ඉන්දීය සිනමා සංස්කෘතිය කියන්නෙ වෙනස්ම දෙයක්
ලෝ ප්‍රකට සම්මානනීය සිනමා නිර්මාණකරුවකු වන මනිරත්නම්ගේ, “පොන්නියින් සෙල්වන්” චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල ප්‍රදර්ශනය වෙනවා. ඉන්දියාව, මැදපෙරදිග, කැනඩාව, ඇමෙරිකාව ඒ අතරින් මෙම චිත්‍රපටය වැඩි පිරිසක් නරඹන ප්‍රේක්ෂකාගාරයක් සිටින රටවල් ලෙස හඳුන්වන්න පුළුවනි. මෙහි මහින්ද රජු හෙවත් පස්වන මිහිඳු රජු ලෙස ලාංකීය සම්මානනීය රංග ශිල්පියකු වන ශ්‍යාම් ප්‍රනාන්දු දායකව සිටිනවා. රෝජා, බොම්බේ, දිල්සේ ඇතුළු චිත්‍රපට නිසා අපට වඩාත් සමීප චරිතයක් වූ මනිරත්නම් යනු දැනට ලොව සිටින විශිෂ්ටතම සිනමාකරුවෙකි. ඒ හැරත් සිනමාව ජාතියක්, ආගමක්, සංස්කෘතියක් සේ අදහන ඉන්දීය ප්‍රේක්ෂකාගාරයක් සිටින නිර්මාණයකට දායක වීමට ලැබීම එකතකට ශ්‍යාම් ප්‍රනාන්දු ලැබූ ජාත්‍යන්තර ප්‍රවේශයකි. ලෝ ප්‍රකට මනිරත්නම්ගේ “පොන්නියින් සෙල්වන්” චිත්‍රපටයේ එලෙසින් හමුවන ශ්‍යාම් වත්මනෙහි අප රටේ සිටින තාරුණ්‍යයේ නිර්මාණශීලී නිර්මාණකරුවකු වන සංජය නිර්මාල්ගේ “ප්‍රාණ” චිත්‍රපටයේ චරිතයක් සමග ද අප හමුවන මොහොතක මේ කතාබහ ඔහු සමගයි.
ශ්‍යාම් කොහොම ද මේ දිනවල වැඩ කටයුතු?
“ඉදිරියේදී මම නිර්මාණය කිරීමට සූදානම් වන සිනමා නිර්මාණය වෙනුවෙන් එහි පූර්ව සැලසුම් කටයුතු සඳහා මේ දිනවල නියැලී සිටිනවා. ඊට අමතරව බාරගත් ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා. ඒවායෙහි වැඩවලටත් දායක වීමට සූදානම් වෙනවා. ඊටත් අමතරව මේ දිනවල තිරගත වන සංජය නිර්මාල්ගේ ‘ප්‍රාණ’ චිත්‍රපටයේ ලිසාතෝ පියතුමා නමින් චරිතයක් රඟපානවා. එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙනුත්, ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනුත් මේ වැඩ අතරේ අතරින් පතර සම්බන්ධ වෙනවා.”
ශ්‍යාම්, ඔබ වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාවේ සම්මානනීය රංග ශිල්පියෙක්. දැන් අධ්‍යක්ෂණයටත් ප්‍රවේශ වෙලා. ඒ හැර වෙනත් තව අප නොදන්න දක්ෂතා තියෙනවා ද?
“නැහැ, නැහැ. රංගනය සහ ඊට අමතරව අධ්‍යක්ෂණයට යොමු වුණේ මේ කරන්න යන නිර්මාණය එක්කයි.”
අපි කෙළින්ම කතා කරමු. ඉන්දියාව කියන්නෙ විශාල සිනමා සංස්කෘතියක් තියෙන පරිසරයක්. ඒ සිනමා පරිසරය ඔබ දකින්නෙ කොහොම ද?
“ඒ සිනමා සංස්කෘතියම වෙනස්. නිෂ්පාදන අංශයෙන් සංසන්දනය කළොත්, නිර්මාණයක් කිරීමේදී වැය කළ හැකි ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් අපට තියෙනවා. ඉන්දීය සිනමාව ගත්තොත් එරට ජනගහනයට සාපේක්ෂව ලෝකයේ දෙවැනියට විශාලතම සිනමා කර්මාන්තය. ඒ නිසා ඒ කර්මාන්තයට ප්‍රාග්ධනය වැය කරන්න පුළුවනි. ඊට සාපේක්ෂව විශාල ලෙස ලාබ ලබන නිසා. නමුත් නිර්මාණශීලීත්වය පැත්තෙන් කතා කළොත්, නිර්මාණකරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු බොහෝ නිර්මාණශීලී පිරිසක් ඔවුනට සාපේක්ෂව අපටත් සිටිනවා. ඒ හැර ඉතින් ඉන්දීය සිනමා සංස්කෘතිය කියන්නෙ වෙනස්ම දෙයක්. එම කර්මාන්තයෙහි යෙදී සිටින නළු නිළි පිරිස ඇතුළු සියලු දෙනා පිළිගන්නෙ දේවත්වයෙන් වගෙයි. එය රූගත කිරීම්වලදී දර්ශන තලයේදී මා දුටු දෙයක්. ඒක ඉන්දීය සිනමා සංස්කෘතියේ කාලයක් තිස්සේ බැඳී පවතින දෙයක්.”
කොහොම ද පස්වැනි මිහිඳු රජු ලෙස ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයේ රංගනයට එක්වීමට ශ්‍යාම්ට අවස්ථාව ලැබුණෙ?
“මෙම චිත්‍රපටයේ රඟපාන්නෙ ඉන්දීය දමිළ බස කතා කරන සහ ඒ සංස්කෘතියේ සිටින නළු නිළි පිරිසක්. ඊට අමතරව මෙහි කතාවේ හැටියට සිංහල භාෂාව කතා කරන නළුවකු එයාලට අවශ්‍ය වී තිබුණා, සිංහල රජ කෙනකුගේ චරිතයක් නිසා. මනිරත්නම් මහතා ප්‍රසන්න විතානගේ මහතාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ නරඹා තිබූ බව මට කිව්වා. ඒ හරහා තමයි මාව සුදුසුයි කියලා හිතලා තියෙන්නේ.”
කොහොම ද දර්ශන තලයේදී මිනිස්සු ඒ අවස්ථා දැක බලාගන්න එනවා ද? ඒ අත්දැකීම කොහොම ද?
“ඉන්දීය චෝල හමුදාව ඇවිත් ලංකාව ආක්‍රමණය කළ යුද්ධයක දර්ශනයක් තිබුණා. එක් හමුදාවක පන්සියයක් විතර දෙනා ඉන්නවා. ඒ දර්ශන තලය ග්‍රැෆික්කරණය කළ එකක් නෙවෙයි. ස්වාභාවික භූමියක කළ රූගත කිරීමක්. ඉතින් ඒ නිසා ඒ ගමේ බොහෝ පිරිසකුත් මේ අවස්ථාව දැක බලාගන්න ඇවිත් හිටියා. පොන්ඩිචරිවල කලපුවක් ආසන්නයෙහි ග්‍රාමයක ඒ දර්ශන රූගත කළේ. සාමාන්‍ය ජනතාව එයාලා ආසා කරන, එයාලා දේවත්වයෙන් සලකන තරු දැක බලාගැනීමේ ආසාවෙන් අහරක්වත් නොගෙන දවස පුරා ඒ ස්ථානයෙහි රැඳී සිටියා. හැබැයි කිසිම වෙලාවක ඔවුන්ගෙන් රූගත කිරීම්වලට බාධා ආවේ නැහැ. එයාලාට ඒ ගැන හොඳ වැටහීමක් තියෙන්නේ. සිනමාවට තියෙන ආදරය කෙතරම් ද කියලා එයින් පැහැදිලි වන දෙයක්.”
ඉන්දියාවේදී විතර ද මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වුණේ?
“මම මේ චිත්‍රපටයේ සිටින්නේ අවස්ථා දෙකකට විතරයි. මුලින්ම මම පෙනී සිටියේ තායිලන්තයේ රූගත කිරීම් කළ දර්ශනයට. ලංකාව වගේ පරිසරයක් එයාලාට ඕනෑ කරලා තිබුණා. ඒ නිසා තායිලන්තයේ කාංචනබූරි පළාත ඒ වෙනුවට තෝරාගෙන තිබුණා. එක් දර්ශනයක් වුණත් සතියක පමණ කාලයක් මට එහේ සිටීමට සිදු වුණා. ඒ නිසා නිෂ්පාදන කටයුතු වගේම රූගත කිරීම් කෙරෙන හැටිත් මට දැකගන්න පුළුවන් වුණා.
අනෙක් දර්ශනය වෙනුවෙන් හිටියේ ඉන්දියාවේ පොන්ඩිචරිවල. එම දර්ශනය විශාල වූ නිසා, එනම් යුද්ධයක අවස්ථාවක් නිසා මට දින 10ක් විතර එහි රැඳී සිටීමට සිදු වුණා. දකුණු ඉන්දියාවේ පොන්ඩිචරිවල ඒ ප්‍රදේශය අපේ මන්නාරම ප්‍රදේශයට සමානයි.”
මනිරත්නම් සිනමාකරුවාගේ ඔබ මුලින්ම නැරැඹූ චිත්‍රපටය මොකක් ද?
“ ‘නායගන්’. ඉන් පස්සෙ ‘බොම්බේ’ ඇතුළු තවත් චිත්‍රපට නැරැඹුවා.”
ඔහු නරඹලා තියෙන්නේ ඔබ රඟපෑ ‘ඔබ නැතුව ඔබ එක්ක’ විතර ද?
“මම හිතන්නෙ ඒ චිත්‍රපටය විතරක් වෙන්න ඇති.”
මනිරත්නම් නිර්මාණකරුවා ඔබ එක්ක මොන වගේ දේ ගැන ද කතා කළේ?
“මේ චරිතය වෙනුවෙන් මාව තෝරා ගැනීම සඳහා කළ බඳවා ගැනීමේ කුසලතා පරීක්ෂණයේදී තමයි මුලින්ම එතුමා හමු වුණේ. චෙන්නායිවල ඔහුගේ කාර්යාලයේදී අපි හමු වුණාම කතාව සහ පසුබිම ගැන සරලව පැහැදිලි කළා. මොකද ඒ වන විට පිටපත කියවලා හිටියෙ නැති නිසා. ඊට අමතරව කොහොම ද මම රංගන කලාවට ආවේ එහෙම කියලා ඇහුවා. මම ඉතින් මගේ ඉතිහාසය ගැන කෙටියෙන් කිව්වා. කොයි වර්ගයේ චිත්‍රපටවල ද වැඩිපුර රඟපාලා තියෙන්නෙ කියලත් ඇහුවා. එයා නරඹලා තිබුණෙ ‘ඔබ නැතුව ඔබ එක්ක’ විතරක් නිසයි එහෙම ඇහුවේ. මේ දක්වා මම කරලා තිබුණෙ වේදිකාවේ, ටෙලිනාට්‍ය හෝ සිනමාවේ තාත්වික රංගනයට සම්බන්ධ චරිත. මීට පෙර මේ වගේ රජ ආකෘතියේ චරිත කරලා තිබුණෙ නැහැ. තිරගත වන ‘ප්‍රාණ’ චිත්‍රපටයේ චරිතය රඟපෑවෙත් ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයේ රංගනයට පසුවයි.”
වෙන විශේෂයෙන් අහපු දේ මොකක් ද?
“එතුමා අහපු එක් දෙයක් ගැන ඊට පෙර මගෙත් අවධානය යොමු වෙලා තිබුණෙ. ලංකාවේ ඉන්න එකේ දමිළ භාෂාව ඉගෙන ගෙන තිබුණා නම් හොඳයි නේද කියලා එතුමා ඇහුවෙ. ඇත්තටම ඒක කරලා තිබුණා නම් වඩා හොඳයි. මේ විදිහට අපි කතා කළේ 2019 දී මැද භාගයේදී විතර. ඊටත් අමතරව ඉතින් කොහෙද පදිංචිව එහෙම ඉන්නෙ කියලා, ආගිය තොරතුරු මිත්‍රශීලීව කතා කළා. එතුමා දර්ශන තලයේදී සිටිනවාට වඩා ඉන් පිටතදී ඉතාම නිරහංකාර සරල මනුස්සයෙක්. ඒ වගේ වෙලාවලදී කතා කරන්නෙත් හරි හෙමින්. හැබැයි ඉතින් දර්ශන තලයට ගියාම එයා වෙනස්ම චරිතයක්. යුද්ධය රූගත කරන වෙලාවේදී එයා වේගවත් වූ හැටි, කටහඬ අවදි වූ හැටි, නළු නිළියන් සහ කණ්ඩායම උනන්දු කරවමින් ඉතා ක්‍රියාශීලී චරිතයක් විදිහට හිටපු හැටි මට මතකයි. මීට පෙර ඔහු කළ නිර්මාණවල තේමාව ලෙස යොදාගත්තෙ මානුෂීය බව, සංවේදී මිනිස් බව කියැවෙන කතාන්දර. ඒත් මේ චිත්‍රපටයේදී ඔහු කළේ මෙතෙක් නොකළ තේමාවක්. මේක විශාල පිරිසක් දායක කරගෙන කළ නිර්මාණයක්. ඒත් ඔහු නිහතමානීව කිව්වෙ, ‘ද ගේම් ඔෆ් ත්‍රෝන් තරමට බටහිර සටන් ජවනිකා විදිහට අපට කරන්න බැරි වුණත්, එවැනි උත්සාහයක් ගන්නා බව’ කිව්වා. කොලිවුඩ් සිනමාවට ඒ වගේ දැවැන්ත සිනමාවක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක්, එය කෙතරම් දුරට සාර්ථක වේවි ද දන්නෙ නැහැ කියලා කිව්වා.”
මෙහි නිෂ්පාදකවරයා ලාංකිකයෙක් නේද?
“මෙහි නිෂ්පාදනය මනිරත්නම් සහ සුභාෂ්කරන් අලිරාජා. ඔහු ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන කෙනෙක්. මම හිතන්නෙ ද්විත්ව පුරවැසියෙක්. ඔහුගේ ව්‍යාපාර ජාලයට සම්බන්ධ බෙදාහැරීමේ අංශයකුත් ලංකාවේ තියෙන නිසා පසුගිය 30 වැනිදා සිට ලංකාවෙත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉඩ සැලසුණා.”
සඳුන් ගමගේ / ඡායාරූප - සජීව ලක්ෂාන්