ඇයට අමතද්දි හිතට දැනුණේ පුදුම චකිතයක්! - ප්‍රසාද් කළුපහන
ප්‍රසාද් කළුපහන ඔබ විසින් අධ්‍යක්ෂණය කෙරුණු ”කම්බිලි” සිනමාපටය මුලින්ම ගොඩනැගුණේ කොහොමද?
මම කාලයක් තිස්සේ කලා ක්ෂේත්රයේ වැඩ කළා. ඒ අතරේ “කවදා හරි සිනමා පටයක් කරන්න ඕනෑ?” කියන හීනයක් මට තිබුණා. අමිල කරුණානායක මගේ හොඳ යාළුවෙක්. නිර්මාණය කරද්දී නිතරම මායි අමිලයි සිනමා හීනය ගැනත් කතා කළා. අමිල “අපි එකතුවෙලා වැඩක් කරමු ප්‍රසාද්...” කියලා හැම මොහොතෙම මාව දිරිමත් කළා. අවුරුදු දහයක් තිස්සේ අපි සිනමා පටයක් කරන්න උත්සාහ කළත් විවිධ හේතූන් නිසා ඒක මග හැරුණා. ඔය අතරේ නැවත අවුරුදු තුනකට විතර කලින් අමිලයි මායි මුණගැහෙද්දී “දැන් කල් ගත්තා ඇති. අපි එකතු වෙලා වැඩක් කරමු...” කියලා මම අමිලට යෝජනා කළා. සිනමා නළුවෙක් තුළ තිබිය යුතු පෙනුම, හැකියාව, මම නිතරම අමිල තුළින් දැක්කා. ඒ විදියට තමයි කම්බිලි කතාව මුලින්ම ආරම්භ වුණේ.
“කම්බිලි” කතා තේමාව ප්රසාද්ගෙද?
ඔව්... කතාව කොපියක් නොවී ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න මට ඕනෑ වුණා. ඔය අතරේ ලංකාවේ මම ජනප්‍රිය ගායිකාවකට කරපු මියුසික් වීඩියෝවක් තිබුණා. ඒකෙ මම කරපු කතා තේමාව සිනමා පටයක් දක්වා කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ තේමාව මූලික කරගෙන, මම අතින් චරිත ගොඩනගාගෙන කතා සාරාංශයක් ගොඩනැගුවා. ඒකට අමිලත් එකඟ වුණා. කතාවේ සාරාංශය එහෙම ගොඩනැගෙද්දී ඒ කාලේ මාත් එක්ක වැඩ කරපු නිදුක් මදුෂිකව තිර පිටපත් රචකයා ලෙසින් මම තෝරා ගත්තා. ඔහු ඉතා දක්ෂ තරුණයෙක්. නිදුක් අපිත් එක්ක සම්බන්ධවෙලා අවුරුද්දකට ආසන්න කාලයක් මේ තිර පිටපත විවිධ වෙනස්කම් සිදු කරමින් ගොඩනැගුවා. මට හිතෙන විදියට අපි තිර පිටපත පස් වතාවක් පමණ වෙනස් කරමින් නැවත නැවතත් හැදුවා. ඇත්තටම අවසානයේ දී හොඳ පිටපතක් අපිට දැනෙන විදියට එකතු වෙලා කරන්න පුළුවන් වුණා.
තිර පිටපත ඉවරවුණු ගමන්ම ප්‍රසාද් වෙද මහත්තයාට ආරාධනා කළා කියලයි ආරංචිය?
ඔව්... තිර පිටපත සම්පූර්ණයෙන්ම අවසාන වුණාට පසුව මම මුලින්ම බිමල් අයියාට (බිමල් ජයකොඩි) මේ සඳහා ආරාධනා කළා. පිටපත ලියැවෙද්දීම වෙද මහතාගේ චරිතයට මගේ හිතේ කලාකරුවන් තුන් දෙනෙක්ගේ රූප මැවුණා. ඔවුන්ගෙන් උඩින්ම බිමල් අයියා හිටියා. මම ඔහුව මුණගැහිලා මේ ගැන කතා කරද්දිම ඔහු වැඩේට කැමති වුණා. පිටපත බලලා බිමල් අයියත් යම් යම් සිදුවීම් කිහිපයක් වෙනස් කළා. බිමල් අයියාගේ ඒ වෙනස්කම් කිහිපයත් අරගෙන නැවත වතාවක් අපි පිටපත හැදුවා.
“කම්බිලි” සිනමා පටයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න නෙත්මි රොෂෙල්ව එකතු කරගන්න තිබුණු විශ්වාසය මොකක්ද?
පිටපත සකසාගෙන යද්දී අපේ හිතට ආපු චරිතවලින් සියයට අනූ පහක්ම මේ නිර්මාණයට සම්බන්ධ කරගන්න අපිට පුළුවන් වුණා. රොෂෙල් එක්ක මම මීට පෙර මියුසික් වීඩියෝවක්, වෙළෙඳ දැන්වීමක් හෝ කරලා තිබුණේ නැහැ. නමුත් රොෂෙල් රඟපෑ යම් යම් නිර්මාණ මම දැකලා තිබුණා. මේ චරිතයට හරි දඟකාර, ජීවිතේ කිසිම බරපතළක් නැති, එහෙම වුණත් හිත ඇතුළේ ලොකු බරක් තියාගෙන එළියට ඒක නොපෙන්වන චරිතයක් රඟපාන්න හැකි නිළියෙක්ව තෝරාගන්න මට අවශ්‍ය වුණා. ඒ චරිතයට මම රොෂෙල්ට කතා කළා. ඇයත් ඒකට කැමති වුණා.
“කම්බිලි” ප්‍රසාද්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. ඒ නිර්මාණයට රටේ ප්‍රවීණ දක්ෂ කලාකාරියක් වන නීටා ප්‍රනාන්දුත් සම්බන්ධවෙලා ඉන්නවා. ඇගෙන් නිර්මාණයට ලැබුණු ආශිර්වාදය හා මඟපෙන්වීම කොහොමද?
ඇගෙන් ලැබුණු ආශිර්වාදය, මඟපෙන්වීම මම වගේ ආධුනික සිනමා අධ්යක්ෂවරයකුට සුළුපටු වන්නේ නැහැ. ඒක වචනවලටවත් මුදල්වලටවත් ලඝු කරන්න, මිල කරන්න බැහැ. මම නිර්මාණකරුවෙක් වුණාට සිනමා අධ්යක්ෂවරයෙක් නොවේ. ඒ නිසා මුලින්ම ඇයට දුරකථනයෙන් අමතද්දී චකිතයක් ඇතිවුණා. “එන්න මල්ලි... අපි ඇවිත් කතා කරමු” කියලා ඇය මට නිහතමානීව උත්තර දුන්නා. එතුමිය මුණගැහිලා මම පිටපත අතට නොදී මුළු පිටපතේ සරාංශය පැය භාගයක් පමණ ඇතුළතදී ඇයට කිව්වා. “හරි මල්ලි අපි මේක කරමු. මට ෂූටින් දින ටික කියන්න..” කියලයි ඇය කිව්වේ. ඒක මට හිතාගන්න බැරි සතුටක්. “කම්බිලි” මුලින්ම රූගත කිරීම් කළේ ඇගේ ජවනිකාවක කොටසකින්. එයින් ආරම්භය වුණු “කම්බිලි” ඉතා සාර්ථකව රූගත කරගෙන අවසන් කරන්න හේතු වුණා. චිත්‍රපටය කරද්දී ඇතිවුණු ගැටලු බාධකවලදිත් ඇය අම්මා කෙනෙක් වගේ මගේ හිත හයිය කළා. මාව දිරිමත් කළා. කිසිම වෙලාවක මම නවකයෙක් කියලා එතුමිය හිතුවේ නැහැ. අපි සිනමා පටය දින විස්සකින් පමණ රූගත කිරීම් කරලා අවසන් කළා.
“කම්බිලි” ප්‍රසාද්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. ලබපු අත්දැකීම් කොහොමද?
මගේ නිර්මාණයට දායක වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන්, කාර්මික ශිල්පීන් සහ මගේ නිර්මාණ කණ්ඩායම, මම වගේ නවක සිනමා අධ්යක්ෂවරයකුට ලබා දුන්න සහයෝගය මට ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම සිනමා පටයට නිෂ්පාදනයෙන් දායක වුණු නිශාන්ත ගල්හේන මහතාත් ඉතා ආදරයෙන් ස්තූති පූර්වකව මතක් කරනවා. අපිට කාලගුණයෙන් යම් යම් බාධා ආවා. චිත්‍රපටයේ දී අමිල මෝටර් බයිසිකලයෙන් රොෂෙල්ව දාගෙන යන අවස්ථාවක් තියෙනවා. එතැනදි රොෂෙල් බයිසිකලේ නැගලා යනවාත් එක්කම ඇයව බයිසිකලෙන් වැටුණා. රොෂෙල්ගේ කොන්ද ගොඩක් හීරුණා. ඒ අමාරුව තියෙද්දිත් රොෂෙල් තවත් කොටස් දෙකක් එදාම රඟපෑවා. ඒ විදියට සමස්තයම ඉතා හොඳ සහයෝගයක් “කම්බිලි” චිත්‍රපටයට ලබා දුන්නා. විශ්වවිද්‍යාලයෙන් සහ වෙනත් කොහෙන්වත් ලබාගන්න බැරිවුණු අත්දැකීම් ගොන්නක් කම්බිලි තුළින් මට ලබාගන්න පුළුවන් වුණා.
ප්‍රසාද් වෘත්තියෙන් වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙක්. අද වෙද්දී ප්‍රසාද් සිනමා අධ්යක්ෂවරයෙක්. මේ හැමදේම කරගන්න බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
තවත් සිනමා නිර්මාණ දෙකකට මම මේ දවස්වල සූදානම් වෙනවා. ඒ හැමදේම නිදහසේ කරගන්න මගේ බිරිඳගෙන් මට ලැබෙන සහයෝගය වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. දරුවන් බලාගෙන මගේ වැඩවලට ලොකු සහයෝගයක් එයාගෙන් මට ලැබෙනවා. එයාගේ ඒ සහයෝගය නැත්නම් මට ”කම්බිලි” කරන්න ලැබෙන්නේ නැහැ.
• දිශානි ජයමාලි