උදය ශ්‍රී ගේ අලුත්ම ගීතය ‘නිධානේ’ නිකුත් වෙයි
තරුණ පරපුර වඩාත් ආදරය කරන යොවුන් ගායන ශිල්පියෙකු ලෙස උදය ශ්‍රී වික්‍රමසිංහ හැඳින්විය හැකිය. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින උදය මේ වසරේදී ගීත කිහිපයක්ම එළිදක්වනු ලැබීය. මීට දින කිහිපයකට පෙර ඔහුගේ අලුත්ම ගීතය එළිදක්වනු ලැබු අතර, ඒ පිළිබඳව අපි ඔහු සමග කළ කතා බහයි මේ..
අලුත් ගීතය ගැන කියමු මුලින්ම?
අලුත් ගීතයේ නම ‘නිධානේ’.මේ ගීතය ලිව්වේ, ගී තනු නිර්මාණය වගේම සංගීතය මේ හැම දෙයක්ම සිදු වුණේ මගේ අතින්. ගීතය ගැන කියනවා නම් මගේ මව්රට ශ්‍රී ලංකාවේ වර්තමානයේ පත්වෙලා තියෙන තත්ත්වය ගැන තමයි මේ ගීතයේ සඳහන් වෙන්නේ.
මේක ඔබේ පළමු දේශාභිමාන ගීතයද?
නැහැ. මීට පෙරත් මම දේශාභිමාන ගීත කිහිපයක් නිකුත් කළා. ‘නිධානේ’ ගීතයට පෙර නිකුත් කළ ‘මාතෘභූමි’ කියන ගීතයත් දේශාභිමාන ගීතයක්. ඒ ගීතය පසුගිය මාස කිහිපයේදී ගොඩක් අය අහන්න ගත්තා ලංකාවේ තිබුණ අරගලයත් එක්ක.
‘නිධානේ’ ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?
මගේ ගීතවලට කෙහොමත් අඩු රසික ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ගීතය නිකුත් කළදා සිට අදටත් ඉහළ රසික ප්‍රතිචර ලැබෙනවා. ගොඩක් අය සමාජ මාධ්‍යයන් හරහා මේ ගීතය බෙදාහැරලා තියෙනවා. ඒ අතර ගොඩක් අය අදටත් මට පෞද්ගලික ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ එවලා සුබපතලා තියෙනවා මේ ගීතයට.
මේ වසරේ ගීත කිහිපයක්ම ඔබ නිකුත් කළා නේද?
ලංකාවෙන් මම එනකොට ගොඩක් ගී නිර්මාණ හදමින් හිටියා. ඒ නිර්මාණත් අරගෙන තමයි මම මෙහෙට ආවේ. ඉතින් ලෝකයත් සාමාන්‍ය අතට හැරිගෙන යන නිසා මම හිතුවා මම ගේනාපු නිර්මාණ එකින් එක මගේ ප්‍රේක්ෂකයන්ට නිකුත් කරන්න ඕන කියලා. ඒ අදහස පෙරදැරි කරගෙන තමයි මම එක ළඟ මෙහෙම ගීත එළිදක්වන්න තිරණය කළේ.
නිකුත් කළ ගීත ගැන මතක් කළොත්?
පළමුවැනි ගීතය ගත්තොත් ශ්වේතාවියේ.. දෙවැනි ගීතය දෑසින් බලා.. මේ ගීත දෙකම එක ළඟ නිකුත් කළේ. ඒ හින්දා ගීත දෙකටම එක හා සමාන ප්‍රතිචාර ලැබෙනවා. තුන්වැනි ගීතය තමයි මීට දින කිහිපයකට පෙර නිකුත් කළ ‘නිධානේ’ කියන ගීතය. මේ ගීත සියල්ලම මගේම අතින් නිර්මාණය වුණ ඒවා. තවත් ගීත කිහිපයක් එළිදක්වන්න මේ වනවිට සූදනම් කරලා තියෙනවා. ඒ ගීත ගැන දිරියට මම කියන්නම්.
බුද්ධික සේනාධීර