ඉංග්‍රීසි භාෂාව අමාරු නැහැ සිංහල කියන්නෙ අමාරු භාෂාවක්
විශ්වජිත් ගුණසේකර, ප්‍රවීණ රංග ශිල්පියා යනු හොඳ කියවීමක්, හොඳ විනයක් සහ අභ්‍යාසයක් ඇති රංග ශිල්පියකු ලෙස හඳුන්වා දිය හැකිය. වේදිකාව, ටෙලිනාට්‍ය සහ අනෙකුත් විෂයයන්ට සමගාමීව ඔහු ඉදිරිපත් කරන රංගනයන් වෙතින් අපට ඒ බව මැනගත හැකිය. චරිතයට අදාළව සූක්ෂම ලෙස රංගනයේ යෙදෙන විශ්වජිත් ප්‍රවීණයා මේ දිනවල අපට හමුවන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සුසුම් රස්තියාදුව’ නාට්‍යයේ අපූරු රංගනයක් සමගය. තමාගේ වයසට වඩා අඩකින් පමණ ලාබාල තරුණියක වන ගිම්හානිට පෙම් බැඳි ඒ චරිතයට ඉතාම අපූරුවට ඔහු ජීවය ලබාදෙන බව කිව හැකිය. ඉතින් මොහොතකට මේ ප්‍රවීණයාගේ හඬට අපි සවන් දෙමු.
විශ්වජිත් කියන්න ද? ගුණසේකර කියන්න ද?
“එක එක විදිහට මාව අමතනවා. විශ්වා කියනවා. විශ්වජිත්, ඒ වගේම විශ්වජිත් ගුණසේකර කියලත් කියනවා. විශ්වජිත් කියලා කියන්න.”
විශ්වජිත් ජීවිතේ ගමනක් පටන්ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිව ද?
“මුල් කාලයේදී මට එහෙම නිශ්චිත අරමුණක් තිබුණෙ නැහැ. මම මොනවා කරන්න ද කියලා මට තේරුණෙත් නැහැ.”
ඒකට හේතුව?
“හේතු ගොඩක් තිබුණා. අපි යම් දෙයක් හොයා ගෙන යද්දි අපට හොයාගන්න බැරි වුණාම හොයලා දෙන කෙනෙක් හෝ පිරිසක් ඉන්නවනෙ. මට එහෙම කවුරුවත් හොයා දුන්නෙ නැහැ. මටම හොයා ගන්න වුණා. ඒක හොඳයි. මොනවද කරන්න පුළුවන්, කොහොමද කරන්න පුළුවන් කියන ප්‍රශ්නවලට විසඳුම් සොයමින් ආසා දේ කරන්න මම අරමුණු කරගත්තා. හැබැයි ඒ විදිහට හොයා යන දේ, වෙන අය ඒක මහ පිස්සු වැඩක් විදිහට දකින්න පුළුවන්. වේදිකා නාට්‍යවල රඟපාන්න යනවාය කියන එක ආසා දෙයක් වුණාට ඒක සල්ලි ලැබෙන දෙයක් නෙවෙයි කියලනෙ වැඩි දෙනෙක් හිතන්නෙ. වේදිකා නාට්‍ය කරන්නෙ හිඟන්නො වගේ කියන අදහසනෙ සමහර අය අතර තිබුණෙ. හැබැයි මට අවශ්‍ය වුණේ මම ආසා දේ එක්ක ඊට වඩා වැඩි දෙයක් කරන්න. අදටත් මම විශ්වාස කරන්නෙ ඒ විදිහට.”
පාසල් ජීවිතයෙන් පිට වෙද්දි මොන වගේ අරමුණු ද තිබුණෙ? පාසල් ජීවිතයේදී මොනවට ද දක්ෂ වුණේ?
“සෑම දෙයකටම වගේ දක්ෂතා පෙන්නුවා. දුවන්න පනින්න ඒ වගේ ක්‍රීඩාවලටත් දක්ෂ වුණා. කථික තරගවලදි සහතික පවා ලබාගත්තා. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. කොළඹට ආ පසු හරියට අතරමං වුණා වගේ හැඟීමක් මට ඇති වුණේ. මම දක්ෂ බව ඇත්ත. ඒත් මොනවා ද කළ යුත්තේ කියන කාරණය එක්ක පොඩි අතරමං වීමක් වගේ හැඟීමක් ඇති වුණේ. දක්ෂයො අතර සිටියදී මම දක්ෂයෙක් කියන හැඟීම මට ආවේ නැහැ.”
උසස් පෙළ කළේ?
“ගණිත අංශයෙන්.”
කවුද ඔබගේ සමකාලීනයින් ආනන්දයේ?
“මගේ යාළුවෝ අතරින් නාවික හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවේ ඉහළට ගිය චරිත කිහිපයක් සිටියා. ඒ කාලයේ හිටපු අය අතරින් දිලීප අබේසේකර, සංජීව රණතුංග වගේ අය මතකයි. අජිත් පෙරේරා එහෙමත් හිටියා. මගේ පන්තියේ නොවුණත් ඒ කාලයේ අපි දැන හඳුනාගෙන සිටි චරිත.”
සරසවි තේරුණා ද?
“නැහැ. ෆේල්.”
දක්ෂයා ෆේල් වුණේ?
“ඒකට හේතුව මම ගණිත අංශය තෝරාගෙන තියෙන්නෙ විෂයයට ඇති කැමැත්තෙන් නෙවෙයි. ගණිතයට ආසා නැහැ කියන වග මට තේරුණේ පසුව.”
එහෙම නම් ඉතින් ගණන් කළේ?
“ඒ කාලයේ මතයක් තිබුණනෙ ගණන්, විද්‍යාව කළොත් ගොඩ, භාෂාව කළොත් මළා යන වගේ අදහසක්. කොහොම වුණත් ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ. පසුව නැවත ඒ දේවල් සපුරා ගත්තා.”
ඒ ලෙවල් ෆේල් වෙලා ඊළඟට මොනවද කළේ?
“විභාගත් ෆේල් වෙලා ගෙදර සිටියදී ඉංග්‍රීසි ගුරුවරු බඳවා ගැනීමේ තරග විභාගයකට පෙනී සිටියා. එහි පුහුණුව තිබුණෙ නුවරඑළියේ. වසරක පුහුණුවක්. පසුව වලපනේ සිට ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.”
එදා නුවරඑළියේ ගෙවූ කාලය නීරස වුණේ නැද්ද?
“නුවරඑළියේ ගෙවූ කාලය තමයි ජීවිතයේ වසන්ත කාලය වුණේ.”
ඒ කියන්නෙ ප්‍රේමය නිසා වෙන්නැති?
“ප්‍රේමයම නොවෙයි. ජීවිතේ පළවැනි වතාවට තනියම ජීවත් වෙන්න පටන්ගැනීම නිසයි. ගෙදරින් ගැලවිලා ගිහින් සතියක් විතර එක දිගට නුවරඑළියේ සිටීම එක්ක මම මා ගැන හිතන්න පටන්ගත්තා. ඒ වගේම පුහුණු කාලය අතරේ අපි නාට්‍ය කළා. ඒ නාට්‍යවල හොඳ රසයක් තිබුණා. මගේ රඟපෑම් ගැන අනෙක් අය උනන්දුවෙන් කතා කළා. දමිළ යාළුවෙක් තමයි මුලින්ම මට රඟපාන්න කතා කළේ. දැන් එයා ඉන්නෙ කැනඩාවේ. එදා ඒ ලැබූ දේ එක්ක රඟපෑමට සමහර විට මට සහජ දක්ෂතාවක් තියෙන්න ඇති කියලා විශ්වාස කළා.”
එතකොට පටන්ගත්තෙ ගුරු වෘත්තියෙන් ද?
“ඉංග්‍රීසි ගුරු වෘත්තිය පටන්ගෙන පසුව එය අත්හැරියා.”
හේතුව?
“මගේ මාමා මට කිව්වෙ වෙන රස්සාවක් කරමු කියලයි. ඒ අනුව ලිවර් බ්‍රදර්ස් ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට කොළඹ ආවා. එයින් තේරුණාට පස්සෙ වෙළෙඳ නියෝජිත ලෙස ඒ රස්සාව කළා. කාලයක් එහි වැඩ කළා. ටික දවසක් යද්දි ඒ රස්සාවත් මට එපා වුණා. ඊට පස්සෙ ආයෙත් මම ගෙදර ගියා.”
ගෙදරින් මොනවද කිව්වේ?
“හොඳටම බැන්නා, මොනවා ද මේ කරන විකාර වැඩ කියලා. තාත්තාට හොඳටම තරහා ගියා. ‘දැන් ඔයා මොනවා ද කරන්න හිතාගෙන ඉන්නේ’ කියලා ඇහුවා. මම ආයෙත් ඉගෙන ගන්නවා කියලා තාත්තාට කිව්වා.
ගෙදර මේසයක් වෙන් කරගෙන පොත්පත් අරගෙන ආයෙත් මම පාඩම් කරන්න පටන්ගත්තා. තාත්තා ඇවිත් ඒ දිහා බලා හිටියෙ පුදුමයෙන්.
‘ඕවා තනියම කරන්න පුළුවන්ද’ කියලා තාත්තා ඇහුවා. ‘ඔව් මට පුළුවන්’ කියලා මම කිව්වා.”
ඉන් පසුව?
“ඒ ලෙවල් විභාගය නැවත ලියුවා.”
සමත් වුණා ද?
“මහා ඉහළින් නැතත් එවර ඒ ලෙවල් සමත් වුණා.”
ඊළඟට?
“උපාධිය කළේ ඉංග්‍රීසි භාෂාවෙන්.”
උපාධියට පසුව?
“මාස්ටර්ස් (ශාස්ත්‍රපති) උපාධිය කළෙත් ඉංග්‍රීසියෙන්. භාෂා අංශයෙන් කළේ.”
මේ විදිහට ජීවිතේ ගමනක් යද්දි ඒ දිහා බලා සිටියෙ අම්මයි තාත්තයි විතර ද?
“ඔව්. ඒ වන විට අයියා ජීවතුන් අතර හිටියෙ නැහැ. මේ කාලයේදීම වගේ නාට්‍ය ගැන හදාරන්න තිබූ උනන්දුව නිසා ටවර්හෝල් පදනමට, රූපවාහිනියට අයැදුම්පත් යොමු කළත් මාව ගත්තෙ නැහැ. පසුව පත්තරයක දාලා තිබූ පුංචි දැන්වීමක් දුටුවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය වැඩමුළුවකට සිසුන් බඳවා ගන්න විදිහ ගැන. මම ඒකට අයැදුම් කළා. පසුව පිළිතුරු ලිපිය ලැබුණෙ මට අහවල් දිනයට එන්න කියලයි. ඒ ලිපිය අදටත් මා ළඟ තියෙනවා. මට ඕනෑ වුණේ කොහොම හරි ඒ නාට්‍ය ගැන හදාරන්න. සෝමලතා සුබසිංහ මහත්මියට ආයාචනාත්මකව මම ඉල්ලීම් කළා. ‘හරි බං උඹව ගන්නම්’ කියලා එතුමිය කිව්වා.”
නාට්‍ය කියන වැඩේට එතැනින් ද හරියටම සම්බන්ධ වුණේ?
“ඔව්. ඉන් පසුව එතුමියගෙ හිමකුමරිය ඇතුළු නාට්‍ය කිහිපයකටම මාව ගත්තා. හිමකුමරිය නාට්‍යයේ රඟපාලා ඉවර වුණාට පස්සෙ ‘උඹ තමයි මේකෙ වාසනාවන්තයා’ කියලා මිස් කිව්වා. ඒ නාට්‍යයේ මගේ චරිතය තමයි වැඩි කාලයක් විකාශය වුණේ. ඒ නිසයි එහෙම කිව්වේ.”
රඟපෑම ගැන උනන්දු වුණේ ඒ අදහස් අගැයීම් නිසා ද?
“රඟපෑමම නොවූවත් මට ඒ ගැන හදාරන්නයි අවශ්‍ය වුණේ. ඉන් පසුව මම විසින්ම මාව හොයා ගෙන යමින් රංගන අභ්‍යාසවල යෙදෙමින් ඒ ගමන මුවහත් කරගන්න උත්සාහ ගත්තා. පූජිත ද මෙල් කළ ‘අසිනිමාලි’ නාට්‍යයේ රඟපෑම නිසා එහි රඟපෑ ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සංජය හෙට්ටිආරච්චි, නාමල් ජයසිංහ සහ මට සම්මාන පවා ලැබුණා. මාව නිශ්චිතව සලකුණු වූ අවස්ථාවක් තමයි ‘අසිනිමාලි’.”
අද ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් ද? වෙනත් වෘත්තියක යෙදෙන අතරේ ද කරන්නේ?
“වෘත්තීය රංගන ශිල්පියකු ලෙස පෙනී සිටීමට අකැමැතියි. මොකද එයින් ජීවිකාව ගෙනියන්න හිතුවොත් ඒක හරි ලෙඩක් වෙනවා. වෘත්තීය මට්ටමේ රඟපාන නළුවකු වුණාට ඒක මත යැපෙන්නෙ නැහැ. ඒ හැරත් මම අකමැති අනෙකුත් නාට්‍යවලත් රඟපාන්න වෙනවා. ඒ නිසා ඒ වෙනුවට මගේ වෘත්තීය ඉංග්‍රීසි දැනුම ප්‍රායෝගික කරමින් රාජ්‍ය ආයතනවල උපදේශකවරයකු ලෙස සේවය ලබා දෙනවා.”
ඉංග්‍රීසි භාෂාව අමාරු නැහැ නේද?
“අමාරු වෙන්නෙ කොහොම ද? ඊට වඩා අමාරු භාෂාවක්නෙ අපි භාවිත කරන්නෙ. සිංහල භාෂාව කියන්නෙ අමාරු භාෂාවක්.”
සඳුන් ගමගේ