උපන් දිනය වෙනුවෙන් අපේක්ෂා රෝහලට සරණක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නීල අහසේ සැඳෑ වලා
ඇදෙනා යාමේ සිහිලේ ළං වී
ගංඟා තීරේ හිඳිමු තනි වී
ආදර සෙනෙහේ සුවේ මවා
සීත සෙවණේ මුවා වෙලා... 

වැසූ දෙනෙතින් සවන් අයාගෙන අසද්දී ඒ හඬින් පිරිමැදෙන්නේ හදවත්ය. වසර ගණන් ගතව ගිය කතාවක එක මොහොතක් වුවත් එහි සටහන්ව ඇත්තේ ආදරයයි, බලාපොරොත්තුවයි, සැනසිල්ලයි, කිසිදා කිසිම විට සවන් අතරින් ගිලිහී නොයන ඒ ළයාන්විත හඬ අද හදසර ඔස්සේ අපි මෙසේ කියවමු. මනමාල හැන්දෑවට ලහි ලහියෙන් සූදානම් වන අතරේ කීර්ති පැස්කුවල් නම් සොඳුරු ගායන ශිල්පියා, සංගීතවේදියා සමඟ කතාබහකට ''හදසර” ඔබට මට ඉඩක් ලැබී ඇත.

''ගම මහනුවරයි කියලම පටන් ගන්න පුළුවන්. මහනුවර ඒ සුන්දර පරිසරය අදත් හරි සොඳුරු මතකයක්. මහනුවර ධර්මරාජයට තමයි මම එක වසරේ ඉඳන් ඉස්කෝලෙ ගියේ. අම්මා තමයි පුංචි කාලේ මාව ඉස්කෝලේ එක්කන් ගියේ. මම පවුලේ බාලයා. මට අක්කලා තුන් දෙනෙක්, එක් අයියා කෙනෙක් හිටියේ. අම්මා එස්.ඩබ්ලිව්. ලැස්ලින්. ඇය රැකියාවක් කළේ නැහැ. අපිව ආදරයෙන් බලාගත්තා. තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු පී.ඩබ්ලිව්. ගයනේරිස්. අම්මයි තාත්තයි දෙන්නම ඉතාම ආදරණීය සැර වැර නැති අය. නමුත් අම්මාට සාපේක්ෂව තාත්තා ටිකක් සැරයි. පවුලේ බාලයා හින්දම හැමෝගෙම ආදරය මට ලැබුණා. ඒ වගේම මම ටිකක් දඟ ළමයෙක් පොඩි කාලේ. සංගීතයට නම් ඒ කාලේ ඉඳන්ම ගොඩක් කැමතියි. අයියා තමයි මගේ සංගීතයට ඇති කැමැත්ත වැඩි කළේ. පද්මසිරි පැස්කුවල්, ඔහු දක්ෂ වාදකයෙක්.  ''ෆෝචූන්ස්” සංගීත කණ්ඩායමේ ඔහු සිටියා.” 

සංගීතයට අයියාගේ තිබූ කැමැත්ත උනන්දුව මල්ලි තුළ ද ඇතිවන්නට විය. ගුවන් විදුලිය අසන්නටත්, ඇහෙන ගීත ගයන්නටත් කීර්ති කුඩා කල සිටම දැඩි කැමැත්තක් දැක්වීය. සම වයසේ මිතුරු මිතුරියන් ඥාති සොයුරු සොයුරියන් සමඟ ගෙවුණු ඒ අතීතය සැබැවින්ම ඉතා සොඳුරු බවයි ඔහු පවසන්නේ. ඔහු පවුලේ කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ  ''වෙද මහත්තයා” නමින්ය.

''ඉස්සර යාළුවො ටික එකතු වුණාම අපි එක එක සෙල්ලම් කරනවනේ. හන්තානේ අපේ වත්තේ තියෙනවා ගස් වර්ගයක්, තිත්ත කියලා. මේ ගස්වල කොළ හරිම ඝනකම්. ඒවා කඩලා මිරිකුවාම එන යුෂ හරිම තිත්තයි. මම ඒවා පොඩි පොඩි බෝතල්වලට දාලා තියාගෙන ගෙදරට එන අයට දෙනවා. අපි  එක වයසේ කට්ටියක්ම හිටියනේ. යාළුවො, නෑයෝ මේ හැමෝටම මම මේ බෝතල්වලින් එක දෙක දෙනවා, හරියට වෙද මහත්තයෙක් කරනවා වගේම. ඉතින් ඒකෙන් හැමෝම මට වෙද මහත්තයා කියන්නට පටන් ගත්තා. නැත්නම් වෙදා කියනවා. මේ කතාව කොච්චර දුරට ආවද කියනවා නම් මගෙ අයියාගේ දරුවොත් මට කතා කළේ වෙද බාප්පේ ඉතින් කොහොමද කියලා. දැන් ඒක මාව එයාලා ආදරණීයව හඳුන්වන්න යොදන වචනයක් වෙලා, පුරුද්දට ගිහින්. මට වයස අවුරුදු දහයක් වෙද්දී අපේ තාත්තා සදහටම ඇස් පියාගත්තා. තාත්තාගේ ව්‍යාපාර බලාගෙන අපිවත් රුක බලාගෙන ජීවිතය ඉස්සරහට අරන් යන්න අම්මා කැපවෙන විදිය අපි දැක්කා. අම්මගේ සහෝදරයන් ඇයට උදව් කළා. ටික කාලයක් අයියත් මේ ව්‍යාපාර ගැන බැලුවා. නමුත් පසුව ඒ සියල්ල වෙනස්වෙලා අපි කොළඹට ආවා. අපි තනි තනිව එතැන් සිට ජීවිත ගොඩනගා ගත්තා. 1981 දී තමයි අපි කොළඹට ආවේ.''

කීර්තිගේ මුල්ම සංගීත ගුරුවරයා එම්.ජී. පෙරේරා මහතාය.  

''ඔහු මහනුවර ධර්මරාජයේ ප‍්‍රාථමික අංශයේ සංගීත ගුරුවරයා. ඒ වගේම මගේ අයියා පද්මසිරි පැස්කුවල්. ඔහුගෙන් මට කෙලින්ම ඉගෙන ගන්න ඉඩ ලැබුණෙත් නැහැ. මොකද මට ඉස්කෝලෙ වැඩ පාඩුවෙයි කියලා අයියා හිතුවා, ඒකයි. මගෙ අම්මගෙ නංගිගෙ පුතා තමයි බන්දුල රණසිංහ. එයා එක්ක තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.  අයියා එයාට උගන්වනවා. මම එයාගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි පුංචි සංගීත කණ්ඩායමක් හදා ගත්තා. පුහුණුවීම් කරනවා සංගීතයට ඇති කැමැත්ත නිසාම. ඔහොම කාලය ගතවෙලා ගිහින් 1976 දී තමයි ක‍්‍රමවත් විදියට සංගීත කණ්ඩායමක් සමඟින් මම සම්බන්ධ වුණේ. ඒ ''ගැලැක්සීස්” සංගීත කණ්ඩායමට. එය මෙහෙයවූයේ ස්ටැන්ලි පීරිස් මහතා. එහි ස්වර පුවරුව වාදනය කළේ රූකාන්ත ගුණතිලක. ලීඩ් ගිටාරය වාදනය කළේ මහින්ද බණ්ඩාර. මම බේස් ගිටාරය වාදනය කලා. අපි පසුව කොළඹට ආවනේ. ඉතින් එහෙම ඇවිත් කොළඹ තියෙන විවිධ පටිගත කිරීම්වලට සහභාගි වුණා. මම මුලින්ම බේස් ගිටාරය වාදනය කළ ගීතය ග්‍රේෂන්ගේත් (ග්‍රේෂන් ආනන්ද) ඒ පළමු ගීතය. ග්‍රේෂන් ආනන්ද සහ නීලා වික‍්‍රමසිංහ ගැයූ ''ඈත දුරක දෑස  පාවෙලා”  තමයි ඒ ගීතය. ඒ පටිගත කිරීම සිදුවුණේ 1978 දී. ඒ ආරම්භයත් එක්ක ඉන්පසු ගීත දහස් ගණනකට මම බේස් ගිටාරය වයමින් පටිගත කිරීම් සඳහා එක් වුණා. ස්ටැන්ලි පීරිස්, සරත් දහනායක, රෝහණ වීරසිංහ වැනි බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සරල ගීත, චිත‍්‍රපට පසුබිම් ගීත, තේමා ගීත ආදී බොහෝ දේ සඳහා මා සම්බන්ධ වුණා. කැසට් පට, සංයුක්ත තැටි පටිගත කිරීම්වලට එක් වුණා.

වාදකයෙකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයේ බොහෝ දුර එමින් සිටි කීර්ති සතුව අගනා හඬ පෞරුෂයක්ද විය. ඒ හඬ අවදි කරන්නට ඔහුට ඉඩක් ලැබෙනුයේ සංගීතඥ සුනිල් ධර්මසේන නිසාය. ඔහු ''අමිල'' ලේබලය යටතේ කැසට් පටයක් කළේය. අද වන විට ජනප‍්‍රිය ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේම මුල්ම කැසට් ගීතය එම කැසට් පටයට ඇතුළත් විය.  

''මගේ මතකයේ හැටියට සුජාතා අත්තනායකගේත් පළමු කැසට් පට ගීතය ඇතුළත් වුණෙත් එයට. ඊට අමතරව  එඩ්වඩ් ජයකොඩි, නිරංජලා සරෝජනී, රෝහණ සිරිවර්ධන, වර්නන් පෙරේරා ආදී බොහෝ අයගේ පළමු කැසට් ගීතය එම කැසට් පටයෙයි තිබුණේ. කැසට් පට ආව මුල්ම කාලෙනේ. සුනිල් ධර්මසේනයන් කිව්වා, මටත් ගීතයක් ගායනා කරන්න කියලා. ඉතින් මගෙ ගීතය ''හන්තානේ නිල් කඳු වැටි අතරේ” ලිව්වේ මෑතකදී අප අතරින් සමුගත් හේම ශ‍්‍රී ද අල්විස්. මගෙ අයියා පද්මසිරි පැස්කුවල් තමයි ගීතය සංගීතවත් කළේ. එය තමයි මම පටිගත කළ මුල්ම ගීතය. ඉන් පසු මගෙ වාදක කණ්ඩායමේ ශිල්පීන් ඔවුන්ට ඉඩක් ලැබෙන ගොඩක් වෙලාවලදී මා වෙනුවෙන් ගීත නිර්මාණය කළා. එහෙම වසර කීපයක් යද්දී මට ගීත 15 ක් විතර එකතු වුණා. ඒ ගීත එකතු කරලා තමයි මම 1985 දී ''නීල අහසේ” නමින් කැසට් පටයක් නිකුත් කළේ. නීල අහසේ සැඳෑ වළා, රන්තරු පායන, කවිකාරියේ, සිංහල රජ කාලේ නෙවෙයි ආදී ගීත ඊට ඇතුළත් වුණා. රසිකයන් ඒ සියල්ල ඉතා ආදරෙයෙන් වැළඳ ගත්තා. මොකද ඒ වෙද්දී මා ගැයූ ගී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙලා තිබුණ නිසා. ඒ ගීත ගොඩක් අයට මතකයි. ඒත් ඒ කැසට් එක මම ක‍ළේ දුෂ්කරතා ගොඩක් මැද්දේ. මගෙත් බිරිඳගේත් රත්තරන් බඩු උකස් කරලා තමයි මුදල් සොයා ගත්තේ. උදව් කරන්න කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. නාවල කොස්වත්ත ලංකා කැසට් ආයතනය තමයි එය නිකුත් කළේ. මට හිතාගන්න බැරි තරම් පුදුම දෙයක් වුණේ. මම ගිහින් උදව් ඉල්ලලත් ආධුනිකයෙක් නිසා මොකුත් නොකළ අය පෝලිමේ ඇවිත් කැසට් එක අරන් ගියා. වාර්තාගත අලෙවියක් සිදු වුණා.''

ආරම්භය එලෙස වුවත් වර්තමානය එසේ නොවේ. ඔහු දශක ගණනක් පුරා මෙරට ජනප‍්‍රියතම ගායන ශිල්පීන් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. ගායන ශිල්පියෙකු සේම කීර්ති රංගන ශිල්පියෙකු බවට ද පත්විය.  ''චාරුලතා” ඔහු රඟපෑ මුල්ම ටෙලිනාට්‍යයයි. විජය  ධර්ම ශ‍්‍රී අධ්‍යක්ෂණය කළ එහි රන්ජන් රාමනායක, සුසන්තා චන්ද්‍රමාලි, ඔහු හා රංගනයෙන් එක්වූහ. ඉන් පසු සිරිතුංග පෙරේරා අධ්‍යක්ෂණය කළ ''ගව්වෙන් ගව්ව” ටෙලිනාට්‍යයෙන්ද, බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ ''තරු”ටෙලිනාට්‍යයෙන්ද ඔහුගේ රංගනය අපට විඳින්නට හැකි විය. කීර්ති රඟපෑ හතරවැනි ටෙලිනාට්‍ය සුමිත‍්‍රා රාහුබද්ධ අධ්‍යක්ෂණය කළ ''සාරා” ය. එය ඔහු කළේ නවසීලන්තයේ සිටි කාලයේදීය. රන්ජන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ''රතු රෝස” ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ කීර්ති ''මම බය නෑ ශ්‍යාමා” චිත‍්‍රපටයේද සංගීත අධ්‍යක්ෂණය සිදු කළේය.  ''සහරාවේ සිහිනය” ඇතුළු චිත‍්‍රපට හයක පමණ චිත‍්‍රපට පසුබිම් ගායනයටද ඔහු එක් විය.

''මම 2000 දී නවසීලන්තයට ගියා. නැවත ආවේ 2004 දී. මගේ පළමු විවාහය තුළ යම් බිඳීමක් තිබුණා. වසර 03 ක් පමණ අපි වෙන්වෙලා හිටියා. ඔහොම ඉද්දී මම කිව්වා මගේ ජීවිතයට කෙනෙකු අවශ්‍යයි කියලා. එයා ඒකට අවසර දුන්නා. ඒ වෙද්දී අපිට දරුවන් දෙදෙනෙකු සිටියා. දිනේෂා සහ කසුන්. ඉතින් ඒ වෙද්දී කලාව සමඟ ගෙවී යන මගේ ජීවිතයට කෙනෙකු අවශ්‍යයි කියන එක ඇයත් අවබෝධ කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඇය මට අවසර දුන්නා. ඔය කාලෙදී තමයි මට හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකදී චන්දනා හමුවුණේ. මා ඇයට විවාහ යෝජනාවක් කළා. ඇය එකඟ වුණා. 1995 දී අපි විවාහ වුණා. චන්දනාටයි මටයි දූලා දෙන්නෙක් ඉන්නවා. චාරුණී සහ නතාලියා. චාරුණී නීතිඥවරියක්. නතාලියා ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගත්තේ. ළඟදීම විදෙස්ගත වෙයි. අවුරුදු 28 ක් තිස්සේම චන්දනා මාව ආදරයෙන් බලාගන්නවා. මට ලැබුණු උතුම්ම ධනය ඇය. මොකද ඇය මාව හොඳින් තේරුම් ගන්නවා. කලාකරුවෙකුගේ බිරිඳක් වෙනවා කියන්නේ හරි සංකීර්ණ කාරණයක්. තේරුම් ගැනීම එහිදී ගොඩක් වැදගත්. දරුවන්ටත් මම හොඳින් ඉගැන්නුවා. ඒ සියල්ල තමයි කෙනෙකුගෙ ජීවිතයේ සතුට.'' ඔහු පවසයි. 

මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට තිබුණේ ඒකක දෙකයි. වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ මහතා අපිට කතා කළා මේ ඒකක දියුණු කරන්න උදව් වෙන්න කියලා. මීට වසර තුනකට පෙර ලක්ෂ 75 ක් අපි ඒ වෙනුවෙන් ලබා දුන්නා. වසරක් ඇතුළත අපි සියල්ල ආරම්භ කළා. තව ඒකක 06 ක් ඊට එක් කරලා දැන් ඒකක 8 ක්  තිබෙනවා. මේ වෙද්දී පොරොත්තු ලේඛනය ගොඩක් කෙටි වී තිබෙනවා. ඊට තවත් පහසුකම් අවශ්‍යයි. ඒ වෙනුවෙන් "Bone Marrow Transplant Trust" නමින් භාරකාර අරමුදලක් ආරම්භ කිරීම තමයි මෙවර ප‍්‍රසංගයේදී සිදුවන්නේ. වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ, නීතිඥ නිරංගා නානායක්කාර, නෙළුම් ජයවීර, පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, තුවාන් ෆර්සාන්, මාලක මධුශංක කියන අපි සියලු දෙනා මේ කමිටුවේ සිටිනවා. ඊට අමතරව කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවට උදර ආශ‍්‍රිත පිළිකා රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කළා.''

මොනිකා සේරසිංහ