ඉතින් ආයුබෝවන් ධර් ශන් ධර් මරාජ්- හදිසියේම යන්න ගිය සිංහල සිනමාවේ දමිළ රජ සලකුණ ඩී.ඩී.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඒ 2021 මාර්තු පස්වැනිදාය. ආදරණීය දර්ශන්... ඒ දවස ඔබට මතකදැයි අසන්නට ඔබ අද නැත. ඒ මා ඔබ පෞද්ගලිකව හඳුනාගත් පළමු දවසයි. අරුණ ජයවර්ධනගේ මාරියා සිනමාපටයේ මුහුරත් උළෙල දා කොළඹ සීනෝර් රෙස්ටුරන්ට්හිදී ඔබේ හමුවීම මට සුවිශේෂී වූයේ ලාංකික සිනමාවේ එදා මෙදාතුර මගේ ප්‍රියතම රංගධරයා දර්ශන් ධර්මරාජ් වීම නිසාමය. 

රඟපෑම යන වචනයම අතිශයෝක්තියක් ලෙස විශ්වාස කරන මම රංගධරයකු නිර්වචනය කරන්නේ චරිතයකට ආවේශ වී ඒ තුළ හුස්ම ගන්නා බව දැනෙන මොහොත එළඹි කල්හිය. එවන් විශිෂ්ටයකු ලෙස මා හඳුනාගත් ඉන්දීය සිනමාවේ ඉර්ෆාන් ඛාන් වැළඳී තිබූ පිළිකා රෝගය හේතුවෙන් මියගිය පුවත ඇසූ මොහොතේ මගේ දෑසට නිරායාස කඳුළක් ආවේය. අදටත් රංගනය තුළ මා දකින විශිෂ්ටතමයා ඉර්ෆාන්ය. ඉර්ෆාන්ට පසු මා දුටු විශිෂ්ටයා දර්ශන්ය. රංගධරයකුගේ නික්ම යාම වෙනුවෙන් මගේ දෑසට නැගුණ දෙවැනි කඳුළ ගෙන ආවේ දර්ශන්ය. දර්ශන් දර්ශන් ලෙස යළි නොඑන්නට නික්ම ගිය වග විශ්වාස කරන්නට ඇත්තටම මම ප්‍රමාද වුණෙමි. නියත දහම එය වුවත් මෙතරම් ඉක්මන් සමුගැනීමක් කිසිසේත් බලාපොරොත්තු නොවුණ බව සැබැවි.

එදා සීනෝර් රෙස්ටුරන්ට්හිදී හදසර කලා අතිරේකයේ මුල් පිටුවේ ඡායාරූපයක් වෙනුවෙන් වෙලාවක් ඔබෙන් ඉල්ලූ මොහොතේ ඔබ ගෙන ආවේ අපූරු යෝජනාවකි.

"ඔයාලට පුළුවන් නම් යමු අපේ ගමේ... මගේ පවුලේ අය ගැනත් ලියලා අපි එහෙදි ෆොටෝ ටිකත් ගමු. ඔයාලගේ වාහනෙම මමත් යන්න එන්නම්. කවදාවත් එයාලා ගැන කවුරුත් ලියලා නෑ. මගේ වයිෆ් මට මෙතෙන්ට එන්න හුඟාක් උදව් කළා. එයා මට කීවේ ගෙදර වැඩ වගකීම් හැම එකකින්ම මම ඔයාව නිදහස් කරන්නම්. ඒවා ගැන මම බලාගන්නම්. ඔයා ඔයාගේ ගමන යන්න කියලා... එයා ගුරුවරියක්. අපි ඉස්සරෝම හඳුනා ගනිද්දි මම නාටාමි රස්සාව කරනවා කීවමත් එයා කීවේ කමක් නෑ, හොරකමක් වංචාවක් නොකර ඒ කරන්නේ රස්සාවක්නේ කියලා. ආසයි එයා ගැනත් ලියනවා නම් ඒ හින්දා." 

දර්ශන් එදා හෘදයාංගම විවෘත බවකින්, සුහදශීලී මිත්‍රත්වයකින් ඔහු එතෙක් ආ ගමන ගැන බොහෝ දෑ අප හා කතාබහ කළේය. 

"කොළඹ ඇවිත් මාර කට්ටක් කෑවා. නාටාමි රස්සාවෙන් ගන්න සල්ලි ටික ඉතුරු කර ගන්න ඕනෑ හින්දා රෑට ආනමාළු කෙසෙල් ගෙඩියයි මාරි බිස්කට් පැකට් එකයි අරන් කෑවේ හුඟාක් වෙලාවට. ආනමාළු ගෙඩිය රුපියල් හයයි. ඕක කාලා ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළට රිංගලා තමා නිදාගත්තේ, පොලිතින් මීටරයක් කාඩ්බෝඩ් පෙට්ටියේ දාගෙන. මොකද වැස්සොත් කියලා.

මොන දුක වින්ඳත් රඟපාන්න තිබුණු ආසාව නැතිකර ගත්තෙ නෑ. රුපියල් දොළහකට පොඩි කණ්ණාඩියක් අරගෙන මම කළේ ඒක දිහා බලාගෙන තනියම මොනවා හරි දෙබස් කිය කියා රඟපාන එක. මාර සිද්ධියක් වුණා අප්පා. හරියට බොන නාටාමි කෙනෙක් හිටියා. එයාට අක්මාවේ සැත්කමක් කරන්න වුණා. වැඩේ කියන්නේ අපේ නංගිටත් අක්මාවේ සැත්කමක් කරන්න වෙලා තිබුණේ. දවසක් හෙණ අසරණවෙලා ඔය නාටාමි මගේ ළඟට ඇවිත් කීවා, උඹ ළඟ සල්ලි තියෙනවා නම් මට කීයක් හරි දෙන්න පුළුවන්ද සැත්කම කරන්න සල්ලි මදිවෙලා ඉන්නෙ කියලා. රුපියල් නවදහස් හාරසිය හැටක් නාටාමි රස්සාවෙන් ඒ වෙද්දි මම ඉතුරු කරගෙන තිබුණා. හිත උණු වෙච්ච පාර නංගිගේ සැත්කමට දෙන්න තිබුණු මුදල මම ඒ මිනිහට දුන්නා. දැන් ඒ මිනිහා පිටකොටුවෙ පළමු හරස් වීදියෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. රෙදි බිස්නස් එකක් කරන්නේ. මිනිහගේ කඩේ බුදු රූප දේව රූප නෑ. මගේ රූපයක් තියෙන්නේ. රෙදි ගන්න ගියාම මගෙන් සල්ලි ගන්නෙත් නෑ.

දවසක් සිරසෙ දැන්වීමක් ගියා ඒ නවය චිත්‍රපටයට නවක නළු නිළියන් සඳහා සම්මුඛ පරික්ෂණයක් පවත්වනවා කියලා. මමත් ගියා. 108 ක් ඇවිත් හිටියා. මගෙන් ඇහුවා අඩි විස්සක ගොඩනැගිල්ලක ඉඳන් බිමට පනින්න පුළුවන්ද කියලා. මම කීවා තැන පෙන්වන්න මම පනින්නම් කියලා. මාව එදා තෝරාගත්තේ සිඩ්නි චන්ද්‍රසේකර. දර්ශන් ඔයා ලංකාවේ හොඳ නළුවෙක් වෙයි කියලා එදා සිඩ්නි චන්ද්‍රසේකර කීවා. නාටාමි රස්සාවෙන් ඉවත් වුණේ ඒ නවයේ රඟපාන්න ලැබුණම." ඒ එදා දර්ශන් වචන ලෙස මුදාහල ඔහුගේ අතීතයයි.

දර්ශන්ගේ මා දකින අපූරු භාව ප්‍රකාශන, ඉසියුම් ලෙස මුදාහරින රංගන හැඩතල පිළිබඳව මා ඔහු හා කතා කරද්දි ඔහු ඒ ඇගයීම පිළිගත්තේ මහත් ගෞරවයකිනි. "ඔයා කියන්නේ මට හුඟාක් ඉන්නේ සිංහල ෆෑන්ස්ලා තමයි." දෑස යන්තමින් තෙත් වූ සංවේදීත්වයකින් ඔහු ඒ ඇගයීමට වචනයෙන් ගෞරවය එක් කළේ එහෙමය.

රත්තරන් පාට හදවතක් තිබූ කළුම කළු දැවැන්තයා, ළය ලෙය දෙදරවාගෙන රංගධරයකුගේ භූමිකාවට ආවේශ වන කළුම කළු නළුවා, කවුරු කතා කළත්, හිනාවුණත්, 'මචං' ලීලාවෙන් කාට වුණත් කතා කරන, හිනාවෙන, පොළොවේ පය ගහලා ජීවත් වෙච්ච සුන්දර මනුස්සයා..

මම ඈත ගමේ ඉඳන් කොළඹ ඇවිත් ඉස්සරලම කළේ නාටාමි රස්සාව. නාටාමියෙක් විදිහට මුට්ට කරගහපු මට මේ ජීවිතේ මොන බරක්ද? ඒ වචන අතීතය සිහිපත් කරන හැම මොහොතකම කියපු ඒ කටුක අතීතයටත් ආදරය කළ, ඒ කටු යාය එක් යුගයකදී මලින් අස්වද්දපු ධෛර්යවන්ත දැවැන්තයා..

එහෙත් ඒ සියල්ල මැද...

තමන්ව පරිස්සම් කරගත යුතු උපරිමයෙන් පරිස්සම් කර නොගත්, තමන්ගේ වටිනාකම හරියටම හඳුනා නොගත් 'හිතුවක්කාරයා'... මා දර්ශන්ව දකින්නේ ඒ සියල්ල තුළය.

මාරියා සිනමාපටයේ රූගත කිරීම් සමඟම ඔහුගේ කාර්යබහුලත්වය ඔහු කළ යෝජනාවට අනුව ඔහුගේ ගමේ යාම ගමන අපට මඟහැරෙව්වත් ඒ මිත්‍රත්වය එලෙසම පැවතියේය. 2019 සැප්තැම්බර් 05 වැනිදා, ජීවා චිත්‍රපටයේ මුහුරත් උළෙල දා අපේ ඡායාරූප ශිල්පී සුමුදු සෙල්ෆියක් ගමුදැයි දර්ශන්ගෙන් විමසද්දී "ආ වරෙන් මචං" යැයි අඬගසමින් කින්ග්ස්බරි හෝටලයේ කොරිඩෝවක් ළඟදී දර්ශන් එක් සෙල්ෆියට සෙල්ෆි හතරක්ම ගැසූ මතකය මා මේ සටහන ලියන මොහොතේ සුමුදු සිහිපත් කළත් එදා දර්ශන් මට මඟහැරී තිබුණි. ඒ මිත්‍රශීලීත්වය ඔහු මවාගත් එකක් නොවේ. නිරායාසයෙන්ම හදවතේ වාං දමමින් මතුවන්නකි.

දර්ශන් ධර්මරාජ් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීණයෙකි. රංගධරයෙකි. කලාව ලෙයට හදවතට හුස්මට සම්මිශ්‍රණය කර ඒ හා හුස්ම ගත් එකෙකි. එවන් රංගධරයන් බිහිවීමේ අති විරල සම්භාවිතාව තුළ දර්ශන්ගේ නික්ම යාම යනු නිරායාස රික්තකයකි. මහා හිස්තැනකි. දර්ශන් ධර්මරාජ් යනු දර්ශන් ධර්මරාජ්මය. අතීතයේ සිටි ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අද සිටින ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, බිමල් ජයකොඩි, ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රබල රංගධරයන් සිංහල සිනමාව තුළ සිටියද දර්ශන් යනු ලාංකික සිනමාවේ රංගනය යන වපසරිය තුළ මා දුටු වෙනම සුවිශේෂත්වයකි. ගසන ඇස් පිහාටුවක පවා ඉසියුම් භාව කැටි කරන්නට තරම් ඒ රංගධරයාගේ රංගන කෞෂල්‍ය අසමසම විය. දර්ශන්ගේ කඩවසම් බව රැඳී තිබුණේ ඒ සමස්තයේ කැඩපත තුළය.

ඉනි අවන්, සරෝජා, මචං, ප්‍රභාකරන්, සුනාමි, ඇඩ්‍රස් නෑ, කබඩි වැනි සිනමා නිර්මාණ දර්ශන්ගේ රංගන ප්‍රතිභාවේ ගැඹුර කොතරම්ද යන්න උදෙසා සපයන සාක්ෂි අනල්පය. ඉස්කෝලෙ යන කාලයේ වේදිකා නාට්‍යයෙන් පටන්ගත් ගමන සිනමාව ටෙලිනාට්‍ය ඔස්සේ මේ තරම් දුර රැගෙන එන්නට රක්වානේ සිට කොළඹට පැමිණ ගිනි ගහන කොළඹ ඉවසිය නොහැකි ගිනියම මැද අවුරුදු දෙකහමාරක් නාටාමි රස්සාව කරමින් මුට්ට කරගැසූ ඒ දැවැන්තයා අවුරුදු 41 කින් ජීවන සුවිසැරිය නිමා කර මෙතරම් හදිස්සියේ නික්ම ගිය වග විශ්වාස කරන්නට තවමත් සිත ඉඩ නොදෙයි.

"එල්.ටී.ටී.ඊ. කාලේ රටේ ප්‍රශ්නනේ. මගෙන් පොලීසියේ හමුදාවේ අය ටැමිල්ද අහද්දි මම කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඊට පස්සේ තමයි මම අයිඩින්ටිය දෙන්නේ.." දර්ශන් හැමදාමත් තමා හඳුන්වා දුන්නේ දමිළයකු ලෙස නොව ශ්‍රී ලාංකිකයකු ලෙසය. සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් පංගු පේරුවකින් වියුක්ත ශ්‍රී ලාංකික සංකල්පය ඔහුගේ සියලු භාවිතයන් තුළ මැනවින් විද්‍යමාන විය.
'නිරා අපිට ආදරේ කළේ සිංහල මිනිස්සු' දර්ශන් අන්තිමට එහෙම කීවේ. සිංහල සිනමාවේ රජෙක් වගේ හිටපු එකම දෙමළ නළුවා එයා." දර්ශන්ගේ ගමන් සගයෙකු වූ නිරංජනී ශන්මුගරාජා නොහැරවෙන නින්දකට සමවැදුන දර්ශන්ගේ නිහඬ වත ඉදිරිපිට එදා හඬා වැටුණේ ඒ වචන වාවාගත නොහැකි වේදනාවකින් මුදාහරිමිනි.

 

දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද මොහොතේ දර්ශන් සම්මානය රැගෙන "ඔයගොල්ලො නැත්නම් මම නෑ" කියමින් පොළොව ඉම්බේය. ඒ කිසිවක් රඟපෑම් නොවේ. ඒ ඔහුගේ පපුව පලාගෙන එන නිර්ව්‍යාජත්වය බව දර්ශන් හඳුනන්නෝ දනිති. ඔක්තෝබර් 6 වැනිදා ප්‍රාණ සිනමා රූපකාරයේ මාධ්‍ය දැක්ම සඳහා ලද ඇරයුම්පත දර්ශන් මේ ලෙස ඔබ ගැන ලියද්දී මා සන්තකයේය. ඔබ නැතුව ඔබ බලන්නට ඉදින් අප යා යුතුය. සොබාදහමේ නීතිය කැමැත්ත සහ විනිශ්චයන් වරෙක මෙතරම් නපුරු වන්නේ ඇයි දැයි කියන්නට මම තවමත් නොදනිමි.

"ඊයේ උදේ 11ට ෂොප් එකට ඇවිල්ලා, ඉදා බීපං කියලා ඇන්කර් සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකකුත් දීලා, කෝමද බං ශේප්ද? කියලා අහලා වීරකේසරී පත්තරේත් අරගෙන, මොනවා හරි තිබ්බොත් මගේ ෆෝන් එක වැඩ කළේ නැත්නම් වයිෆ්ගේ වට්ස්අප් එකට දාපන්, සඳුදා එන්නං බොක්ක කියලා බඩටත් තට්ටුවක් දාලා ගියපු දර්ශන්, පාන්දරම නැතිවෙලා කියලා මහ ඉස්පිරිතාලෙන් පණිවිඩය ආවා.."

"මචං කියන්න පුළුවන් ජාතියේ මට හිටිය එකම නළුවා
ඇයි බං මේ
උඹ ඉඳලා මම ගියා නම් අවුලක් නෑ
මම වගේද දර්ශන් උඹ
රටක් වටින, ලෝකයක් ආදරේ කරන කෙනෙක්නේ...
පට්ට දුකයි
ආයෙත් දර්ශන් එන්නෙ නෑ කියලා මතක් වෙනකොට.."
පුවත්පත් අලෙවි නියෝජිත රුවන් මල්ලිකාආරච්චි මුහුණුපොතේ සංවේදී සටහනක් තබා තිබුණේ ඒ අයුරිනි.
ඉතින් කියන්නට දෙයක් මිස
අසන්නට කිසිත් නැත..

දර්ශන්... ආවොත් යා යුතුම බව දනිමි.
එහෙයින්ම රිදුණු සිත් දරාගෙන අපි ඔබට සමුදෙන්නම්.
සමහරවිට ආයෙත් සංසාර ගමන් මඟ අපි මුණගැසේවි...

දර්ශන්.. වන්දාල් පෝහවේන්ඩුම් එන්බදු තෙරියුම්. එනවේ උඩයින්දු පෝන උල්ලත්තින් වලියුඩන් විඩෛපෙරුහිරේන්.
සිලවේලෛ වාල්කෛ පයනත්තිල් නාම් 
මීන්ඩුම් සන්දික්කක්කූඩුම්

එතෙක්... මතකය කෙතරම් සොඳුරුද හිතවත

මොකද්ද කියන්නෙ කියලා හිතාගන්න බෑ. විශ්වාස කරනවා දර්ශන් අපි අතර නෑ කියලා. අපි කියන්නේ ඩී.ඩී. කියලා. හිතාගන්න බැරි ගතිගුණ තිබුණ මනුස්සයෙක්. වැඩක් කරන්න ගියාම දෙන කැපවීම මාරයි. රංගනයේදී ඔහු විවිධ හැඩතලවලට යනවා. ඒ හැඩය හැමවිටම අලුත්. එහෙම වෙන කෙනෙක් තවම නම් පේන තෙක් මානයක නෑ.

- මහේන්ද්‍ර පෙරේරා

වචනවලට පෙරළන්න බැරි තරම් සංවේදී මොහොතක්. වසර 20කට අධික කාලයක් මාත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කරපු ආදරණීය ගමන් සඟයෙක් අයින්වෙලා යනවා. අපි හැමදේම කතා කළා. බැරිවෙච්චි දෙයක් තියෙනවා නම් ඊළඟ ආත්මේ හම්බවෙලා කතා කරමු.

- බිමල් ජයකොඩි

කතා කර කර ඉඳලා කියන්නෙ නැතුව අපිව දාලා යන්නෙ කොහොමද අන්නා

- සුජානි මේනකා

දර්ශන්ගේ මල්ලි දර්ශන් වගේමයි. මම ඔහුට කීවා අනිවාර් යෙන් රඟපාන්න එන්න කියලා. දර්ශන්ගේ ජාන සීයට පනහක් හරි ඔහුටත් ඇති. මට හරි දුකක් තියෙනවා, මට දර්ශන්ගේ හරි පින්තූරයක් ගන්න බැරිවුණා. දර්ශන් ගියේ ඉක්මන් ගමනක්. මොනවා කරන්නද?

- දයාන් විතාරණ

දර්ශන් අන්තිමට කීව කතාවක් තිබුණා. නිරා.. අපිට ආදරේ කළේ සිංහල මිනිස්සු කීවා. සිංහල සිනමාවේ රජෙක් වගේ හිටපු එකම දෙමළ නළුවා. මට දරාගන්න බෑ මේක.

- නිරංජනී ශන්මුගරාජා

ලේසියෙන් පුරවන්න පුළුවන් හිස්තැනක් නොවෙයි ඉතුරු කරලා ගියේ.

- සංගීතා වීරරත්න

සම කළ නොහැකි රංගන ශිල්පියෙක් දර්ශන් කියන්නේ. හරිම සංවේදී, මිනිස්සුන්ට ආදරේ කරපු පුද්ගලයෙක්. මගේ ජීවිතයේදි මට හම්බවුණු, මාව රුකපු, මාව ආරක්ෂා කරපු කෙනෙක්. දර්ශන තලයේදි නූල්පොටක්වත් අනතුරක් නොවෙන්න අපිව ආරක්ෂා කළා. අයියේ බෙහෙත් ටික වෙලාවට ගන්න, පරිස්සමින් ඉන්න කියලා මට කියපු මල්ලි අද මාව දාලා ගිහිල්ලා.


- රිචඩ් මානමුදලි

I සංජීවිකා සමරතුංග
I සේයාරූ- සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්