ඉඩක් ලැබුණු ගමන් දුවන්නෙ ගමට - ‘ආශාවරී’ චිත්‍රපටයේ කල්පනා සුබ්‍රමනියම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලස්සන පෙනුම වගේම ලස්සන අදහස් ඇති ශිල්පිනියක ලෙස මේ ලස්සන රුවි ලක්මාලි හේරත් නම් කරන්න පුළුවනි. රුවි අපට මේ දිනවල හමුවන්නෙ තේජා ඉද්දමල්ගොඩ නිර්මාණය කළ ‘ආශාවරී’ චිත්‍රපටයේ කල්පනා සුබ්‍රමනියම් ලෙසයි. ලස්සන ආදර කතාවක් රැගත් ‘ආශාවරී’ කාගේත් ආදරය ලබමින් තිරගත වෙන මොහොතක ‘රුවි’ ලස්සන කතා බහකට අප සමග එක්වුණේ මේ විදියටයි.

රුවි කියන්නේ?

රුවන්, හෙවත් මැණික්වලට. ඒ වගේම ලස්සනටත් රුවි කියලා කියනවනෙ.

අපිත් රුවි කියන්නද?

ඔව් එහෙම හොඳයි. ගොඩක් අය මාව දන්නෙ රුවි කියලයි.

රුවි ගැන විස්තරයක් කරමු?

මගේ ගම බණ්ඩාරවෙල. ඉගෙන ගත්තෙ බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි.

තවමත් පදිංචිය බණ්ඩාරවෙල ද?

මම මේ වනවිට විවාහකයි. විවාහ වුණාට පස්සෙ පදිංචිය කොළඹ.

රුවිගෙ ගම ලස්සනයිනෙ. ඒ ගැන කොහොමද විස්තර කරන්නේ?

ඉඩක් ලැබුණු හැටියෙ දුවන්නෙ එහේ. හරි ලස්සන පළාතක්නෙ. අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි තවම ඉන්නෙ එහේ. අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. අයියලා දෙන්නත් ව්‍යාපාරවලට සම්බන්ධයි.

පාසල් සමයේ මතකයන් මොන වගේද?

පාසලේ මම කැපී පෙනෙන චරිතයක් වුණා. කලා කටයුතුවලට එහෙම නිරන්තරයෙන් දායකවීම ඒකට හේතුවයි. ඉගෙන ගැනීමත් හොඳට කළා. මගේ අරමුණ වුණේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්නයි. ඒ හීනය සැබෑ වෙලා නර්තන ගුරුවරියක ලෙස වසර හතරක් විතර පෞද්ගලික පාසලක සේවය කළා.

වතාවක් අවුරුදු කුමරිය ලෙස තේරුණා නේද?

අවුරුදු කුමරිය නෙවෙයි 2012දී ඌව පළාතේ සිරිකත කුමරිය ලෙස තේරුණා. ඒකෙ ප්‍රථම ස්ථානය දිනා ගත්තාට පසුව තමයි මට ෆොටෝ ෂූට් ඇතුළු බොහෝ අවස්ථාවලට ආරාධනා ලැබුණෙ. ඒ දිනවල මම ඒ වගේ තරගවලට ගිහින් තිබුණෙ නැහැ. හරිම ලැජ්ජාශිලී චරිතයක්. එදා අම්මා එක්ක මම ගිහින් හිටියෙ ඒ වැඩසටහන බලන්න. ඒ වෙලාවෙ, එම අවස්ථාවට නිවේදනයෙන් සහභාගි වෙලා හිටපු රසාදරී පීරිස් අක්කා තමයි මගේ ළඟට ඇවිත්, කිව්වෙ ඇයි ඔයා යන්නෙ නැත්තේ ඔයා තමයි මෙතැන යන්න ඕනෑ කෙනා කියලා. ඒ වනවිටත් ලස්සනට හැඩ වෙච්ච ගැහැණු ළමුන් හැට හැත්තෑවක් වේදිකාවේ හිටියා. සිරිකත පත්තරේ අයත් මාව දිරි ගැන්නුවා. ඒ පාර ඇඳගෙන ගිය ඇඳුම පිටින්ම. ස්ටේජ් එකට නැග්ගා. අන්තිමට සිරිකත කුමරිය ලෙස තේරුණෙ මම.

රඟපෑමට ආවේ එයින් පසුවද?

රඟපෑමට අවස්ථාව ලැබුණෙ පාසල් කාලයේදීමයි. එතකොට මගේ වයස අවුරුදු 12යි. අරුණ ජයවර්ධන අයියගෙ නාට්‍යයක් වූ බාඳුරා දේශය නාට්‍යයේ රඟපෑවා. ඉන්පසුවත් රඟපෑමට දිගටම අවස්ථාව ලැබුණත් උසස් පෙළ ලියන කල් ගියේ නැහැ. පසු කාලයක ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනන්දු මහතාගේ සිටු මැදුර නාට්‍යයේ රඟපෑවා. ඒ එක්කම චිත්‍රපටවල රඟපෑමට අවස්ථා ලැබුණා. ආශාවරී මම රඟපාන හතරවැනි චිත්‍රපටයයි.

ඊට කලින් රඟපෑ චිත්‍රපට මොනවද?

මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගෙ යශෝදරා චිත්‍රපටයේ යශෝදරාගෙ යෙහෙළිය ලෙස රඟපෑවා. ඉන්පසුව රෂ් චිත්‍රපටයේ රඟපෑවා. වියැලෙන දළුව චිත්‍රපටය ඉදිරියේ දී තිරගත වේවි. ඒ චිත්‍රපටය මේ වනවිට රටවල් කීපයකම ප්‍රදර්ශනය කෙරුණා.

රුවි ‘ආශාවරි’ චිත්‍රපටයේ චරිතය ගැන කතා කරමු?

මෙතෙක් මට රඟපාන්න නොලැබුණු චරිතයක් ආශාවරි චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. මම රඟපාන්නෙ දමිළ තරුණියකගේ චරිතයක්. එයාගෙ නම කල්පනා සුබ්‍රමනියම්. ඒක අලුත්ම අත්දැකීමක් වුණා. එහි මට විශේෂම දේ වුණේ නැසීගිය ආචාර්ය ජයලත් මනෝරත්න ශූරීන් මගේ අයියා ලෙස රඟපෑමයි. එතුමා එක්ක රඟපෑමට ලැබීමම මහා භාග්‍යයක්. චිත්‍රපටයේ අවසාන දර්ශනය රඟපාන්න ලැබුණෙ එතුමා එක්ක. එතුමා ඒ වෙලාව වනවිටත් අසනීපයෙන් හිටියෙ. ඒත් ඒ කිසිවක් නොපෙන්වා එතුමා අසනීපයක් නැති විදියට රඟපෑවා. එතුමාගෙ දක්ෂතාවය ගැන අපට හිතා ගන්නවත් බැරි තරම්. එතුමා දිහා බලා සිටිය දී අපි හරියට දුක් වුණා. අන්තිමට ෂූටිං ඉවර වෙලා එනකොට අපි එතුමාට වැන්දා. ඒ වෙලාවෙ පුතේ ඔයා හොඳට රඟපෑවා. ඒ ටික හොඳට කළා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා මට ආශිර්වාද කළා. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ වෙලාවෙ අපි ඔක්කෝම හරි සංවේදී වුණා. ඔයා හරි දක්ෂ දරුවෙක් පුතේ කියලා මගේ ඔළුව අතගාද්දී මට ඇඬුණා. එතුමාගෙ අත්දැකීම් බෙදා ගන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් රඟපෑ ඒ සෑම තත්පරයක්ම මට ජීවිතයට වටිනවා.

කල්පනා සුබ්‍රමනියම්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මට විතරක් නෙවෙයි ආශාවරීට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. මෙහි මගේ මහත්තයා ලෙස රඟපාන්නේ සාරංග දිසාසේකර අයියා. ආශාවරීගෙ කතාව පටන් ගන්නේ මගෙයි සාරංග අයියගෙයි රඟපෑම්වලින්. කතාව ගලාගෙන යන්නේ ඉන්පසුවයි. මේ චිත්‍රපටය  ප්‍රේමණීය අත්දැකීම් ජවනිකා සහිත චිත්‍රපටයක්. හරිම ලස්සන සුන්දර චිත්‍රපටයක්. සාරංග අයියා එක්ක ඊට කලින් වැඩ කර තිබූ නිසා චරිතය තවත් පහසු වුණා.

රුවිගෙ සැබෑ ජීවිතයේ ප්‍රේමණීය කතාව ගැනත් කියමු?

මට හොඳ ප්‍රේමණීය ආදරයක් තියෙන්නෙ. සැමියා සහාය අධ්‍යක්ෂවරයෙක් වගේම අධ්‍යක්ෂක කටයුතුවල නිරත වෙන්නෙ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ. අහම්බයෙන් හමුවූ ආදරයක් කිව්වොත් හරි. දවසක් මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට යන්න සිද්ධ වුණා. එදා තමයි මුලින්ම එයාව හමුවුණේ. අපේ ආදර කතාව පටන් ගන්නෙ ඉන්පසුවයි. ඒ ආදර කතාව කෙළවර වුණේ විවාහයෙන්.

කොහොමද විවාහ ජීවිතය?

හරිම සුන්දරයි. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු හතරක් විතර වෙනවා. හරිම ප්‍රේමණීයව ගෙවී ගිය අවුරුදු 4ක්. අපි දෙන්නා කපල් එකකට වඩා හොඳම යාළුවෝ දෙන්නෙක් වගෙයි. එයා හරිම කාර්යබහුලයි. විවේකය තමයි දුර්ලබ. ඒ නිසා මම කරන්නෙ එයාගෙ නිවාඩු දවස් ලැබෙනකල් බලාගෙන ඉඳලා ඒවා මාර්ක් කරගෙන මම මගේ වැඩ නොදාගෙන ඉන්න එකයි. එයා ගෙදර ඉන්නවාට මම ආසයි.

රුවිගෙ ජීවිතය රුවි වගේම හැඩකාරයි?

අනේ ඇත්තටම ඔව්. හරිම ආදරණීයයි. හරිම සරලයි. සුන්දරයි. එයා කොච්චර පරක්කු වෙලා ගෙදර ආවත් කොහෙන්වත් කෑම කන්න කැමති  නැහැ. මම උයන කෑම කන්න හරිම ආසයි. කොහොමටත් මට රසට උයන්න පුළුවන්. බේකරි කෑම ජාති ඕනෑ දෙයක් හදන්න පුළුවනි. මගේ සැමියා නම් මම උයන ඕනෑ දෙයක් කනවා. පරිප්පු ව්‍යාංජනය සෝයා මාළුවට එයා හරිම ආසයි. අපි දෙන්නා තරහා වෙලා විනාඩි පහකට වඩා කවදාවත් ඉඳලා නැහැ. තරහ වුණොත් විනාඩි පහකට විතරයි. කවදාවත් දවස් ගණන් තරහා වෙලා ඉඳලා නැහැ. අපි දෙන්න ට්‍රිප් යන්න හරිම ආසයි. රට රටවල සංචාරය කරන්නත් ආසයි.

රුවි ගැන රුවිට කොහොමද හිතෙන්නෙ?

මම හරිම සංවේදී කෙනෙක්. කාටවත් නපුරු වැඩ කරන්නේ නැහැ. මොන දේටත් කලින් අපි මව්පියන්ට මුලින්ම සලකන්න ඕනෑ. එයාලාට සලකන්න මම හරිම ආසයි. හැමෝම එහෙම වෙනවා නම් හොඳයි. පළමුව අම්මා තාත්තා. දෙවනුව තමයි අන් සියල්ලම.

සඳුන් ගමගේ