ඉස්සර නම් මම ඇත්තටම උයන්න දන්නේ නැහැ. විවාහ වෙන්න කළින් මම උයලා තිබුණේත් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑම කියන්නේ හරියට ලස්සන මතක පොතක් වගේ. අපිට විවිධ රටවල, විවිධ සංස්කෘතීන්ගේ ආහාර රසවිදින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම ඒ දේවල් අපේ මතක පොතට එකතු කරගන්නවා. සමහර වෙලාවට ඒ මතක වලටත් පුළුවන් කෑම වලට වගේම අපේ මූඩ් එක ෆික්ස් කරන්න. ඉතින් අපිට හම්බෙන පුංචිම රසවත් දෙයක් වුණත් අපේ ජිවිත වලට අලුත් බවක් එකතු කරනවා. එවැනි කෑමත් එක්ක එකතුවුණු රස මතක කතා බහකට ජනප්‍රිය රංගන ශිල්පිනී නදුනි කරුණාතිලක මෙවර සදැල්ල අපිත් එක්ක එකතු වුණා.  

නදුනි වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

ගෙදරින් තමයි කෑම කන්න කැමති නම්, වෙලාව සහ තියෙන වැඩ කටයුතු අනුව එළියෙන් කෑම ගන්න අවස්ථා තියෙනවා.

එතකොට කන්න කැමති සහ අකමැති කෑම බීම මොනවද ?

මම ගොඩක්ම කැමති වැඩිපුර කන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති කෑම වලට. ඒ කියන්නේ පොළොස්, කොස්, දෙල් වගේ දේවල් වලට මම හරිම කැමතියි. ඊට අමතරව එළියෙන් එහෙම කෑම ගන්නවනම් මම සුෂී වලට හරිම ආසයි. ජැපනීස් කෑම වලට, ලසන්‍යා වගේ දේවල් වලට කැමතියි. ඊට අමතරව රයිස් ඇන්ඩ් කරී කන්න තමයි කැමති. ඒ කෑම එක එක වෙලාවට තියෙන මූඩ් එක අනුව වෙනස් වෙනවා. ගොඩක්ම බොන්න කැමති බබල් ටී සහ අයිස් ටී වගේ දේවල් තමයි. ඒ අතර අකමැති ඒවත් තියෙනවා. මම බටු උයල කරි එකක් විදියට කන්න කැමති නැහැ. බටු මෝජු කන්න කැමතියි. ඊට අමතරව පතෝල, එළබටු වගේ සමහර ගුණ කෑම කන්නත් පොඩ්ඩක් අකමැතියි.

ප්‍රධාන කෑම වලට අමතරව කන්න කැමති අතුරුපස, පැණිරස කෑම මොනවද ?

මම ගොඩක්ම කැරමල් පුඩින්, වටලප්පන් වගේ අතුරුපස වලට කැමතියි. එක එක වර්ගයේ අයිස් ක්‍රීම් වලට නම් වැඩි කැමැත්තක් නැහැ. ෆෘට් සැලඩ් කන්න කැමතියි. ඒ වගේම පුඩින්, කස්ටඩ් සහ ස්විට්ස් වර්ග වලටත් කැමතියි.

නදුනි කෑම හදනවද ?

ඔව්. ඉඩ ලැබෙන හැම වෙලාවකම වගේ මම කෑම හදනවා. ගොඩක් වෙලාවට චිකන් කරි, පරිප්පු වගේම මට රසට කහබත් හදන්න පුළුවන්. කැරමල් පුඩින්, පොල් ටොෆී,  කිරි ටොෆී වගේ දේවල් හදන්නත් පුළුවන්. වැඩිපුරම රයිස් ඇන්ඩ් කරි හදන්න තමයි පුළුවන්. 

ඉස්සෙල්ලාම කෑම හදන්න ඉගෙනගත්තේ කොයි කාලේ වගේද ?

ඉස්සර නම් මම ඇත්තටම උයන්න දන්නේ නැහැ. විවාහ වෙන්න කළින් මම උයලා තිබුණේත් නැහැ. විවාහ වුණාට පස්සේ තමයි කෑම හදන්න ඉගෙනගත්තේ.  

නදුනි හදන රස කෑම එකක් හදන විදිය කියමුද අපිටත් දැනගන්න ?

මම හදන කහබත් එකක් තියනවා. ඒක හදන්න මුලින්ම හාල් හොදට සෝදලා අරගෙන, වෙනම ලූණු, කරපිංචා, රම්පේ, කරාබුනැටි, කුරුදු, එනසාල් ඔක්කොම ටික භාජනෙකට තෙල් පොඩ්ඩක් දාලා රත් වුණාම ඒ තෙලට අර කුළුබඩු ටික දාලා තෙම්පරාදු කරගන්නවා. ඒකට බත් එක දාලා, බත් එකට කහ පොඩ්ඩක් එකතු කරලා, බටර් දාන්නත් පුළුවන්, කැමති නම් කිරි එකතු කරගන්නත් පුළුවන්. බත් එක ඉදෙනකන් කැමති නම් කජු ටිකක්, මුද්දරප්පලම් ටිකක් ලුණු පොඩ්ඩක් බැදගෙන බත් එක හැදුනම එකතු කරගන්න පුළුවන්. ඒ විදියට තමයි මම කහබත් එක හදාගන්නේ.

ගෙදර විශේෂ අවස්ථා වල මොන වගේ කෑමද හදන්නේ, නදුනි හදන කෑම වලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?

සාමාන්‍යයෙන් ගොඩක් ලොකු පිරිසකට කෑම හදනවා අඩුයි. ගෙදරට කවුරුහරි එනවනම් හෝ මොනවහරි විශේෂ අවස්ථාවක් නම් මම වැඩිපුරම හදන්නේ කහ බත් එක තමයි. හදන කෑම වලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම රසයි කියලා කෑම කනවා. සාමාන්‍යයෙන් මම හදන කෑම කන්න ගොඩක් අය කැමතියි.  

නදුනිට කෑම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

කෑම ගැන කතා කළොත් ලෝකයේ හැම තැනම කෑම වර්ග ගොඩාක් තියෙනවා. එක එක රට වල චයිනීස්, ජැපනීස්, කොරියන් වගේ විවිධ රටවල විවිධ කෑම ට්‍රයි අවුට් කරන්න මම හරිම කැමතියි. ඊට අමතරව එළියෙන් මොන දේ කෑවත් ගෙදර ඇවිත් රයිස් ඇන්ඩ් කරි කනවා තරම් නැහැ. සමහර වෙලාවට ගෙදර ඇවිත් සම්බෝලයි බතුයි කනකොට දැනෙන්නේ වෙනම හැඟීමක්. ඉතින් ඒ විදියට විවිධ කෑම රසවිදින්න මම කැමතියි.  

නදුනි කෑම ගැන වගේම සෞඛ්‍යය ගැනත් හිතනවද ?

ඔව් නමුත් ඒක ටිකක් දැන් මගහැරිලා තියෙනවා. කළින් නම් ජිම් ගියා, ඒත් දැන් යන්නේ නැහැ. කෑම පාලනය කරන්න පොඩ්ඩක් උත්සාහ කරනවා. නමුත් විවිධ කෑම වර්ග ට්‍රයි කරලා බලන්න තියෙන කැමැත්ත නිසා දැන් නම් ටිකක් මහත් වෙලා ඉන්නේ. ඉස්සරහට ඩයට් ප්ලෑන් එකකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.  

කෑමත් එක්ක තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?

ලුණු වැඩි වුණු අවස්ථා තියෙනවා. සමහර වෙලාවට උයපු කෑම එක එහෙම්මම අයින් කරලා ආයෙමත් අලුතින් හදන්න වුණා. ඒ හැරුණම කෑමත් එක්ක ලොකුවට අමතක නොවෙන සිදුවීම් නැහැ.

විදේශ සංචාරයන්වලදී කෑමත් එක්ක තියෙන මතක මොන වගේද ?

එක පාරක් සිංගප්පූරු සංචාරයකට ගිය අවස්ථාවේ ඒ රටේ කෑම වලට මම ගොඩක් කැමති වුණා. එහේ හදන චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා ඒකට සහ අයිස් ටී එකක් තියනවා ඒවාට තමයි මම ගොඩක්ම කැමති වුණේ. ඒ අයිස් ටී එක මම ලංකාවේ හෙව්වා මට තාමත් හම්බුනේ නැහැ. ඒ වගේම මම කොරියන් කෑම කාලා නැහැ. ඒ වගේම අසාවෙන් ඉන්නවා කොරියන් කෑම ජාති කන්න. තව එක එක රටවල කෑම ජාති කාලා බලන්න මම කැමතියි. 

අමා අලහකෝන්