ඉස්කෝලෙදි කරපු ජල්තර් වැඩක් කියලා කළොත් කළේ පීරියඩ් එකක් කට් කරපු එක විතරයි
මෙවර ‘ඉස්කෝල කාලේ’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවන්නේ රටක් වසඟ කරමින් ගායනයෙන් දක්ෂතා දැක්වූ ගායන තරුවක්. ඒ ආදරණීය චරිතය නුවන්ධිකා සේනාරත්න. මම ඉස්කෝලෙ ගියේ මුලින්ම නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයට. ඉන්පසුව නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයට ගියේ.
මට මතකයි මම ඉස්කෝලෙ ගිය පළවෙනි දවස. කවුරුහරි කෙනෙක් ඇන්තූරියම් මල් පොකුරක් දීලා මාව පිළිගත්තා. ඒ දවසෙ යාළුවොත් ගොඩක් හිටියා. එදාට පහුවදා දවසෙ මම ඉස්කෝලෙ ගිහින් ඉස්කෝලෙ ඉවර වෙනකම් අම්මා, තාත්තා හිටියා කියලා මතකයක් තියෙනවා.
එදා මම අඬපු නිසා අම්මලා එතැන හිටියද? මොකද්ද කියන්න හේතුව මට මතක නැහැ. මම කොහොමත් ඒ කාලෙ හරිම නිශ්ශබ්දයි. වැඩි දඟ කළ ළමයෙක් නෙමෙයි.
පුංචි කාලෙ ඉඳලාම ගීත ගායනයට නැඹුරුව තිබුණා. මට මතකයි මම පෙර පාසලේ නර්තනයකට සම්බන්ධ වෙලා හිටියා වෙසක් කැකුලු ගීතයට. ඒ නිසා ඒ ගීතය මට කට පාඩම්. මම ඒ ගීතය දවසක ඉස්කෝලෙදි කියද්දි පන්තිභාර ටීච අහගෙන ඉඳලා නිතරම මට කියලා ගීත ගායනා කරව ගත්තා.
ඒ වගේම මාව ඉස්සරහට ගෙන්නලා ගීත කියවනවා. මට මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා කියලා ඒ කාලෙ ටීචට දැනෙන්න ඇති. නමුත් මම සංගීතයට යොමුවෙන්නෙ 6 වසරෙදි. ඒ යොමුවීමත් එක්ක මම දිගටම සංගීතයත් එක්ක බැඳිලා හිටියා. මගේ ප්‍රියතම විෂය වුණෙත් සංගීතය. 11, 12, 13 වසරවලට වගේ එද්දි මම සංගීතය පැත්තෙන් පාසලේ කැපීපෙනෙන චරිතයක් වුණා.
A/L කාලෙදි සමස්ත ලංකා තරගවලට සම්බන්ධ වුණා. ඒ තුළින් ජයග්‍රහණ ලැබුවා. ඒ හැමදේකදිම පාසලෙන් විදුහල්පතිවරයා ගුරුවරු ඇතුළු මගේ යාළුවොත් ගොඩක් උදව් කළා.
විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ දෙයක් තියෙනවා මම O/L වලින් පස්සෙ A/L වලට විද්‍යා විෂය තෝරාගන්න හැදුවා. ඒ සංගීතය තෝරාගන්නෙ නැතිව. නමුත් මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක්ම එකතුවෙලා මට සංගීතය හදාරන්න කියන දේට මාව යොමු කළා.
ඒ තුළින් දිගු ගමනක් යන්න පුළුවන් කියන දේ තමයි ගුරුවරු මට කිව්වෙ. ඉතින් එදා ඒ මාව යොමු කරපු තැන අද වෙද්දි වරදක් වෙලා නැහැ. ඒ දේ මම අදටත් ඒ ගුරුවරු මුණගැහුනම කියනවා. එදා ඒ යොමු කිරීම ගැනත් මම ඒ ගත්ත තීරණය ගැනත් අද ගොඩක් සතුටු වෙනවා. මොකද මම අද සංගීත අංශයෙන් මෙවැනි ගමනක් ඇවිල්ලා ආදරයක් ලබාගෙන ඉන්නෙ මගේ පාසලේ ගුරුවරු නිසා. ඒ දේ ගැන මම ගොඩක් සතුටු වෙනවා.
ගුරුවරුන්ගෙන් වගේම මගේ ඉස්කෝලෙ අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා, මගේම වයසෙ යහළු යෙහෙළියන්ගෙන් මට හොඳ ප්‍රතිචාර තිබුණා.
විශේෂයෙන්ම කියන්න ඕනෑ මීට අවුරුදු 15 කට පමණ පෙරදි වගේ ඉස්කෝලෙ මාපිය වන්දනාව ගායනා කළේ මම. ඒ පටිගත කරලා ප්ලේ කරපු එක තමයි අදටත් ඉස්කෝලෙ යොදාගෙන තියෙන්නෙ.
ඒක මට ලොකු ආශිර්වාදයක්. ජීවිතේ මට ඒ දේ ලැබුණෙ පෙර පිනකට වගේ. ඒ මම පළමු වතාවටම කරපු රෙකෝඩින් එක. මගේ කටහඬ පටිගත කරලා මේ වන්දනාව පළමුවෙන්ම අහන්න සලස්වපු දවසෙ මට දැනුණ සතුට ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැහැ. අදටත් මම ඒ සතුට විඳිනවා හදවතින්ම.
ඉස්කෝල කාලෙ මට අමතකම නොවන වටිනාම සිදුවීම ඒක තමයි. ඒවත් එක්ක ඉස්කෝලෙ තිබුණු විවිධ උත්සවවල වගේ තේමා ගීත ගායනයට මාව සම්බන්ධ කරගත්තා. තවමත් පාසලේ පැවැත්වෙන විවිධ උත්සවලට එහෙම මට ආරාධනා ලැබෙනවා. ඒක ඇත්තටම ජීවිතේ මම ලබන ලොකුම සතුටක්.
අද සමහර දේවල්වලට ඉස්කෝලෙට යන වෙලාවට ඒ ගෙවුණු සුන්දර අතීතය මතක් වෙනවා. අපේ ඉස්කෝලෙ මිශ්‍ර පාසලක් නිසා ගැහැනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම යාළුවො මට හිටියා.
අපි හැමෝම කන්නෙ බොන්නෙ එකට තමයි. එක බත් මුල කන්න ගොඩක් දෙනෙක් හිටියා. ඉන්ටවල් එකට කවදාවත් කෑම එකක් කෑවෙ නැති තරම්. ඉන්ටවල් දෙන්න කලින් අපි බත් මුල් ටික කාලා ඉවරයි. සමහර බත්මුල් ලිහනවා විතරයි දකින්නෙ.
ඒ දේවල් වගේම ඉස්කෝලෙදි කෙල්ලො කොල්ලො ජෝඩු කරන ඒවටත් මගේ දායකත්වය ලබාදීලා තියෙනවා උපරිමයෙන්ම.
මට මතකයි එක දවසක් මගේ හොඳම යාළුවෙක්ට කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනැවෙලා මම ඒ ගෑනු ළමයාට දෙන්න කියලා දුන්නු චිට් එකක් ගිහින් දුන්නා. ඇත්තටම මම ඒ ගෑනු ළමයාව අඳුරන්නෙවත් නැහැ. ඒ වගේ වැඩ නම් ඕනෑ තරම් කළා.
මටත් ඉතින් ඒ කාලේ පාසල් ප්‍රේමයක් තිබුණා. නමුත් ඒක ඒ කාලෙදිම අවසන් වුණා. මොකද පාසල් ප්‍රේමයට වැඩි ආයුෂත් නැහැ කියනවනෙ.
මගේ ප්‍රේමය A/L ඉවර වෙනකම් වගේ තිබුණා. එතැනින් පස්සෙ අපි ඉස්කෝලෙ ගමන නැවතුණානෙ. ඒ නැතිවීමත් එක්කත් මුණගැහෙන්නෙත් නැහැනෙ. ඉතින් ඒ ප්‍රේමයටත් වුණ දෙයක් නැහැ.
ඒවත් එක්ක ඉස්කෝලෙදි කරපු ජල්තර් වැඩක් කියලා කළොත් කළේ පීරියඩ් එකක් කට් කරපු එක විතරයි. ඒත් මම කට් කළේ ගණිතය පීරියඩ් එක විතරයි.
මම සාමාන්‍යයෙන් අකමැතිම විෂයක් තමයි ගණිතය කියන්නෙ. ගෙදර වැඩ කරන්න දීලා ඒවා කරගෙන ආපු නැති දවසට කළේ ඒ පීරියඩ් එක කට් කරන එක තමයි.
එක දවසක් ගණිතය පීරියඩ් එක කට් කරලා පුස්තකාලෙට ගියා මමයි යාළුවයි දෙන්නම. ඒ ගිහින් ඉද්දි ගණිතය ටීච අනිත් ළමයි ටිකත් එක්ක වැඩකට පුස්තකාලෙට ඇවිල්ලා හිටියා. එදා මමයි යාළුවයි දෙන්නා අතටම අහුවුණා. ඉතින් මුළු පන්තියම ඉස්සරහ එදා හොඳට නෝන්ඩි වුණා. ඒ සිද්ධිය නම් ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.
ඇත්තටම ඒ ගෙවුණු පාසල් ජීවිතේට ආයෙත් යන්න තියෙනවනම් කියලා හිතෙනවා. ඒ තරමට සුන්දර කාලයක් අපේ ජීවිතේට ආයෙත් එන්නෙ නැහැ. අපි හැදුණු තැන. ජීවිතේ මෙතෙක් ආපු ගමනෙ හැමදේම ගොඩනඟාගන්න අපට පාර කැපුවෙ ඉස්කෝලෙ තමයි.
ධනු විජේරත්න