ඉදිරියටත් ක්රිඒකට් ගහන අතරේ පුහුණුකාරිනියක ලෙස හැදෑරීම මගේ එකම අරමුණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මොහොතක, ඕස්ට්‍රේලියාවට ගිහින් ක්‍රීඩා කරන්නේ අපේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයින් විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගිහිල්ලයි ඉන්නේ. හැබැයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට විතරක්ම නෙවෙයි. ඒ වෙනුවෙන් ඇයට වෙලාවක් නැති තරම්. චමරි මේ විදිහට ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්නෙ, එරට මේ දිනවල පැවැත්වෙන බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙනුයි. එහිදී චමරි නියෝජනය කරන්නේ (මෙල්බර්න් රෙනිගේඩ්ස්) කණ්ඩායමයි. ලෝක කාන්තා ක්‍රිකට් කරළියේ ඉහළින්ම සිටින චරිතයක් වන චමරි එක්ක අපි කතාබහකට එක්වෙමු.

චමරි, ඉතින් කොහොම ද මේ දිනවල ජීවිතේ?

“හොඳින් ගෙවෙනවා. ආසියානු කුසලානය ඉවර වෙලා ලංකාවට ඇවිත් හිටියේ. ඉන් පස්සෙ බිග්බෑෂ් තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ආවා. මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කිරීම අරමුණයි. එහි යාමට පෙර ලැබුණු විවේකය අම්මා එක්ක ඉන්න පුළුවන් වුණා. ඉතින් ඒ වෙනුවෙන් මහගෙදර ඇවිල්ලා හිටියේ. සතුටින් ඒ කාලය ගත කළා.”

කොහොමටත් ක්‍රිකට් තරග නැත්නම් චමරි කරන්නෙ, ගෙදර ඇවිත් වගා කටයුතු කරන එක නේද?

“කොළඹ ගෙදර ඉන්නවාට වඩා මම බොහොම ආස කුරුණෑගල මහගෙදර ඉන්න. අම්මාව බලාගන්න අතරේ වවන වැඩ කරන්න හරි ආසයි. මල් හිටවන්න, එළවළු වගා කරන්න හරි ආසයි. ඒ නිසා අනිවාර්යයෙන් ගෙදර යනවා. ගමේ අය, ඉස්කෝලෙ යාළුවො එක්ක කාලය ගත කරන්න හරි ආසයි. අම්මයි, පවුලෙ අයයි, ගමයි, යාළුවොයි එක්ක තමයි තවමත් මගේ ජීවිතේ. සමහර යාළුවෝ වැඩිදුර ඉගෙන ගන්න විදෙස්ගත වෙලා. ඒත් මෙහි ඉන්න කිහිප දෙනා එක්ක හරි කාලය ගත කිරීම සතුටක්.”

ගමේ මල්ලිලා කිහිප දෙනෙක් ඉන්නවනේ, ඒ අය චමරි ගමේ එනකල් මග බලාගෙන නේද ඉන්නේ?

“ඔව්, අපේ නෑදෑ මල්ලිලා සහ එයාගෙ යාළුවෝ මම ගමේ එනකල් මග බලාගෙන ඉන්නෙ ක්‍රිකට් ගහන්න. සැහැල්ලු පන්දු කියලා වෙනසක් නැහැ, අදටත් ඒ අය එක්ක ක්‍රීඩා කරනවා. ගමේ ආවාම ගමේ කෑම කාලා, ගමේ විදිහට ඉන්න තමයි තවමත් මම ආස.”

චමරි ගමේ ගියාම වැඩියෙන්ම කෑමට ප්‍රිය?

“කැකුළු බත් එක්ක, සම්බෝලය, පරිප්පු, කරවල. ඒ තමයි මගේ ප්‍රියතම ආහාරය.”

උයන්නත් පුළුවන්?

“මට චිකන් කරි එක රසටම හදන්න පුළුවන්. හැබැයි ඉතින් සැරට හදන්නෙ. මම චිකන් කරිය හැදුවාම ගෙදර අනෙක් කවුරුවත් කන්නෙ නැහැ. එච්චරට සැරට හදන්නෙ.”

එතකොට ඉතින් චමරි තමයි චිකන් කරියම කන්නෙ?

“අන්තිමට එහෙම තමයි වෙන්නේ.”

ජීවිතේ හැම දෙයක්ම හොඳින් සිදුවන නිසා දැන් නම් චමරි විවාහ වුණොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

“එක් අවස්ථාවකදී මම හිතුවෙ විවාහ වෙලා, ක්‍රිකට් ක්‍රීඩාවත් කරගෙන ජීවිතය ගෙවන්න පුළුවන් කියලයි. ඒත් ජීවිතේ සමහර අත්දැකීම් එක්ක මම තේරුම් ගත්තෙ, ජීවිතේ මේ දෙකම එකට ගළපා ගන්න අමාරුයි කියලයි. ඒ කියන්නෙ විවාහයයි, ක්‍රිකට් ක්‍රීඩාවයි පටලවා ගත්තොත්, එකකට අසාධාරණයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ෆැමිලි ප්‍රශ්න ඒවි. එක්කෝ ක්‍රිකට් ප්‍රශ්න ඒවි. ඒක තේරුම් ගත්ත නිසා මගේ ජීවිතේ අත්දැකීම් එක්ක තව ටික කාලයකින් මම ඒ ගැන හිතාවි. මොකද අද මම ක්‍රිකට් නිසා සෑහෙන්න කාර්යබහුලයි. වැඩි කාලයක් ලංකාවෙත් නොවෙයි ඉන්නෙ. ලංකාවේ හිටියත් පුහුණු වීම් එක්ක කාර්යබහුලයි. උදේ පාන්දර පුහුණු වීම්වලට ගියාම, හවස ගෙදර එන්නෙ. ඒ වගේ ස්වභාවයකදී බිරිඳ කියන භූමිකාව කරද්දි මට මගේ සහකරුවාට සාධාරණයක් කරන්න බැරි වේවි. ඒ නිසා ක්‍රිකට්වලින් සමුගත් පසු මම මගේ ජීවිතයේ දෙවැනි ගමන, නැත්නම් දෙවැනි ඉනිම පටන්ගන්න බලාපොරොත්තු වෙනවා.”

දැනට ෆස්ට් ඉනින්ග් එක, පළමු ඉනිම හොඳට කිරීම තමයි අරමුණ නේද?

“ඔව්, ඇත්තටම ඔව්.”

මේ ඔක්කෝම ඉවර වෙනකල් එයා බලාගෙන ඉඳීවි ද?

“දැනට කෙනෙක් නැහැ. සමහර තිබුණු ප්‍රේමයන් ගැළපුණෙත් නැහැ. ඒ නිසා දැන් පොඩ්ඩක් නිදහසේ, නිරවුල් හිතින් කටයුතු කරනවා.”

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී ෆයිනල් මැච් එකට තේරුණාම, චමරි ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ග්‍රවුන්ඩ් එකේ දාපු ඔමරි ඩාන්ස් එක ගැන ලෝකෙම කතා කරන්න පටන්ගත්තා. ඒක හිතලම කළ දෙයක් ද?

“ඒ වෙලාවෙ මම ග්‍රවුන්ඩ් එකේ හිටියෙත් නැහැ. අපේ ටීම් එකේ ඉන්න අවුරුදු දහඅටේ, විස්සෙ වගේ පොඩි ළමයි ටික තමයි ඒ නැටුම කළේ. එයාලා මැච් එකක් ඉවර වුණාම සැහැල්ලු වෙන්න ඒ වගේ දේ කරනවා. එදා මැච් එක ඉවර වුණ හැටියෙ මම මාධ්‍ය සාකච්ඡාවට ගියා. මාත් මේ නැටුම දැක්කෙ සමාජ මාධ්‍ය ඔස්සේ. ඒකට වරදක් කියන්න බැහැ. ළමයි පසුගිය කාලයේ හොඳට ක්‍රීඩා කරන්න බැරි වූ නිසා පීඩනයක හිටියෙ. ඉතින් තරග දින්නාම එයාලාට ලොකු සතුටක් දැනෙන්න ඇති. කොහොමටත් නායිකාව ලෙස කණ්ඩායමේ ලාබාල ක්‍රීඩිකාවන්ගෙ මනස සැහැල්ලුවෙන් තැබීම මගේ වගකීමක්. අනෙක අවුරුදු 14කට පස්සෙ තමයි අපි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ෆයිනල් ආවේ.”

මේ අය අතරින් කාට ද හොඳටම නටන්න පුළුවන්?

“කවීෂා දිල්හාරිට. එයාට ඕනෑම ඩාන්ස් එකක් කරන්න පුළුවනි.”

ගායන හැකියාව තියෙන්නෙ?

“අනුෂ්කා සංජීවනීට.”

රංගන හැකියාව තියෙන්නෙ?

“තව කෙනෙක්ව හොඳට අනුකරණය කරලා ඒ විදිහට රඟපාලා පෙන්වීමට නිලක්ෂිට හොඳ හැකියාවක් තියෙන්නෙ.”

මාලිංග වගේ බෝල් කරන අචිනි ගැන කිව්වොත්?

“එයා හරියට හිතන කෙනෙක්. සමහර වෙලාවට හිතනවා වැඩියි. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා. එයාට පැවැරිලා තියෙන වගකීම ගැන ඕනෑවටත් වඩා හිතන කෙනෙක්. එයාගෙ සාර්ථකත්වයේ රහසත් ඒ කැපවීමයි.”

චමරි ක්‍රිකට් හැර වෙන මොනවට ද ආස?

“මට නම් රඟපාන්න, ගයන්න හෝ නටන්න බැහැ. මට පිහිටලා තියෙන්නෙ ක්‍රිකට්ම තමයි. ගීත අහන්න හරිම ආසයි. යන එන වෙලාවලදී වගේම නිදහස ලැබෙන අවස්ථාවලදී වගේම ගුවන් ගමන් යද්දී ගීත අහනවා.

කාගේ ගීත ද වැඩිපුර අහන්නෙ?

“පරණ ගීත අහන්න හරිම ආසයි. විශේෂයෙන්ම කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත අහන්න ආසයි.”

චමරි අහන්න කැමැති දිවුල්ගනේ මහතාගේ ප්‍රියතම ගීතය?

“අන්දර යායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චී. ඒ ගීතය පුරුද්දක් ලෙස මම අහන ගීතයක්. ඒ වගේම ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ගීතයටත් හරිම ආසයි.”

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් දවසට චමරි මොන වගේ දෙයක් කරන්න ද හිතාගෙන ඉන්නෙ?

“ටික කාලයක් ඕස්ට්‍රේලියාවට ගිහින් ඉගෙන ගන්න ආසයි. මේ වන විට ක්‍රිකට් පුහුණුකාරියක ලෙස ලෙවල් 1, ලෙවල් 2 කරලා තියෙන්නෙ. තව ඉදිරියටත් ක්‍රිකට් ගහන අතරේ පුහුණුකාරිනියක ලෙස හැදෑරීම මගේ එකම අරමුණයි. ඉන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මගේ සේවය ලබාදීම බලාපොරොත්තුවයි.”

චමරි වැඩියෙන්ම සංචාරය කරන්න කැමැතිම රට මොකක් ද?

“එංගලන්තයේ, යෝක් (යෝර්ක්ෂයර්) ප්‍රාන්තයට හරිම ආසයි. අවුරුදු 3ක් විතර යෝර්ක්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළා. දැනටත් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් අතරින් මිතුරියන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ප්‍රාන්ත ක්‍රිකට් අත්දැකීමත් යෝර්ක්ෂයර්. ඉතින් හැමදාටම ඒකට ආදරෙයි.”

සඳුන් ගමගේ