ඇත්තටම මම වාහනය ඇතුළේ මැරෙන්න ගියපු අවස්ථාවක් තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය "රථගාය" මෙවර මේ විශේෂාංගයට අපි සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ලෝක වාර්තා දෙකකට හිමිකම් කියූ කලා ලොවේ විවිධ අංශවලින් ප්‍රවීණයෙකු වූ බුද්ධික රඹුක්වැල්ල. 

බුද්ධික රඹුක්වැල්ල  කියන්නේ රථගාය තියන කෙනෙක්ද? 

සැරටම රථගාය තියෙන කෙනෙක්.  ඒ රථ ගාය හින්දම තමයි මම ලෝක වාර්තා දෙකත් පිහිටෙව්වේ. මගේ එක ලෝක වාර්තාවක් තමයි පැයට කිලෝමීටර් 72ක වේගයෙන් 101Km 300m යාපනය ඉදන් තිස්සමහාරාමයට රිවස් කළා පැය දෙක හමාරක් ඇතුළත. අනිත් එක තමයි අත් දෙක දම්වැල් දාලා ගැට ගහලා ගියර් දැම්මේ ඔක්කොම කළේ කකුලෙන් එහෙම ගියා පේදුරුතුඩුවේ ඉදන් කතරගම වෙනකන් 903Km  එලෙව්වා.

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මම චූටි කාලේ ඒ කියන්නේ 7 වසරේ වගේ කාලේ තමා  Driving ඉගෙන ගන්න පටන් ගන්නේ. මගේ බාප්පා තමයි මට චූටි කාලේ  Driving කියලා දුන්නේ. බාප්පා කරන්නේ එයා  Driving seat එකේ ඉන්නවා මම එහා පැත්තේ seat එකේ ඉන්නවා.  මුලින්ම මට Steering wheel අත් දෙක විතරයි තියන්න දෙන්නේ. මම ඉතින් එහා පැත්තේ සීට් එකේ ඉදගෙන Steering wheel එහාට මෙහාට කරකවනවා. ඒක තමයි ඉතින් පළවෙනි  Driving Experience එක. මගේ ගම උඩුදුම්බර අපේ බාප්පා හිටියේ කොළඹ ඉතින් ඒ කාලේ බාප්පා ගමේ එනකන් හරි අපි කොළඹ යනකන් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා වාහනය එලවන්න.  

ඊට පස්සේ කාලයත්  එක්ක බාප්පාම මට දුන්නා වාහනය එලවන්න පස්සේ මමත් ටික ටික පුරුදු වුණා  මම කොළඹට ආවාට පස්සේ Driving ඉගෙන ගත්තා. පළවෙනි පාර ලර්නස්  Exam  එකටත් දැම්මාම මාව ට්‍රයල් එකෙන් ෆේල් කළා. ඒ කියන්නේ මම රිවස් එක ෆේල්. එතකොට මට හම්බ වුණේ මෝටර් සයිකල් විතරයි. මේ කණගාටුවෙන් මම හිටියා මොකද මම ෆේල් වෙන්න දේවල් කරන කෙනෙක් නෙමෙයි. කරන දේ හරියටම කරනවා. ඉතින් දෙවෙනි වතා​ෙව තමයි ආපහු පුරුදු වෙලා ගිහින් ලයිසන් එක ගත්තේ.

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදාද?

මම මුලින්ම වාහනයක් ගත්තේ 2002 දී ඒ ගත්තේ LiteAce 2C කියන වර්ගයේ වෑන් එකක්. ඒක රතු පාටයි යටින් සිල්වර් Line එකක් වගේ යනවා. සාරංගා කියවු කැසට් එකක් කළා. එකේන් ලක්ෂයක් විතර හම්බ වුණා. ඒත් එක්කම පොඩි Finance එකකුත් දාලා තමයි මේ වාහනය ගත්තේ. 

වාහනය අරගෙන දැන් අම්මාටයි අප්පච්චිටයි පෙන්නන්න උඩුදුම්බර අරන් යන ගමන් මම මඟ දිගට අහගෙන ගියේ ඇන්ටන් රොඩ්‍රිගූ ගේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා කියන කැසට් එක මට ඒක හොඳට මතකයි. ඉතින් මම වාහනය ගෙදර අරන් ගිහින් අම්මලාටත් පෙන්නලා අම්මාට කිවුවා ටවුන් එකට ගිහින් එන්නම් කියලා. ගිහින් මම මහියංගනය පැත්තට ‍රිවස්  එකේම ගියා. දහ දට වංගුවෙත් වංගු 3ක් විතර යනකන් රිවස් එකේ ගියා.  ඒක ලේසි වැඩක් නෙමෙයි මොකද ඒ පැත්තේ වංගුත් තියෙනවා පෙරලුනොත් එහෙම හත් දවසේ දානේ වෙනකන්ම පෙරලෙනවා. ගෙදරිනුත් බලනවා ටවුන් එකට ගියපු කොල්ලා තාම නැහැ කියලා. 

මුලින්ම වාහනයක් ගත්තහම මොකද කරන්නේ?

බුද්ධාගමේ කෙනෙක් වශයෙන් මම මුලින්ම වාහනයක් ගත්තම පන්සලට ගිහිල්ලා ඒ ආගමික වතාවත් කරනවා වාහනවලට අධිපති දෙවියන් විදියට අපි සලකන්නේ කතරගම දෙවියෝ ඉතින් උන් වහන්සේ ළඟටත් ගිහිල්ලා සෙත් ශාන්තියක් කරගෙන ඊට පස්සේ යන්නේ අම්මලාට වාහනය පෙන්නන්න තමයි. දෙහි එල්ලන එක නම් මම කරන්නේ නැහැ හැබැයි මම ඒක හෙලා දකින්නෙත් නැහැ. මොකද එක් සම්පූර්ණයෙන්ම තියෙන්නේ එක එක්කෙනාගෙ විශ්වාසය මත නිසා. කොහොම වුණත් අපි වාහනය ගත්තම කරන්න ඕනේ පරිස්සමින් Driveකරන එක තමයි.      

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවාද?

අපි වගේ අයට තියෙන ලොකුම අත් දැකීම් තමයි ඒවා. අමතක නොවන එකකට තියෙන්නේ ඇත්තටම මම වාහනය ඇතුළේ මැරෙන්න ගියපු අවස්ථාවක් තිබුණා.  ඒ කාලේ මම TNL Dialog රිද්ම රාත්‍රිය නිවේදනය කරනවා. ඒකේ රෙකෝඩින් එකක් ඉවර වෙලා ගෙදර එනකොට මම යාලුවෙක් එක්ක කෝල් එකක හිටියේ. එතකොට මම වාහනය එලවගෙන එනවා. ටික වෙලාවක් යද්දී මට කර ගදක් එනවා. මම යාලුවාටත් කිවුවා කර ගදක් එනවා කියලා පස්සේ එයා කිව්වා ඉස්සරහා යන වාහනයේ වෙන්න ඇති කියලා. ඇත්තටම ඉස්සරහා යනවා දුම දාගෙන වාහනයක් මමත් හිතුවා ඒකේ වෙන්න ඇති කියලා. ඔහොම ටික වෙලාවක් යනකොට එක පාරටම වාහනයේ ඔක්කොම ලයිට් පත්තු වෙන්න ගත්තා. හොල්මන් වගේනේ එහෙම එක පාරටම ලයිට් පත්තු වෙනකොට. මම නිකමට පිටිපස්ස හැරිලා බැලුවා මොකද මේ ලයිට් පත්තු වෙන්නේ කියලා. බලනකොට වාහනයේ ඇතුළේ පිටිපස්ස ගිනි ගන්නවා.           
මම එවලේම වාහනය නතර කළා. මේ දෙය විශෙෂයෙන්ම කියන්න ඕන මොකද මේ ප්ලාස්ටික් රබර් වගේ දේවල් ගිනි ගන්නකොට පිට වෙන්නේ කාබන් මොනොක්සයිඩ් කියන වායුව. ඒක අපි ආග්‍රානය කළොත් අපිට සිහිය නැති වෙනවා. ඒ නිසා තමයි වාහන ගිනි ගත්තම ඇතුළේ ඉන්න අය මැරෙන්නේ. මම දැන් මේ දේ දැනන් හිටපු නිසා මම කලේ එක පාරටම හුස්ම අල්ලගෙන වාහනයෙන් එලියට පැනපු එක එහෙම පැන්නා විතරයි එක පාරටම වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එක පිපිරුණා. ඒ සද්දෙට මිනිස්සු ඇවිල්ලා පස්සේ වාහනය නිමුවා ඒත් ඒ වෙද්දිත් වාහනයේ බාගයක් විතර ගිනි අරන් ඉවරයි.          

දැන් පාවිච්චි කරන වාහනය මොකක්ද ඒ වාහනය එක්ක තියන  හොඳම මතකය මොකක්ද?

දැන් මම පාවිච්චි කරන්නේ කළු පාට මොන්ටෙරෝ එකක්. ඒක අරන් දැන් වැඩි කාලයක් නැහැ. ඒ හින්දා එහෙම ලොකු මතකයක් එකතු වෙලා නැහැ. මතකයක් කියලා තියෙන්නේ ඉතින් වාහනයට ඔරොත්තු දෙනවාටත් වැඩිය කට්ටියව මම දාගෙන යනවා විශේෂයෙන් මගේ යළුවෝ ටික.

මේ වෙනකන් පාවිච්චි කරපු වාහනවලින් කැමතිම වාහනය මොකක්ද?

මෙහෙමයි මට මොන වාහනය ගත්තත් ඉතින් මුලින්ම ඒක හොඳට හදන්න ඕන. එහෙම ලස්සනට හැදුවට පස්සේ මට ඒක විකුණන්න ලෝබයි. එහෙම බලද්දී මම මේ වෙනකන් පාවිච්චි කරලා තියෙන්නේ වාහන 10ක් 15ක් වගේ වගේ තමයි. ඉතින් මේ වෙනකන් ගත්තු හැම වාහනයම කැමැත්තෙන් නෙමෙයි විකුණුවේ. ඒ ඔක්කොම වානහවලට මම කැමතියි. වාහන බිස්නස් කරන මගේ යාලුවෝ කියන දෙයක් තමයි මට වාහනයක්  අ‍රන් දීලා මාසයක් විතර මම ගාව වාහනය තිබ්බාම මම ඒක හොඳටම හඳනවානේ ඊට පස්සේ එයලා ගන්නම් කියනවා. 

බුද්ධික රඹුක්වැල්ලගේ Dream vehicle එක ගැනත් කියමු? 

Dream vehicle එක කියන්නේ මෙහෙමයි ඉතින් එක එක්කෙනාගේ අවශ්‍යතා මත වාහන කියන දේ වෙනස් වෙනවා. ඉතින් මගේ Dream එක වුණේ කාර් එකට චුට්ටක් එහා ගියපු වාහනයක් ගන්න. ඉතින් මම හිතනවා මම දැන් ඉන්නෙ මගේ Dream එකේ කියලා.  

ලිහිණි ලියනගේ