එදා මම තාත්තාට පුතෙක් නෙවෙයි නළුවෙක් - මේඝ සූරියආරච්චි
මේඝ... මේ දවස්වල මොකද කරන්නේ...?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේ මම මගේ ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මම බාරගත්තු නිර්මාණ කටයුතුවලත් මේ දවස්වල නියැලිලා ඉන්නවා.
ඔබ රඟපෑ සිනේමා දැන් තිරගත වෙනවා. මොකද ඒ ගැන හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. සිනේමා කියන්නෙ මම ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටයයි. මේ මාසේ දෙවැනිදා සිට ඒ චිත්‍රපටය සිනමාහල්වල තිරගත වෙනවා. චිත්‍රපටයේ මම රඟපාන්නේ ජාලිය කියන තරැණයාගේ චරිතයයි. පාසැල් අධ්‍යාපනය අවසන් වූවාට පස්සේ ජීවිතේ එක්තරා විදිහේ අරමුණක් හොයන, තමන්ගේ වයස, ඒ වපසරිය තුළ තමන් යන්නේ කෙසේද සහ තමන්ගේ අරමුණ හොයාගෙන යන තරැණයෙක් මම ජාලිය තුළින් දකිනවා.
"සිනේමා" කියන්නේ, දැවැන්ත, ප්‍රවීණ කලාකරුවන් පිරිසක් එකතුව හැදුණු නිර්මාණයක්. ආධුනිකයෙක් ලෙසින් මේඝ මේ නිර්මාණයට දායක වී ලබපු අත්දැකීම් කොහොමද?
පුංචි කාලේ ඉඳන් මම සිනමාවට බොහෝ ප්‍රිය කරපු කෙනෙක්. රංගනයට දායක වෙනවාට වඩා මම සිනමාවට ආදරේ කළා. මම පුංචි කාලේ ඉඳන් වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තිබුණාට ප්‍රධාන චරිතයකින් සිනමාවට සම්බන්ධ වෙන හීනයක් පොඩි කාලේදී මට තිබුණේ නැහැ. ඒක කාලයත් එක්ක මට ලැබුණ අවස්ථාවක්. ඉතින් ආධුනික නිර්මාණකරැවෙක් විදිහට ශ්‍යාම් අයියා, බිමල් අයියා වගේ ප්‍රවීණයන් එක්ක සම්බන්ධ වෙන්න ලැබිම මම ලබපු භාග්‍යයක්. ඔවුන්ගෙන් රංගනයේදි මට ලැබුණු සහයෝගය හරි පුදුමාකාරයි. ඇත්තටම ඔවුන්ගෙන් මට ලැබුණ සහයෝගය, ආශීර්වාදය, මඟපෙන්වීම හරියට පාසැලක් විශ්ව විද්‍යාලයක් වගෙයි.
"සිනේමා" ඔබේ පියාගේ අධ්‍යක්ෂණයක්. නිර්මාණය ගැන නිවසේදීත් මේඝ හා පියා කතාබහ කළාද? ඒ සහයෝගය කොහොමද?
සිනමාවට එද්දී ගෙදර හිටපු තාත්තා වෙනස්. කවදාවත් තාත්තා මට රඟපාන්න කියලත් නැහැ. මම තාත්තාට මාව රඟපාන්න සම්බන්ධ කරගන්න කියලා කිව්වෙත් නැහැ. මගේ තාත්තා වෛද්‍යවරයෙක් වුණත් ඔහු කලා මාධ්‍යයට බොහොම ළඟයි. පුංචි කාලේ ඉඳන් අපේ ගෙදර තිබුණ පරිසරය කලාවට ගොඩක් සමීපයි. අපි පුංචි කාලේ ඉඳන් ඒ පරිසරයෙන් හැදුණේ. අම්මවත්, තාත්තාවත් කිසිම දේකට අපිට බල කළේ නැහැ. අපිට අපිව හොයාගන්න නිදහස ඔවුන් පුංචි කාලේ ඉඳන් දීලයි තිබුණේ. මම ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන්. මුලින්ම උසස් පෙළට මම ජීව විද්‍යාව හැදෑරුවා. ඒ කිසිම දේකට මගේ දෙමව්පියෝ බල කළේ නැහැ. ඔවුන් හැම මොහොතකම කිව්වේ "තමන් කරන දේ හරියට කරන්න" කියලා විතරයි. ඒ නිසා සිනේමා රෑගත කිරීම් කරද්දීත් මම ඔහුව එම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා විදිහට තමයි දැක්කේ. ඔහුගෙන් මම විශේෂත්වයක් දැක්කේ නැහැ. මමත් එහෙම විශේෂත්වයක් බලාපොරොත්තු වුණේ නැහැ.
පියා වෛද්‍යවරයෙක්. නමුත් වෛද්‍ය කපිල සූරියආරච්චි කියන්නේ කලාකාමී මනුස්සයෙක්. මේඝ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම සිනමාවට ලැදිවීම පුංචි කාලේ ඉඳන් නිවස තුළින්ම මම දැකපු වටපිටාවට හේතුවෙන්න ඇති. තමන් දකින, තමන් විඳින, තමන්ට ඇහෙන දේවල්වලින් මගේ හිතත් සිනමාවට ළංවුණා. ජානවලිනුත් ඒ බැඳීම තියෙනවා ඇති කියලත් මම විශ්වාස කරනවා. ඒ ඔස්සේ කාලයක් එක්ක ඒක නිර්මාණවලට පරිවර්තනය වුණා.
උසස් පෙළට ජීව විද්‍යාවෙන් අධ්‍යාපනය හැදෑරූ ඔබ අද වෙද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ඉගෙනුම ලබන තෙවැනි වසරේ ශිෂ්‍යයෙක්?
ඔව්... උසස් පෙළට මම ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවේ ජීව විද්‍යාවට තිබුණ ආසාව නිසාමයි. මගේ දෙමව්පියෝ කිසිම වෙලාවක ඒ විෂය හදාරන්න කියලා මට බලකරලා නැහැ. පුංචි කාලේ ඉඳන් මම සිනමාවට සහ අධ්යක්ෂණයට ආසා කළා. ඒ නිසා සිනමාව සම්බන්ධයෙන් විෂයක් විදිහට හදාරන්න තිබුණ ආසාව නිසාම මම ආයෙත් මාස පහක් විතර කාලයක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හදාරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ වෙද්දී මම කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙක්.
"සිනේමා" මේඝ ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු සිනමා පටයයි. මේ වෙද්දී තවත් නිර්මාණ කිහිපයකටම මේඝ සම්බන්ධ වෙලා තියෙනවා...?
ඔව්... මේ වෙද්දී මට තියෙන ප්‍රධාන අභියෝගය වන්නේ කාලයයි. අධ්‍යාපනය වගේම ව්‍යාපාර කටයුතුත් එක්ක කලා කටයුතුවල යෙදීම ටිකක් අමාරුයි. ඒ නිසා මට දැනෙන, මට කාලය වෙන්කරගන්න පුළුවන් විදිහට මම නිර්මාණවලට සම්බන්ධ වෙනවා. "සිනේමා" වලට පසුව තවත් සිනමා පට දෙකක ප්‍රධාන චරිත විදිහට සම්බන්ධ වුණා. ප්‍රියන්ත කොළඹගේ මහතාගේ "මන්දාරා" චිත්‍රපටයේත් රොහාන් පෙරේරා මහතාගේ "සීගිරි" චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මේ අතරේ ටෙලිනාට්‍ය කිහිපයකට ඇරයුම් ලැබුණත් මම ඒවා බාරගත්තේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ කාලයයි. නමුත් පුංචි කාලේ ඉඳන් මම දන්න සහ මම ගරැකරන පුද්ගලයෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතා. ඉතින් ජයන්ත අංකල් වැඩකට කතා කරද්දී මම ඒක ඉතා කැමැත්තෙන් බාරගත්තා. වෙලාව නැතිවුණත් මම ඒ වෙලාව කොහොම හරි හදාගන්න උත්සාහ කළා. ඒ අනුව ජයන්ත අංකල් අධ්‍යක්ෂණය කරන "නන්නත්තාර" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවත් මම ඉතා ආසාවෙන් දායක වුණ නිර්මාණයක්.
දිශෘනි ජයමාලි / සේයාරුව- සුමුදු හේවාපතිරණ