එදා ඉඳලා අපේ ආදරයට අවුරුදු 25කට ආසන්නයි
එදා සිරස රජ කඩුවෙන් පටන්ගෙන දෙගම්මැදියාව, රන්ගිර, සඳවිනිවිද ඇතුළු නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය රඟපෑම්වලට අමතරව නිවේදිකාවක ලෙස කටයුතු කළ නිසා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සුන්දර ශිල්පිනියකි. මේ දිනවල ඇය අපට හමුවන්නේ සිකුරු ඇවිත් නාට්‍යයේ චරිතයක් සමගය. එලෙසින් ඇය අපට හමුවන්නේ වසර දෙකකට පෙර විකාශය වූ මේඝවර්ෂා නාට්‍යයෙන් පසුවය. එලෙසින් රැඟුමෙන් සහ නිවේදනයෙන් හමුවන ඇය ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. කලා ක්ෂේත්‍රයේ හැමෝගෙම ආදරය දිනා සිටින ටෙක්ලා කුමුදු කුමාරි වන ඇයගේ ජීවිතයේ ආදර කතාවද ඉතා ආදරණීය මෙන්ම සුන්දර වූවකි. මේ දිග හැරෙන්නේ ඇයගේ ඒ ප්‍රේමාන්විත ආදර කතාවය.
ටෙක්ලා, කුමුදු කුමාරි? ලස්සන නම් තුනක්? කොහොමද අපි මොන නමින්ද කතා කළොත් හොඳ?
ටෙක්ලා කුමුදු කුමාරි කියලම කියන්න. ටෙක්ලා කියනවට කැමතියි. ලෙහෙසියට හැමෝම වගේ අමතන්නෙ ඒ නමින්.
ඇයි නම් තුනක් දාලා තියෙන්නේ?
ඒ ගැන මම තාත්තාගෙන් ඇහුවා. තාත්තගෙ ගම මොරටුව. ඒ නිසා ටෙක්ලා කියලා දැම්මලු. කුමුදු නම දාලා තියෙන්නේ අම්මාට මාව මලක් වගේ පෙනුන නිසාලු. ‘කුමාරි’ කියලා තාත්තා නම දැම්මෙ එයාට මාව කුමාරියක්ලු. ඔන්න ඔහොමයි මම ‘ටෙක්ලා කුමුදු කුමාරි’ වුණේ. වාසගම මෙන්ඩිස්.
ගම?
තාත්තා මොරටුවේ. අම්මා කුරුණෑගල, මාවතගම.
හැදී වැඩුණේ?
කුරුණෑගලදි. පාසල් ගියෙත් කුරුණෑගල. අම්මා සෞඛ්‍ය සේවයේ යෙදී සිටි නිසා එවකට හිටියෙ එහේ.
පවුලේ ටෙක්ලා විතරද?
මට මල්ලියෙක් ඉන්නවා. එයා අවුරුදු 10ක් මට වඩා බාලයි. අම්මට පස්සෙ මල්ලිට ඉන්න අම්මා මම. මල්ලි මගේ ජීවිතේ කොටසක්. මල්ලි විවාහ වෙලා එයාගෙම බිස්නස් එකක් කරනවා. ඒ අතරේ මගේ මහත්තයා රෝහණ එක්ක එයාගෙ වැඩවලටත් යනවා. මගේ මහත්තයා සවුන්ඩ් ඉංජිනියර් කෙනෙක්.
ටෙක්ලා ඉගෙන ගත්තෙ මොනවගේ හීන ඇතිවද?
ඒ කාලයේ අපේ අම්මට ඕනෑ වුනේ මාව සෞඛ්‍ය අංශයට යොමු කරවන්න. පාසල් සමයේදී ක්‍රීඩාවලට මම දක්ෂ වුණා. විශේෂයෙන්ම නෙට් බෝල් ක්‍රීඩාවට. වොලිබෝල් වගේම හෙල්ල විසි කිරීමත් කළා. උස පැනීම. දුර පැනීම අංශයෙන් ඒ දිනවල මම පළවැනියා වුණා. කොහොම වුණත් පාසලෙන් පසුව අවතීර්ණ වුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට. ඒ අතරේදී 2006 සිරස කුමරිය තරඟයට අයදුම් කළා. එතැනින් පටන් ගත්ත තැන සිට මගේ ජීවිතය ලස්සන මාවතකට යොමු වුණේ. ටෙලිනාට්‍යවලට අමතරව නිවේදිකාවක ලෙසත් කටයුතු කරන්න ලැබුණා. මිනිස්සු මට ආදරය කරන්න පටන් ගත්තේ මම ඉදිරිපත්කළ මියිසික් ප්‍රෝග්‍රෑම් නිසයි.
රංගනය සහ නිවේදනයෙන් තරමක් ඈත්වෙලා හිටියෙ?
මගේ දුව ලැබුණට පස්සේ ටිකක් ඈත්වෙලා හිටියෙ.
ටෙක්ලාගෙ විවාහය සිදුවුණේ?
විවාහය ලියාපදිංචිය සිදු කළේ 2006 ඔක්තෝබර් 19 විවාහ උත්සවය ගත්තෙ 2015දී. විවාහය දක්වා ආ ඒ ප්‍රේම කතාව ලස්සනම ලස්සන කතාවක්.
ඒ ලස්සනම ලස්සන ආදර කතාව ගැන කියමු
ඇත්තටම ඒක ලස්සනම ප්‍රේම කතාවක්. මගේ තාත්තා කළේ සංගීතය. 1999 දෙසැම්බර් 31 ප්‍රසංගයක් කළා. එතකොට මම පාසල් යමින් සිටි යුවතියක්. රෝහණත් එදා එයාලගෙ ටොප් ටෙන් බෑන්ඩ් එක එක්ක 31දා රාත්‍රී ප්‍රසංගයට ඇවිත් හිටියා. එයා ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස එදා සහභාගි වුණේ. එයා හරිම ලස්සනයි. බාලිකා වයසේ සිටි මට එයා දිහාම බලන තරමට හිත ගියා. ඒ හඳුනා ගැනීම එක්ක එයා මට එදා එයාලගෙ බෑන්ඩ් එකේ කාඩ් එකක පිටුපස එයාලෙගෙ දුරකථන අංකය ලියලා දුන්නා. එතකොට අපට ජංගම දුරකතනවත් නැහැ. ඒ කාලයේ සමාජය ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ.
එතකොට අපි හිටියේ මොරටුවේ. මම ලියුම් කවරයක් ගන්න එළියට ගියා. එහෙම ගියෙ එයාව හමුවී කතා කරන්න. වැඩේ කියන්නේ එදාම ගෙදරට අහුවුණා. ඊට පස්සේ මේ සම්බන්ධය නිසා මාව කුරුණෑගලට යැව්වා. රෝහණ හෝමාගම. මේ කතාව එතැනින්ම ඉවර වේවි කියලයි මම හිතුවේ. ඒත් අපේ නැන්දා මැදිහත් වෙලා අපේ මව්පියන්ට රෝහණව මුණ ගැස්සුවා. ශාන්ති නැන්දා නිසා අපේ මව්පියන් හමුවන්න ගෙදරට ආ රෝහණට අපේ අම්මයි තාත්තයි ඉහළින්ම කැමති වුණා. රෝහණ ලස්සන මුහුණක් වගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. මේ ඔක්කොම වෙන්න කලින් රෝහණ මට දීලා තිබුණු කාඩ් එකක් මාස එකහමාරක් රඳවාගෙන සිටියෙ මගේ ගවුමේ පපු පෙදෙසේ. රෝහණට මම එච්චරටම ආදරය කළා. ඒ කාඩ් එක අදටත් මා ළඟ තියෙනවා.
පසුව ගෙදරින් කැමැත්ත දුන්නද?
අපොයි ඔව්. රෝහණට අපේ අම්මයි තාත්තයි හැමෝම ආදරය කළේ එයාලගෙ ලොකු පුතා විදියට.
ඊට පස්සේ
ඊට පස්සෙ ඉතින් මගේ ඉගෙනීම් වැඩ කරගෙන ගියා. රෝහණ මට මෝටෝරෝලා ෆෝන් එකක් ගෙනත් දුන්නා. ගඩොල් භාගේ ෆෝන් එක. සිග්නල් නැතුව ගමේ ගස් උඩ, ගල්උඩ ඉඳගෙන තමයි කෝල් ගත්තෙ. මම එදා හිටපු ගම හරි ලස්සනයි. පහසුකම් අඩු වුණාට සුන්දර ජීවිතයක් ගත කළේ. අපේ ආදරයට ගෙදරින් අවසර දෙන්න ප්‍රමාද වුණේ එතකොට මගේ වයස අවුරුදු 15ක් විතර වූ නිසයි. හැබැයි එහෙමයි කියලා ආදරේ සහ අධ්‍යාපනය පටලවා ගත්තේ නැහැ.
මුලින්ම රෝහණ ගෙදරට ආ දවස මතකද?
ඔව්. එදා මම වී මෝලට ගිහින් හිටියෙ. එද්දි රෝහණ ගෙදර ඇවිත්. එදා අම්මා තාත්තා එක්ක එයා විස්තර කතා කර කර හිටියෙ. ඊට පස්සෙ දවස ගත වෙනවාවත් තේරුණේ නැහැ. එච්චරටම එයා ගැන මගේ හිතේ තිබුණෙ ආදරයක්. ගෙදර එළියට වෙලා රැයක් එළි වෙනකල් අපි දෙන්නා කතා කර කර හිටියා. ඒක හරිම සුන්දර දවසක්. ඉන් පස්සේ සති දෙකකට වගේ සැරයක් එයා මාව බලන්න ගමේ ආවා. සමහර දාට මගේ පාසලටත් ආවේ මට කෑම එයා දීලා යන්න. පාසල් වෑන් එකට මගේ බෑග් එක අරන් ගියේ එයා. නෙට්බෝල් පුහුණු දාට එයා කෑම එක අරගෙන ඇවිත් පාසල ළඟ ඉන්නකොට කවුද ඒ කියලා සර්ලා ඇහුවාම අපේ පුංචිගේ පුතා කියලා මම කිව්වා. සමහර දාට අන්න පුංචිගේ පුතා අැවිත් කෑම එක අරගෙන ගිහින් බලන්න කියලා පාසලේ අය කිව්ව අවස්ථා තිබුණා. කොහොම වුණත් දවස් ගත වෙද්දී මගේ යාළුවෝ ඔක්කොම මේ පෙම් හබය ගැන දැන ගත්තා. එතකොට මම ඒලෙවල් පංතියෙ හිටපු නිසා ප්‍රශ්නයක් වුණෙත් නැහැ.
එදා ඒ විදියට පටන් ගත්ත ආදරය සුන්දරව ගලා ගියාද?
සහතිකෙන්ම ඔව්. එදා ඉඳලා අපේ ආදරයට අවුරුදු 25කට ආසන්නයි. කවදාවත් අපි දෙන්නා තමුසෙ වරෙං, පලයං උඹ වගේ වචන කියාගෙන නැහැ. රණ්ඩු වුණත් තරහ වුණත් පරුෂ වචන හෝ වෙනත් වචන භාවිතා කර නැහැ.
ඔබගෙ රංගන හා නිවේදන කලාවේ කතාව පටන් ගැනීමට පෙර ආදර කතාව තමයි පටන් ගෙන තිබෙන්නේ නේද?
ඔව්. ඒක සැබෑ ආදරණීය කතාවක්. සැබෑ වූ ආදර කතාවක්. පාසල් කාලයේදී බැඳී ඒ ප්‍රේමය එනම් රෝහණට බැඳි ආදරය මට නැති කර ගන්න ඕනෑ වුණේ නැහැ. එච්චරට රත්තරන් හදවතක් හොඳ ආදරණීය මිනිසෙක් එයා. එයාව අහිමි කර ගැනීම ලෝබකමක් විදියටයි මම දුටුවෙ. මුලින්ම යාළුවෙද්දි මගේ වයස අවුරුදු 15යි. එයාට 22යි. අපි දෙදෙනනාටම ජීවිතේ ගොඩ නගා ගන්න තිබුණෙ. මම ඉගෙනීමත් හොඳින් කරලා ආදරයත් පවත්වාගෙන ගියා. එයා සංගීත කටයුතු හොඳින් කරමින් ජීවිතය ගොඩනගා ගත්තා. ආරම්භයේදී අපට කියලා වත්කම් තිබුණෙ නැහැ. හොඳම වත්කම වුණේ දෙදෙනාගේ අමිල වූ ආදරයයි.
ඒ දිනවල ජංගම දුරකථන භාවිතා කොනළ නිසා ලියුම් ලියන්න ඇති නේද?
ලියුම් තමයි ලියුවේ.
මුලින්ම යැවූ ලිපිය ගැන මතකය
මුලින්ම මම එයාට යැව්වේ මගේ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ එහා පැත්තේ හිටියේ මගේ පුංචිගෙ දුව. මේ ෆොටෝ එකේ එහා පැත්තේ ඉන්න කෙනා දිහා බලන්න නම් එපා කියලා මම ඒ ෆොටෝ එකේ ලියලා යැව්වා. ඒ විදියට එයාට යැවූ එයා මට එවූ ලියුම් තවම තියෙනවා. අද වගේ සමාජ මාධ්‍ය නැතුව අපි දෙන්නා කළ ඒ ආදරය ඇත්තටම මොන තරම් නම් සුන්දරද. හරිම මිහිරි මතක ගොන්නක්.
එදා ඒ ලියුම් ලියද්දී ඔබ එයාව ආමන්ත්‍රණය කළේ
මගේ රෝහණ අයියේ. මා දයාබර රෝහණ අයියේ ඔයා හොඳින් නේද? ඒ විදියට තමයි ආමන්ත්‍රණය කළේ. එයාව අත් හැරෙයි කියන බය තමයි එදා මට තිබුණේ. එයා ලියුම් ලියන කෙනෙක් නොවෙයි. හරිම නිහඬ ආදරණීය චරිතයක්. ඒත් එයා එදා මම වෙනුවෙන්ම ලියුම් ලියලා. එදා එයා මාව ඇමතුවේ බබා කියලා. අදටත් මට කියන්නේ බබා කියලයි. ටෙක්ලා කියලා කතා කරන්නේ නැහැ. එදා ලිපි එවද්දි එයා මාව අමතලා තිබුණෙ මගේ චූටි බටිච්චියා මම ඔයාට ගොඩක් ආදරෙයි කියලයි. ලියුමක් යවලා පිළිතුරු එනකල් මග බලාගෙන හිටියෙ. ගමේ අන්තිම බස් එක යන වෙලාවට මම පාරට ඇවිත් බලාගෙන හිටියෙ එයා එනකල්. සමහර දාට බස් එක ගිහිල්ලත් විනාඩි 10ක් විතර ගතකලා .මම පාර බලා හිටිය හැටි මතකයි. ඒ අතීතය වගේම ඒ සැමරුම් ලිපි දකිද්දි අදටත් මට ඇතිවන්නේ ආදරණීය බවක්. අපි දෙන්නගෙ ඒ සුන්දරම ආදර කතාවේ තිළිණය තමයි අපේ දියණිය. හරිම හොඳ හරිම සුන්දර දියණියක් අපට සිටින්නෙ. විශ්වය අපට ලබා දුන් ලොකුම දායාදය තමයි අපේ දියණිය.
සඳුන් ගමගේ