උපන්දා ඉඳලම එහේ තමයි. ලංකාවට එන්නෙ නිවාඩුවකට විතරයි
සාමාන්‍යයෙන්, ලංකාවේ සිටින රංගනයට මනාප බොහෝ දෙනාගෙ අරමුණ වන්නෙ, කොහේ හරි රටකට ගිහින් රංගනය ගැන ඉගෙන ගන්නයි. මොකද මෙහේ රංගනය ඉගෙන ගන්නට තරම් සුදුසු තැනක් නැති නිසයි. මරියෝන් වෙත්තසිංහ නම්, ඒ අතින් පුදුම වාසනාවන්තියකි. ඇය උපන්නේ ප්‍රංශයේදීය. ප්‍රංශය යනු කලාව ගැන බොහෝ දේ ඉගෙනුමට බොහෝ ස්ථාන ඇති කලාගාරයක් බඳු රටකි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මරියෝන් තමා කැමති රංගනය ගැන එහි දී ඉගෙන ගෙන සිටින්නීය. හැබැයි එහෙම ඉගෙන ගත්ත ඇය රඟපාන්නෙ අපේ රටේ හැදෙන චිත්‍රපටවලය. මේ දිනවල තිරගත කෙරෙන වෛද්‍ය නඕමාල් පෙරේරාගේ ‘‘දඩඉමේ’’ ඇය රඟපාන්නීය. මේ විදියට රඟපාන මරියෝන්ට ප්‍රංශ සිනමාව ජය ගන්න බැරි ද? මොකද ප්‍රංශ බස දන්න නිසාත්? ‘‘දඩ ඉම’’ වෙනුවෙන්ම ලංකාවට ආ මරියෝන් වෙත්තසිංහගෙන් ඒ ගැන අහමු ?
මරියෝන් ‘‘දඩ ඉම’’ කී වැනි ෆිල්ම් එක ද?
ඉස්සෙල්ලාම ‘‘හිතුමතේ ජීවිතේ’’, දෙවැනියට ‘‘විජයබා කොල්ලය’’ දැන් ‘‘දඩඉම’’.
ප්‍රංශයේ ජීවත් වෙන්න පටන්ගෙන කොච්ච්ර කල් වෙනවද?
උපන්දා ඉඳලම එහේ තමයි. ලංකාවට එන්නෙ නිවාඩුවකට විතරයි.
මොනව ද කරන්නෙ?
(රංගන පාසලකින්) රංගනය ගැන අධ්‍යාපනය හදාරාලා දැන් බලා ඉන්නෙ එහේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට යොමු වෙන්න.
ඉගෙන ගත්තෙ රඟපෑමෙන් ඉදිරියට යන්න හිතාගෙනම ද?
රඟපෑම කියන්නෙ ඉතාම සංකීර්ණ විෂයයක්. ගැඹුරින් හිතන්න ඕනැ අංශයක්. මහේන්ද්‍ර පෙරේරා ප්‍රවීණයා නිතරම මට රංගනය විග්රහ කළේ ඒ විදියට. රංගනය කියන්නෙ මැරෙනකල්ම ඉගෙන ගන්න තියෙන විෂයක්. අධ්‍යාපනයකට යනවා කියන්නෙ වෙනස්ම පැත්තක්. මොකද රංගනයට ආවාට අපි ටෙක්නික්ස් (තාක්ෂණය) ගැන දැනගෙන නෙවෙයි එන්නෙ, ඉතින් රංගන ශිල්පිනියකට බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. ලැබෙන චරිතයට තමාව හසුරුවා ගන්නෙ කොහොමද කියන හැකියාව ඇයට තිබෙන්න ඕනෑ.
කොහොම ද රංගන ශිල්පිනියකට තියෙන වටිනාකම?
ප්‍රංශය මොන විදියට ගත්තත් දේශීය හා ජාත්‍යන්තරව ලෝක සිනමාව එක්ක ඉහළින්ම සිටින රටක්. ඒ නිසා රංගන ශිල්පිනියකට, ලැබෙන පිළිගැනීම සහ වටිනාකමක් ඉහළයි. එයාලා සළකන්නෙ නළු - නිළියන් රටේ සම්පත් විදියටයි. ඒ නිසා රංගන ශිල්පිනියක් වෙන එක නම් ලෙහෙසි දෙයක් නෙවෙයි.
පුද්ගලික හැඳුනුම්කම් එක්ක නිළියක් වෙන්න බැරි ද?
එහෙමත් නැත්තෙ නැහැ. කොතැනත් සාමාන්‍යයෙන් සිදුවන දේ තියෙනවා. ඒත් මට හිතෙන විදියට ලංකාවේ රංගන ශිල්පිනියක් කිව්වාම තියෙන පිළිගැනීම සහ ප්‍රංශයේ සිනමා නිළියක් කිව්වාම ලැබෙන පිළිගැනීම වෙනස්. දෙවිදියක් කිව්වොත් හරි. ලංකාවෙදී පිළිගැනීමක් එන්නෙ ඒ ක්ෂේත්රයෙන් බොහොම ඉහළට ගියාමයි. හැබැයි එතකොටත් පිළිගන්නෙ ආ... නිළියක්නෙ... කියන වටිනාකමක් දෙන්න බැරි වගේ ආකල්පයකින්. එහේ එහෙම නැහැ, ලොකු ගරුත්වයක් ලැබෙන්නෙ.
අපේ රටේ ඇයි, නිකම්ම නිළියක් කියනවාට වඩා වටිනාකමක් දෙන්න බැරි වෙලා තියෙන්නෙ ?
මම හිතන්නෙ රංගන ක්ෂේත්රය කියන්නෙ ඉතා ඉහළ වෘත්තියක්, ලොකු ගෞරවනීය කලාවක්. ඒත් ඒ වටිනාකම – ගෞරවය ලැබෙන්නෙ සහ පවතින්නෙ, මේ ඉන්ඩස්ට්‍රි එකට එන මිනිස්සුන්ගෙ හැසිරීම් සහ කටයුතු කරන විදිය එක්කයි. ලංකාවේ මේ ක්ෂේත්රයට එන සමහර අය නිසා තමයි පිළිගැනීම අඩු වෙන්නෙ. ඒ වගේම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කියන කෙනාගෙ ජීවිතයට වඩා එයාගේ පුද්ගලික ජීවිතයට තමයි සමහරු ඇතුළු වෙන්න බලන්නෙ. අන්න එතකොට තමයි ඔය බාල්දු වීම් වෙන්නෙ. අපට එක්තරා කාලයක ගාමිණී, ජෝ, විජය, ටෝනි වගේ මහත්වරු, මාලිනි, ස්වර්ණා, ශ්‍රියානි වගේ මහා පිළිගත් චරිත. ඒ තිබුණු සැළකිල්ල ගරුත්වය අද සිටින අයට නොලැබෙන්නෙ සමහරවිට එයාලම විසින් නැති කරගන්න දෙයක්. වගෙයි මට පෙනෙන්නෙ. අපේ සංස්කෘතිය අතින් ගත්තත් රංගන ක්ෂේත්රය ගැන පිළිගැනීම තියෙන තැන් වගේම නැති තැනුත් තියෙනවා.
ඒ කියන්නෙ ඇහැට – කනට පෙනෙන, පුද්ගලික හිතවත්කම් තියෙන අයට වුණත් රංගනයේ දී ප්‍රංශයේ අවස්ථාව ලබාගන්න පුළුවන් ද?
ප්‍රංශයේ මම ආසම දේ නම් එහේ රංගනයට ගන්නෙ රූපය බලලා නෙවෙයි. ඒක තමයි හරි දේ. ලංකාවේ වගේම අසල්වැසි කොලිවුඩ් - බොලිවුඩ් සිනමාව වගේම ටෙලිනාට්‍යයට සම පැහැපත් නම්, පෙනුම ආකර්ෂණීය නම්, ඒ වගේ අය ගන්න වැඩිපුර නැඹුරුවක් තියෙන බව පෙනෙනවා. උප්පත්තියෙන් ගෙනා රූපයට අපි ගෞරව කළ යුතුයි තමයි, හැබැයි රංගන ශිල්පිනියකට වැදගත් වෙන්නෙ රූපය නෙවෙයි, කැමරාව ඉදිරියට ගිහින් චරිතයට ලබා දෙන බර සහ ඒ චරිතය ගොඩ නගා ගෙන ඇති විදියයි. එතැනදී පෙනෙන්නෙ චරිතය මිසක් රූපය නෙවෙයි.
ඔබ කියන ඔය මොන විදියට රඟපෑවත්, ලිංගික ජවනිකා වැනි දේ සහ සිප ගැනීම් වැනි දේ නිර්මාණයකට අවශ්‍ය නම්, ඒ දර්ශන වෙනුවෙන් පෙනී සිටියොත්, ලංකාවේ සමාජය බලන විදිය අනුව මරියෝන්ට කොහොමද හිතෙන්නෙ ඒ ගැන?
ෆිල්ම් එකක් නරඹද්දී එතැනදී අපි දකින්නෙ ඒ ෆිල්ම් එකේ කතාවට අදාළ චරිත. සැබෑ ජීවිතයේ එයාලගෙ චරිත නෙවෙයි. එතකොට සාමාන්‍ය ජීවිතයේ වගේම කන, බොන, අඳින, පළඳින චරිත. ඇත්ත ජීවිතේ ස්ටයිල් තියෙනවා. ඉතින් ඒ වගේ කතාවක චරිත ඒ අනුව තමයි ඒ වෙනුවෙන් චරිත හැඩය පෙළ ගස්වන්නෙ. ටයිකෝට් දාගෙන සිටින අය, සුදු අඳින අය අපට හොඳයිම කියන්න බැහැනෙ. ඒත් මිනිස්සු මිම්මක් හදාගෙන බාහිර ස්වරූපයෙන් මනින්න පුරුදු වෙලා ඉන්නෙ. වැදගත්කම මනින්න පුළුවන් වෙන්නෙ එයාගෙ වැදගත්කමින්, උගත්කමින්, හැසිරීමෙන්. අපේ සංස්කෘතියෙන් හෝ කොහෙන් හෝ එන කල්චර්ස් හරි වෙන ප්‍රොබ්ලම් එකක් හරි තියෙනවා. අපි කවුරු කවුරුත් බලන ඇහැ සහ ආකල්ප අනුව තමයි සියල්ල දකින විදිය වෙනස් වෙන්නෙ.
ලංකාවේ අවස්ථා ලැබුණට, ඇයි මරියෝන්ට ප්‍රංශයේ දී අවස්ථා නැත්තෙ රඟපාන්න?
ලංකාවේ දී මට රඟපෑමේ අවස්ථාවට ආරාධනා ලැබුණෙ අහම්බයකින්. රූපවාහිනියෙ ‘‘සිහිනයකි රෑ’’ ප්‍රෝග්‍රෑම් එකට මහේෂ් නිශ්ශංක මහතාගේ ඇරියුම අනුව සහභාගී වුණා. ඒකට මාව හඳුන්වා දුන්නෙ රජීව් සෙබස්තියන් මහතා. එයින් පසුව තමයි ජයනි සේනානායක මහත්මිය මාව දැකලා ‘‘හිතුමතේ ජීවිතේට’’ මාව යෝජනා කළේ. එදා ‘‘සිහිනයකි රෑ’’ ප්‍රෝග්‍රෑම් කට ආවෙ මම ‘‘සිංදු’’ කියන්න. එහෙම ආව මට ලංකාවේ චිත්‍රපට ඉන්ඩස්ට්‍රි එකට එන්න අවස්ථාව ලැබුණා.
සිංහල ගීත ගායනයට හැර?
ප්‍රංශ සහ ඉංග්‍රීසි ගීත ගයන්නත් පුළුවනි. මියුසික් කියන්නෙ විශ්වීය භාෂාවක්නෙ.
‘‘දඩඉමේ’’ චරිතය?
දේදුනු. ඒත් චිත්‍රපටය පුරා ආදරේට මට කියන්නෙ දේදු කියලයි. ‘‘දේදු’’ මොන වගේද කියලා දැක ගන්න මේ ෆිල්ම් එක නරඹන්න එන්න කියලා මම ආරාධනා කරනවා. ‘‘දේදු’’ සහ මා අතර යම්කිසි සමීපතාවයක් තියෙනවා. ‘‘දේදු’’ මියුසික්වලට ආසයි. මාත් එහෙමයි. එයා සමාජශීලී චරිතයක්. මාත් එහෙමයි. ‘‘දේදු’’ ජීවිතේ විවිධ දේට මුහුණ දීලා ඉදිරියට යන කෙනෙක්. මාත් ඒ වගේ තමයි.
සඳුන් ගමගේ