමුතුමුතු" ,ධම්ම ජාගොඩගෙ " පළිඟු මැණිකෙ",ජයන්ත චන්ඳ්‍රසිරි ගෙ " වෙදහාමිනේ" වගේ ටෙලි නාට්‍ය රැසක් සාධනීය ලෙස ඉස්සරහට ආවා.අද දවසේත් හොඳ ටෙලි නාට්‍ය නැතිවා නොවෙයි.තියෙනවා.හොඳ නිර්මාණකරුවොත් ඉන්නවා.හැබැයි ඒවාට වඩා එදිනෙදා විනෝදය සපයන හරසුන් දේවල් වැඩියි.
සිනමාවේ වුණත් මේ තත්ත්වය තියෙන්නෙ.හොඳ සිනමා කෘති බිහිවුණත් ඒවා ප්‍රචාරය කරන,බෙදාහරින තැන ඉඳලම තියෙන්නෙ ප්‍රශ්න.නමුත් අතීතයේ මෙි ගැටලු හරිම අඩුයි.අපි චිත්‍රපට බලන්න පෙළඹුණේ ගෙදරින්.ඉස්සර එක දවසට දර්ශන වාර තුනම බලපු අවස්ථා තිබෙනවා.හැම භාෂාවකම චිත්‍රපටත් වෙනසක් නැතිව නැරඹුවා.නමුත් අද වෙද්දි චිත්‍රපට ශාලාවලට සෙනග ඇදගැනීමේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.
නිර්මාණකරණය ඇතුළේ අසංක සායක්කර,චාලක රණසූරිය,චමිල ප්‍රියංකර,ජගත් මනුවර්ණ,ශ්‍යාම් ප්‍රනාන්දු ,සුපුන් රත්නායක,ලක්මාල් ධර්මරත්න වගේ විශිෂ්ට අලුත් නිර්මාණකරුවො මොනතරමි ඉන්නවද?
මෙවැනි නිර්මාණවලට,නිර්මාණකරුවන්ට ඉඩක් නොහැදෙන්නේ ඇයි?
අපේ රටේ මේ වෙද්දි බරපතළ ලෙස ආර්ථික ප්‍රශ්නයක් තියෙනවානෙ.එහෙම වුණාම පවතින ආණ්ඩු ඉස්සෙල්ලම ගලවන්නෙ කලාවයි,සාහිත්‍යයයි.ඒ දෙක ගලවන්න හරිම ලේසියිනෙ.ඉතින් එහෙම වුණාම තරුණ නිර්මාණකරුවො අසරණයි.මිනිස්සුන්ට ඕන එදාවේල කන්න හොයාගන්න මිසක් නිර්මාණ රස විඳින්න නෙමෙයි.එහෙම වුණාම වඩාත් අසරණ වෙන්නෙ රටක තරුණ නිර්මාණකරුවො.
අපි " අල්බොරාදා" ගැනත් කතා කරමු.
ඒක පැබ්ලො නෙරූදා නම් චිලියානු කවියා ලංකාවෙ සේවය කළ කාලසීමාව පසුබිම්කරගෙන නිර්මාණය වූ ලස්සන චිත්‍රපටය ක්.මම රඟපෑවෙ නෙරූදාගේ සේවකයා වූ රත්නෙ අයියාගෙ චරිතය.ඇත්තටම හඳගම මේ චිත්‍රපටය කරලා තිබුණේ ඒ පිළිබඳව නිසි ගවේශණයකින්.ඒ වගේ නිර්මාණයක රඟපානවා කියන්නෙම වෙනම අත්දැකීමක්.මේ නිර්මාණයයේ රංගනය වෙනුවෙන් සිග්නීස් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමිවුණේ මට.මීට පෙරත් හඳගමගේ දුන්හිඳ අද්දර,නැගෙනහිර වෙරළින් ඇසෙන ටෙලි නාට්‍යවල රංගනය වෙනුවෙන් සම්මාන හිමිවෙලා තියෙනවා.
මේ කාලයේ ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද?
උපන් ගම කෑගල්ලේම තමයි ජීවිතේ ගෙවෙන්නෙ.මගේ තාත්තයි අම්මයි දෙන්නම ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවෙදි නෙ.එයාලා පසුකාලෙක ලංකාවට ඇවිත් රැකියා කරපු අය.මට බාල තව මල්ලි කෙනෙක් හිටියා.1970 දි බලයට පත් ආණ්ඩුව පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීමේ ව්‍යාපාරයක් පටන්ගත්ත නිසා අපේ තාත්තා වැඩකළ ආයතනයත් ඒවාට නතු වුණා.ඉතින් මේ ව්‍යාපාර බලන් ඉදිද්දි කඩා වැටුණා.අපේ තාත්තලාගෙ රැකියා අහිමිවුණා.ඒ කාලෙ ඉඳලම ජීවිතේ ගෙවෙන්නෙ ඒ අභියෝග එක්ක.
මම විවාහ වෙන්නෙ 2000දි.ඒ ඉන්දිකා දමයන්ති සමඟ.ඇය මගේ නාට්‍ය වැඩමුළුවලට සහභාගී වූ ශිෂ්‍යාවක්.මේ වෙද්දි දියණියන් දෙදෙනෙක් ඉන්නවා අපට.ඒ නෙතුනි සන්තරා සහ සතිනි අනුත්තරා.වෘත්තීය ජීවිතය එක්ක පෞද්ගලික ජීවිතයත් බොහොම හෙමින් ගෙවිලා යනවා.
ඉදිරියේදී ඔබ රංගනයෙන් දායකවන නිර්මාණ මොනවාද?
ගොඩක් නැහැ.කෝරළගේ සමන්ගෙ ටෙලි නාට්‍යයකත්,ලලිත් රත්නායකගෙ අලුත් චිත්‍රපටයේත් රඟපෑවා.එච්චරයි.
සුජිත් ප්‍රසංග