‘ඇස්’ නාට්‍යයෙන් පස්සෙ වැඩි දෙනෙක්ගෙ ආදරය ලැබෙන බව පෙනෙනවා
වෙලාවකට ඇය ලස්සන කවියක් වගේලු. තවත් වෙලාවකට දීප්තිමත් මැණිකක් වගේලු. ඒ කවියක් වගේ වූ මැණික මධුර සප්ත ස්වරයේ එක් ස්වරයක් වගේලු. ඉතින් මේ නිසාම තමයි ඇයට ඇයගේ මව්පියන් කව්මිණි තත්සරණි යනුවෙන් නම් දාලා තියෙන්නේ. වසර දෙක තුනකට පෙරදි ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමරිය ලෙස කිරුළ ලබා වත්මනෙහි ටෙලි තිරය හැඩ කරන මේ සුන්දර රුවැත්තිය මේ දිනවල හමුවන්නේ ‘ඇස්’ නාට්‍යයේ සයුරි ලෙසයි. ඇස් හැඩ කරන ලස්සන ඇස් ඇති ඇය එක්කයි මේ පිළිසඳර.
කව්මිණි. ඔබම එහි තේරුම කියන්න?
කවියක් බඳු මැණිකක් හරි මැණිකක් බඳු කවියක් හරි කියලා කිව්වොත්.
ඒ මොන විදියට බැලුවත් කව්මිණිට හිතෙන්නේ මොන විදියටද? කවියක්ද? මැණිකක්ද?
මම හොඳ කෙනෙක්. මම මට ආදරේ කරන අනෙක් අයටත් ආදරේ හොඳ කෙනෙක්. සරල සාමාන්‍ය කෙනෙක්.
ගම?
ගම්පහ.
පවුලේ එකම ළමයා?
නැහැ, නැහැ. මට අයියයි, නංගිලා දෙන්නෙකුයි ඉන්නවා.
කොහොමද ඉතින් ඒ පවුල?
සාමාන්‍ය පවුලක්. අයියා මේ වනවිට රැකියාවක් කරනවා. නංගිලා දෙන්නා තවම ඉගෙන ගන්නවා. සුන්දර ලස්සන, ප්‍රීතිමත් පවුලක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. තාත්තා ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. අම්මගෙ සැලුන් එකේ නම ‘ලිය – රූ’. දෙමටගොඩ තියෙන්නේ.
කවිමිණි වඩා ආසා තත්සරණිටද? කව්මිණිටද?
නම් දෙකෙන්ම කතා කරනවා. මම හරි ආස තත්සරණි කියනවට. ඒත් ඒක ටිකක් දිග නිසා කව්මිණි කියනවට ආසයි.
කොහොමද තත්සරණිගෙ ගායන හැකියාව එහෙම?
පාසල් කාලයේ ඉඳලම මම වැඩිපුර කළේ නර්තන විෂය. ඒත් යම්තාක් දුරකට ගයන්නත් පුළුවනි.
‘චිංකි’ කියන්නේ?
ඒක මගේ සුරතල් නාමය. මගේ ජීවිතේ වටා ඉන්න බොහෝ දෙනා මාව අමතන්නෙ ඒ නමින්. පුංචි තමයි මුලින්ම ඒ නම දාලා තියෙන්නේ. අපේ පවුලේ වැඩි දෙනා මාව දන්නේ කව්මිණි, තත්සරණි කියලා නෙමෙයි, ‘චිංකි’ කියලයි.
‘චිංකි’ගෙ කීවැනි ටෙලි නාට්‍ය රංගනයද මේ?
තුන්වැනි ටෙලිනාට්‍යය. මුලින්ම රඟපෑවෙ වලවෙට්ටුවා. සෙනුලි කියන චරිතය රඟපෑවෙ. දෙවැනියට රඟපෑ ටාගට් (රිතු) තවම ටෙලිකාස්ට් වුණේ නැහැ. තුන්වැනියාට රඟපෑ ඇස් නාට්‍යය තමයි මේ දිනවල විකාශය වෙන්නෙ. ඇස් නාට්‍යයේ මම සයුරි.
‘චිංකි’ වෘත්තිය ලෙස අද රංගනයද කරන්නෙ?
තවම මම මගේ උසස් අධ්‍යාපනය ඉවර කරලා නැහැ. කැලණි කැම්පස් එකේ බාහිර උපාධියක් හදාරනවා.
රඟපෑම අද ඊයේ පටන් ගත් දෙයක් නෙවෙයිද?
පාසල් කාලයේ සිටම කලා අංශයේ වැඩවලට සම්බන්ධ වුණා. මම ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා.
‘ඇස්’ නාට්‍යයේ ‘සයුරි’ ගැන කියමු?
සයුරි හරි දක්ෂ තරුණියක්. ඉගෙනීමට වගේම විවිධ දක්ෂතා ඇති කෙනෙක්. අම්මා තාත්තාට සහ පවුලට ලැදි කෙනෙක්. එයාගේ හොඳම යාළුවා වෙන්නෙ තාත්තා. යාළුවන්ටත් ආදරේ, සෑම දෙයක් ගැනම අවබෝධය ඇති, හිත හොඳ තැන්පත් චරිතයක්. ඒ චරිතයට ප්‍රවේශ වීම මට ගොඩක් පහසු වුණේ සයුරිගෙ ගතිගුණ ඔක්කොම වගේ සැබෑ ජීවිතයේ මටත් තියෙන නිසයි. වෙනසකට තියෙන්නෙ සයුරිගෙ පවුලට වඩා මගේ පවුල වෙනස්. සැබෑ ජීවිතයේ මම වඩා සමීප අම්මට. සැබෑ ජීවිතයේදී හැමෝටම ගරු කරන කෙනෙක්.
අක්කයි, නංගිලා දෙන්නයි අතරින් වඩා ලස්සන?
තුන් දෙනාම ලස්සනයි. එකිනෙකාට ආවේනික සුන්දරත්වයක් තියෙන්නෙ.
කව්මිණිට ආදරණීය කවි රැසක් ලැබෙනවලු නේද?
ඒ කිව්වේ?
ප්‍රේම ආරාධනා?
‘ඇස්’ නාට්‍යයෙන් පස්සෙ වැඩි දෙනෙක්ගෙ ආදරය ලැබෙන බව පෙනෙනවා.
‘ඇස්’ නිසා පිරිමි ළමයි ඇස් ගහනවද?
එහෙමම නැහැ.
කොහොමද ඒවාට ප්‍රතිචාර දක්වන්නේ?
චරිතයකට ආස නිසා වෙන්නැතිනෙ.
ඇත්තම කියන්න, කව්මිණිගෙ ප්‍රේමය කවියක් වගේද?
ඒ ගැන පසුව කතා කරමු.
ප්‍රේමය?
ප්‍රේමය හොඳ දෙයක්. ‘ඇස්’ කතාව ඇතුළෙ කතා වෙන්නෙත් සුන්දර ප්‍රේමයක් ගැනනෙ. ආදරය ප්‍රේමය ගැඹුරු දෙයක්. අරුත්බර දෙයක්.
ලංකාවේ සිටින රංගන ශිල්පිනියන්ගෙන් ලස්සනම ඇස් ඇති කෙනා ලෙස කව්මිණි නම් කරන්නේ?
බොහෝ දෙනෙක් ඉන්නවා. එක පාරටම මතකයට එන්නේ නැහැ. රංගන ශිල්පිනියන් වගේම ශිල්පීන්ද දැකලා තියෙනවා.
ලෝක චරිත අතරින් ලස්සනම ඇස් තියෙන්නේ?
මට හිතෙන විදියට අයිශ්වර්යා රායිට. ඇයගෙ ඇස් හරිම ආකර්ෂණීයයි.
ඇස් ගැන කව්මිණි විග්රහ කරන්නෙ කොහොමද?
ලෝකය දකින්නෙ ඇස් දෙකෙන්නෙ. හිත දකින්න පුළුවන් ඇස් දෙකෙන්. මිනිසකුගේ ඇතුළාන්තය ඇස්වලින් කියන්න පුළුවනි.
කව්මිණි නොහොත් තත්සරණී හෙවත් චිංකි විවෘත චරිතයක්ද? ගුප්ත කෙනෙක්ද?
මම සරලව ඉන්න කෙනෙක්. ඒ නිසා සඟවන්න දේ නැහැ. මගේ ජීවිතේ ලස්සනට ගෙවමින් විඳිමින් ජීවත්වන කෙනෙක්. ඒ නිසා මට දැනෙන්නෙ සැහැල්ලුවක්.
අද වනවිට වැඩිපුරම ඉන්නෙ රඟපාන අය සහ ගීත ගයන අයයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?
කොච්චර පිරිසක් හිටියත් දක්ෂතාව අනුව එයාගෙ ගමන තීරණය වේවි. දක්ෂ වන තරමට පැවැත්ම ස්ථිරයි. මට හිතෙන්නෙ එහෙමයි.
අපි නොදන්නා කව්මිණිගෙ දක්ෂතා?
රංගනය සහ නර්තනයට තමයි. ගායනයත් යම්කිසි දුරකට පුළුවනි කියලා හිතනවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ