ඉදිරියෙදි Youtube වැඩවලට කාලය වැඩිපුර යොදවනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර ගණුදෙනු කරන කෙනෙකුට නම් සුලක්ඛනා කියන චරිතය අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. මොකද ඒ තුළ ඇය එතරම් ජනප්‍රිය චරිතයක් වීම නිසා. නමුත් මේ වන විට ඇය පුංචි තිරය හරහාත් වැඩි ප්‍රේක්‍ෂක ආදරයක්, අවධානයක් දිනාගෙන තියෙනවා. ඒ නිසාම මෙවර සදැල්ලෙන් සුලක්ඛනා හේරත් නම් ඒ චරිතය සමඟින් කතාබහක නිරතවෙන්න හිතුවා. 

සුලක්ඛනා මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වෙලා නේද?

ජනප්‍රිය චරිතයක් කියන්නේ මම රංගනයෙන් සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ දෙකක් මේ දිනවල විකාශය වෙනවා. ඒ ටීවි දෙරණෙ විකාශය වන ‘‘සිකුරු ඇවිත්’’ සහ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘‘උන්මාදිණි’’ නම් නිර්මාණ ද්විත්වය ඉතින් මේ රංගනයන් තුළින් මම හිතුවට වඩා ඉතා ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. 

ඇත්තටම දැන් සිකුරු ඇවිත් ද?

අනේ තවම නම් නැහැ.

එහෙනම් මේ රංගනය ගැන කතා කරමු.

''සිකුරු ඇවිත්’’ තිළිණ බොරළැස්ස අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයක් එහි ‘‘නෙහාරා’’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ. එතකොට මෙහි තිර පිටපත් රචනය බුද්ධික සේමසිංහගෙ. විශේෂයෙන් කියන්න ඕනෑ මීට පෙර මම බුද්ධික අයියා එක්ක නිර්මාණවල වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපි දන්න හඳුනන අය. ඉතින් ඔහු මගේ ගැන දන්නා නිසාම ද කොහෙද මගේ චරිතය ටිකක් ෆන් කරලා ලියන්නේ.
ඇත්තටම මට මේ රංගනය තුළ රඟපාන්න දෙයක් නැති තරම්. මේ මමම තමයි කියලා හිතෙනවා. ඉතින් මේ වෙද්දී හොඳ ප්‍රතිචාරත් ඇත්තටම ලැබෙනවා.

එතකොට ‘උන්මාදිණි’ හි රංගනය?

එහි ඇත්තටම මම වෙනස්ම චරිත රංගනයක් තමයි කරන්නේ. ඒ CID ඔෆිසර් කෙනෙක්ගෙ චරිතයක්. ඒක මට විශේෂ අත්දැකීමක් වුණා. මම කොහොමත් පොලිස් නිලධාරිනියකගේ චරිතයක් කරන්න ලොකු කැමැත්තකින් හිටියේ. ඉතින් ඒ ළගින් යන චරිතයක් තමයි උන්මාදිණිහි මාෂිගෙ චරිතය. ඉතින් මම හරිම ආසාවෙන් මේ රංගනය කරගෙන යන්නේ.

සුලක්ඛනා පුංචි තිරයට අලුත් මුහුණක් ද?

ඇත්තටම නැහැ. මේ මගෙ 5 වෙනි ටෙලිනාට්‍ය රංගන අත්දැකීම. මීට පෙර මම තිලිණ බොරළැස්ස අධ්‍යක්‍ෂවරයාගෙත් චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්‍ෂවරයාගේත් නිර්මාණවලට සම්බන්ධ වෙලා තියනවා. මුලින්ම චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට තමයි සම්බන්ධ වුණේ. ඒ 2016 වසරේ. එතැනින් පසුව තව නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉන් අනතුරුව තමයි සමාජ මාධ්‍යයට එකතු වුණේ.

සමාජ මාධ්‍ය තුළ ඔබ ඇතුළු මිතුරන් කැළ ඉතාම ජනප්‍රියයි නේද?

ඔව් ඇත්තටම සමාජ මාධ්‍යයේ අපිව ගොඩක් අය දන්නෙ කොමඩි චරිත විදියට තමයි ඉතින් අද වෙද්දී කොහේ ගියත් අපි කට්ටියව දැන හඳුනගෙන කතාබහ කරන අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා.

ඉතින් මේ කණ්ඩායම ගැන කතා කරමු ?

අපේ කණ්ඩායම ''Meanwhile in SL'' නමින් තමයි හඳුන්වන්නේ. කණ්ඩායමේ සමාජිකයන් 9 දෙනෙක් ඉන්නවා.
අපි ගොඩක් කාලයක ඉදලම හොඳම යාළුවො. ඒ යාළුකම්වලට දැන් අවුරුදු 10 ක් 15 ක් වගේ වෙනවා. ඇත්තටම අපි හැමෝම එකතු වුණු තැන හිනා සාගරයක්. හැමෝම හරිම විනෝදයෙන් ගත කරන්න තමයි කැමති. අපි කට්ටිය සෙට් වුණේ French ක්ලාස් එකකදී මේ කණ්ඩායමේ ඉන්න දේදුණු, ෆෙරෝ, ඉසුරු, යසස් මුලින්ම යාළුවෝ. ඉන් පසුව තමයි ඒ සෙට් එකට මම, කංචුක, මනුල, කිත්තා, මිංචි කියන අපි ටික එකතු වුණේ. ඒ විදියට එකතුවුණු අපි ඒ සමීප වීමත් එක්ක එකට ට්‍රිප් ගියා කෑමට බීමට එළියට ගියා. එහෙම විනෝදෙන් තමයි කල් ගෙව්වෙ. ඉතින් ඒ එක මොහොතකදී තමයි අපි හිතුවෙ YouTube නාළිකාවක් පටන් ගන්න. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපේ Meanwhile In Sl'' බිහි වුණේ 

මේ වීඩියෝවල වැඩිපුරම හාස්‍යයන් ගැබ්වෙලා තියෙන්නෙ. ඉතින් මේ වීඩියෝ කරද්දී හිනායන අවස්ථා ඇති.

අම්මෝ ඔව් ඕනෑ තරම් අවස්ථා තියෙනවා. සමහර වෙලාවට දෙබස් කියද්දී හිනා යනවා. අපේ කණ්ඩායමේ මනුල රඟපාද්දී තමයි ගොඩක්ම හිනා යන්නෙ. ඉතින් මනුල චරිතය පටන් ගද්දී හරිම අමාරුවෙන් තමයි අපි පිටිපස්සට වෙලා ඒ දේ බලාගෙන ඉන්නෙ. නැත්තම් එතැනින් අයින් වෙනවා. හිනාව නවත්තගන්නම බැරි වුණොත් වීඩියෝ කරන එක පැත්තක කියලා හිනාවෙලා ඉන්න අවස්ථා නැතුවාම නෙමෙයි.

කොහොමත් අපේ YouTube නාළිකාවේ හැමදේම කරගන්නෙත් අපිම තමයි. ඒ කියන්නේ වීඩියෝ කරන ඒවා එඩිට් ලයිටින් මේකප් හැමදේම. ඒවට අපි එළියෙන් වෙනම කණ්ඩායමක් අරගෙන නැහැ. ඒක නිසා වැඩ කරගන්න අපහසුවක් නැහැ. නමුත් දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වීඩියෝවක් කරන්න වෙලාවක් හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ. මොකද අපේ කට්ටිය දැන් විසිරිලා ඉන්නෙ. වෘත්තිමය වශයෙන් විවිධාකාර වැඩ කටයුතුවල කට්ටිය නිරතවෙලානෙ ඉන්නෙ. ඒ නිසා එකතු කරගන්න අමාරුයි.

සුලක්ඛනා වෘත්තීමය වශයෙන් මොකද කරන්නේ?

මම ඇත්තටම වෘත්තිය වශයෙන් රූපවානිනි නිවේදිකාවක් විදියට සේවය කළේ. ඒ චරණ රූපවාහිනියේ. එහි ‘දඩබ්බර හපන්නු' නමින් වැඩසටහනක් කළා. ඒ වැඩසටනනට ඇත්තටම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඒවත් එක්ක රූපවාහිනි නිවේදිකාවක් ලෙස ඉදිරියට යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. නමුත් මගේ ගම නුවර නිසා කොළඹ නුවර ගමනා ගමනයේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම මට කොළඹ ජීවත්වෙන එක ටිකක් අමාරු වැඩක්. ඒ දේශගුණය එක්ක ඉද්දි මම ටිකක් ලෙඩ වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා.

නැත්තම් නුවර දාලා එන්න බැරිකමක් නෙමෙයිනෙ?

එහෙම හේතුවක් නෙමෙයි පෙර සඳහන් කළා වගේ දේශගුණයේ ප්‍රශ්න. කොහොමත් මම කොළඹ නැවතිලා හිටියා. ඒත් වැඩ ඉවර වුණු ගමන්ම නිවාඩුවක් ලැබුණු විගස දුවන්නෙ නුවරට. ගෙදර තරම් සැපක් මට කොහෙවත් නැහැ. ගෙදරට වෙලා නිදහසේ ඒ හුළඟ වැදීගෙන ජීවිතේ ගත කරද්දී එක වෙනම සුන්දරත්වයක්. ඒ නිසා මම ගෙදර ඉදන්ම වැඩ කරන්න පුළුවන් විදියේ දෙයක් තෝර ගන්න තමයි කැමති. ඒ නිසා ඉදිරියෙදී නම් YouTube වැඩවලට කාලය වැඩිපුර යොදවයි. එතකොට මට පුළුවන් ගෙදරටම වෙලා වැඩ කරන්න. 

ධනු විජේරත්න