ඇමතිවරයෙකුගේ සිනමා ප්‍රේමය
‘‘70 දශකයේ නිදහස් ආර්ථීකයත් සමග ව්‍යාපාරිකයන් වෙනත් ලාභදායී ව්‍යාපාරවල ආයෝජනය කිරීමට පෙළැඹීම නිසා එතෙක් වැඩී තිබූ දේශීය සිනමාව, යම් බිඳවැටීමකට ලක්වෙනවා. මේ අවස්ථාවේදී තමයි බන්දුල ගුණවර්ධනයන් විශිෂ්ට සිනමාවක් වෙනුවෙන් ආයෝජනය කරන්නේ. ඔහු තෘප්තිමත් වුණේ, සුභාවිත සිනමාවේ උන්නතියට දායකවීමෙන්’’
මෙසේ කියන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගලය.
ඉකුත් සිකුරාදා පටන් රිදී තිරයෙන් දිස්වන ‘‘සහෝ’’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. ‘‘සහෝ’’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය. වර්තමානයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයත්, ජනමාධ්‍ය අමාත්‍ය ධුරයත්, හොබවන ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අතගැසුවේ ‘‘සහෝ’’ චිත්‍රපටයෙන් නොවේ. ඊට කලිනි. ලිපියේ මුලින්ම සටහන් වූ පරිදි, 70 දශකයේදීය.
එවකට බන්දුල ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ ටියුෂන් අධ්‍යාපනයේ සිටි ප්‍රවීණයෙකි. ඔහුගේ ආර්ථික විද්‍යා පංතිවලට සිසුන් සහභාගී වූයේ දහස් ගණනිනි. එනිසාම ඔහුට මුදල් අගහිඟයක් තිබුණේද නැත.
අනෙක් පැත්තෙන් හැව්ලොක් ටවුන් හි ලුම්බිණි විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ පටන් චිත්‍රපට ගැන මහත් ඇල්මක් ඔහුගේ හිතේ විය. ඒ නිසාම කලාත්මක සිනමාවක් බිහිකිරීමේ සිහිනයක්ද ඔහුට විය. ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ‘‘තුන්වෙනි යාමය’’ චිත්‍රපටය හදද්දී ඊට අර්ථපතීත්වයෙන් සහාය ලබාදෙන්නට බන්දුල ගුණවර්ධන තීරණය කළේ අර කී සිනමා ඇල්ම නිසාමය.
එකල සිනමා නිර්මාණ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ණය ලබා දුන්නේය. ධර්මසිරි ඒ ණය ලබාගත්තත්, එය චිත්‍රපටයේ පිරිවැය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. බන්දුල මදි හරිය ලබාදෙමින් තුන්වැනි යාමයේ සම නිෂ්පාදක වූයේය. තුන්වැනි යාමය ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බන්දුලට දැනුණේ සතුටකි. ඔහු ඒ සතුට භුක්ති වින්ඳේ ඉදිරියටත් හරවත් අර්ථවත් චිත්‍රපට නිෂ්පාදනය කරන්නට තීරණය කරමිනි.
ඔහු ඊළඟට අත ගැහුවේ සුද්දිලාගේ කතාවටය. සයිමන් නවගත්තේගම ලියූ ‘‘සුද්දිලාගේ කතාව’’, ධර්මසිරි බණ්ඩාරනායක ලවාම සිනමාවට නැගීම ඔහුගේ අපේක්‍ෂාව විය. නිදහසින් පසු ග්‍රාමීය වලව් පැලැන්තියට එරෙහිව වෙළෙඳ පන්තිය නැගී සිටීම, ග්‍රාමීය සමාජයේ ලිංගික සූරාකෑම තේමාව වූ සුද්දිලාගේ කතාවේ, තිර පිටපත ලිව්වේද නවකතාව ලියූ සයිමන්මය. ස්වර්ණා මල්ලවආරච්චි සොමී රත්නායක,ජෝ අබේවික්‍රම ප්‍රමුඛ නළු නිලි කැලක් රඟපෑ මෙම චිත්‍රපටය නැරඹූ ප්‍රේක්‍ෂකයෝ සේම චිත්‍රපට විචාරකයෝද කැළඹුණහ. චිත්‍රපටය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වූයේ, තම තෝරා ගැනීම පිළිබඳව, බන්දුලයන්ගේ හිතේ ආඩම්බරයක්ද උපද්දමිනි.
ඊළඟට බන්දුල, සිනමාවට රැගෙන ආවේ පරාක්‍රම නිරිඇල්ලවය. පළමුවැනියා සහ අන්තිමයා නමින් කළ කෙටි චිත්‍රපටයකින් සම්මාන ලබා සිටි නිරිඇල්ල, සිනමා ගමනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් සයිමන් නවගත්තේගම ලියූ සිරිමැදුර නම් තිරපිටපත ලබාදෙමින්, නිරිඇල්ල සිනමා ලෝකයට රැගෙන එන්නට බන්දුල සමත්විය. මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස් ප්‍රමුඛ නළු නිළි රැසක් සිරිමැදුරේ රඟපෑවෝය.
හොඳම චිත්‍රපටය, හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂ, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා අධ්‍යක්‍ෂණය, හොඳම සංගීත අධ්‍යක්‍ෂණය, හොඳම චිත්‍රපට ගීත රචනය, හොඳම ගායනය යන සියල්ලටම 1990 පැවැති සරසවි සම්මාන උළෙලේදී සම්මානිත වූයේද සිරිමැදුරය.
බන්දුලගේ හිත ඊළඟට යොමුවූයේ අයෝමාටය. දෙනගම සිරිවර්ධන ලියූ නවකතාවක් වූ අයෝමාද, නිරිඇල්ල ලවාම අධ්‍යක්‍ෂණය කරන්නට බන්දුල තීරණය කළේය.
ස්වර්ණා මල්ලවආරච්චි, අයෝමාට රඟපෑ මේ චිත්‍රපටයේ නිල්මිණී තෙන්නකෝන්, සොමී රත්නායක, වින්සන්ට් සේරසිංහ ඇතුළු නළු නිළි කැළක් රඟපෑහ.
බන්දුල සර්ගේ ගෝලයකු වූ සරත් කොතලාවල, තවත් නළුවකු වූ කුමාර තිරිමාදුර සමඟ බන්දුල ගුණවර්ධනයන් හමුවන්නට ආවේ, අයෝමා හදා කාලයකට පසුවය.
‘‘සර් අපි දෙන්නා තිර පිටපතක් ලිව්වා. සර් ටිකක් කියවලා බලන්න.’’
සරත් කීවේ කඩදාසි ගොන්නක් බන්දුල අත තබමිනි.
බන්දුල එය අතට ගත්තේ ගෝලයාගේ වෑයම අගය කරමිනි. ඉනික්බිති ඉවසිල්ලෙන් කියවද්දී බන්දුලට හැඟුණේ එම තිර පිටපතේ ඇත්තේ ජාත්‍යන්තර ඇගයීමකට ලක්විය හැකි වස්තු බීජයක් බවය. ඔහු තම ගෝලයාට කතා කර පැවරුමක් දුන්නේය. ඒ පැවරුම වූයේ චිත්‍රපටයේ හැම ජවනිකාවක්ම චිත්‍රගත කිරීමය.
සරත්’ කුමාර සමඟ පිටව ගියේ අප්‍රසාදයෙන් නොවේ. ඔවුන් බන්දුල සර් දුන් පැවරුම කරගෙන ගියේය.
එය අවසන් කර බන්දුල සර් හමුවේ තැබීය.
ඔහු ලකුණු දෙන්නට මෙන් මහත් ඕනෑකමින් පැවරුම දෙස බැලුවේය.
බොහොම හොඳයි. ලකුණු සීයම වුණත් දෙන්න පුළුවනි. හොඳයි දැන් ඉතින් ඔය දෙන්නම ඔයාලගෙ තිර පිටපත අධ්‍යක්‍ෂණය කරන්න.
බන්දුල සර්, තවත් පැවරුමක් ගෝලයාට දුන්නේය. එච්.ඩී. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ ද දායක කරගනිමින් බන්දුල ගුණවර්ධන, නිෂ්පාදනය කළ ඒ චිත්‍රපටය ‘‘ද නිව්ස්පේපර්ස්’’ විය. සරත්, කුමාර, මෙන්ම ගිහාන් ප්‍රනාන්දු, මාෂි සිරිවර්ධන, පුබුදු චතුරංග ඇතුළු පිරිසක් මෙහි රඟපෑහ. ජාත්‍යන්තර සිනමා උළෙල රැසකින් සම්මානිත වූ එම චිත්‍රපටයට ලැබුණු සම්මාන තාමත් අවසන්ව නැතැයි සිතමි.
මහාචාර්ය ආරියරත්න ඇතුගල, ‘‘සහෝ’’ හදන්නට, ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සහාය ඉල්ලන්නේ ඔය අතරය. හැමදාමත් කුසලතා පූර්ණ අලුත් අධ්‍යක්‍ෂවරුනට අත්වැල් සැපැයූ බන්දුල, ඇතුගලට ‘‘සහෝ’’ හදන්නටද සහයෝගය දුන්නේය. දසුන් පතිරණ, බිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ ප්‍රමුඛ නවක නළු නිළි කැලක් රඟන ‘‘සහෝ’’ ද ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මාන ලබාගෙන තිබීම විශේෂත්වයකි.
බන්දුල ගුණවර්ධන අතගැසූ හැම චිත්‍රපටයක්ම පාහේ බොහෝ සම්මානවලට පාත්‍ර වීම විශේෂත්වයකි. එහෙත් ඔහු චිත්‍රපට හදන්නේ ලාභ ලැබීමට නොව, කලාත්මක සිනමාවකට අත හිත දිය යුතුය යන පරම පවිත්‍ර චේතනාවෙනි. ‘තමර සිනෙරු ෆිල්ම්ස්’ ඒ අතින් විශිෂ්ටයි.
බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා ගමන පිළිබඳ තොරතුරු සහිත සුබන්ධු සිනමාවත කෘතිය ඉකුත්දා ඔහුගේ හැත්තෑ වෙනි ජන්ම දිනයදා එළි දුටුවේය. මෙම ලිපිය සැකසෙන්නේද එහි වූ තොරතුරු ඇසුරින් බව එහි සංස්කාරක මණ්ඩලයට ගෞරවයක් ලෙස ලියා තබමි.