ඇත්තටම මම වගේ කලු මනුස්සයෙක් ප්‍රධාන චරිතෙකින් රඟපාන එකත් විශේෂයක්නෙ
SI සමරක්කොඩි කිව්වම ගොඩක් අය හිතන්නෙ පොලිසියේ වැඩකරන නිලධාරියෙක් කියලා. නමුත් මේ කතා කරන්නෙ පොලිසියක් නැති එකම SI කෙනෙක් ගැන. ඒ මේ දිනවල විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන පුංචි තිරයේ කතාබහට ලක්වෙලා ඉන්න SI සමරක්කොඩි කියන රංගන ශිල්පියා පිළිබඳව
‘ජානු’ හි ‘අල්පොන්සෝ’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා මේ වෙද්දි, යන එන හැම තැනකම ඒ ගැන කතා කරනවා. ඇත්තම කිව්වොත් මේ නිර්මාණය විකාශය ආරම්භ කරලා තවම සතියක් වගේ. ඒ තුළ මගේ චරිතය රූපවාහිනියෙ දිගහැරුණෙ තවම දවස් දෙකක් තුනක් වගේ. නමුත් මේ නිර්මාණය විකාශය ආරම්භයටත් පෙර මෙහි වීඩියෝ ක්ලිප් සමාජ ජාලා ඔස්සේ දකින්න ලැබුණා. ඒ හරහාත් අල්පොන්සෝට හොඳ ප්‍රතිචාර ලබාගත හැකි වුණා.
ඉතින් මේ නිර්මාණයත් අපේ චරිතත් ප්‍රේක්ෂකයෝ ඉතා හොඳින් වැළඳගෙන තියෙනවා කියලා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාර එක්ක.
ඉතින් මේ අල්පොන්සෝ ගැන කතා කරමුද?
අල්පොන්සෝ කියන්නෙ ඇත්තටම මට ලැබුණු වෙනස්ම විදියේ චරිත රංගනයක්. ඔහු අම්මගේ තුරුලෙම හැදුණු වැඩුණු කෙනෙක්. මිල මුදල් යහමින් තියෙන වලව්වක පුද්ගලයෙක්. පොල්වතු, ව්‍යාපාර හොඳටම තියෙනවා ඔහුට, වයසත් ගෙවිලා තියෙන්නෙ. නමුත් විවාහයක් ගැන හිතන්නෙ නැහැ. ඒත් නොහිතන මොහොතක ගැහැණු ළමයෙක් දැකලා ඇය ගැන ඔහුට ආදරයක් ඇතිවෙනවා. ඒ ආදරයත් එක්ක සිද්ධ වෙන කතාන්දරයක් තමයි මගේ චරිතය හරහා දිගහැරෙන්නෙ.
මේ චරිත රංගනය දැනෙන්නේ කොහොමද?
‘ජානු’ මේ නිර්මාණයේ තේමාව ගත්තත් ඒ තුළ කියවෙන්නෙ ‘මඟහැරුණු හිත්වලත් තියෙනවා ප්‍රේමයක්’ යනුවෙන්.
ඇත්තටම අපි හැමෝගෙම හිත්වල ජීවිතේ කවදාවත්ම අමතක කරන්න බැරි හදවතට දැනුණු ළං කරගන්නට නොහැකි වුනු ආදර කතා තියෙනවා. ඒ වගේම වර්තමානයේ ලංකාවෙ නොගැළපෙන විවාහවලට ගිහින් දුක්විඳින පිරිස් බොහොමයකුත් ඉන්නවා. ඉතින් මේ නිර්මාණය තුළින් බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ ජීවිත කතා මතකයට නැගෙනවත් ඇති. ඒ නිසා තමයි මේ නිර්මාණය ආරම්භ කරලා සතියක් ගෙවෙන්නටත් පෙර බොහෝ පිරිසක් මේ නිර්මාණය වටා එකතුවෙලා ඉන්නෙ. ඒ වගේම ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නෙ. ඒ සියලුම කාරණා එක්ක බලද්දී මගේ ජීවිත කතාවෙත් සමහර දේවල් මේ තුළ බද්ධවෙලා තියෙනවා කිව්වොත් හරි. මොකද මම සැබෑ ජීවිතේ විවාහ වෙලා ඉන්න කෙනත් මට වඩා අවුරුදු ගණනක් බාලයි. ඒ තුළ වැඩි වයස පරතරයක් තියෙනවා. ඒ වගේම ඇය මට වඩා ගොඩක් ලස්සන කෙනෙක්. ඒවත් එක්ක මගේ සැබෑ ජීවිතේ ඒ විවාහයටත් භාහිර බලපෑම් ආවා.
ඉතින් මේ රංගනය එක්ක බලද්දි මගේ සැබෑ ජීවිතේ දේවල් මේ තුළ තියෙනවා. ඒ නිසා මේ චරිතය මට වැඩිපුර දැනෙනවා කිව්වොත් හරි.
ඒ කියන්නෙ සැබෑ ජීවිතේ අත්දැකීම් එක්ක ‘අල්පොන්සෝ’ චරිතය තාත්ත්විකව කරගෙන යන්න හැකිවෙලා තියෙනවා.
ඔව්, අනිවාර්ය යෙන්ම මම කොහොමත් මගේ ජීවිතේ තුළ මිනිස්සුන්ව අධ්‍යයනය කරනවා. මිනිස්සුන්ගේ සජීවි අත්දැකීම් අධ්‍යයනය කරමින් ජීවත් වන කෙනෙක්. පුරුද්දක් විදියට ඔවුන්ගේ ඒ හැසිරීම් රටාවන්වල පුංචි හෝ වෙනසක් තියෙනවා නම් ඒ දේවල් ඉක්මනටම ඔළුවට දාගන්නවා. මම විශ්විවිද්‍යාලයේ මගේ ව්‍යාපෘතියකට කළේත් මිනිසුන්ගේ විවිධ රටාවන් කොහොමද රංගනයට යොදාගන්නෙ කියන දේ, ඉතින් ඒ තුළින් මම පුරුද්දක් විදියට ඔවුන්ගේ ඒ දේවල් එකතු කර ගන්නවා. ඒ එකතු කරගත්තු දේවල් තමයි මම සමහර චරිතවලට එකතු කරගන්නෙ.
මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වන ‘ජානු’ චරිතයෙන් ලැබෙන සහාය කොහොමද?
ජානු චරිතය වෙනුවෙන් රංගනයෙන් එකතුවෙලා ඉන්නෙ කවිහාරි අතපත්තු, ඇයගේ පළමු ටෙලි නිර්මාණ අත්දැකීම තමයි මේ. ඇයගේ පළමු ටෙලි නිර්මාණ අත්දැකීම මෙය වුනත් ඉතා හොඳින් රංගනයෙ යෙදෙනවා. ඇය දක්ෂයි ඇත්තටම. මගෙ චරිතය කරගන්නත් ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. ඇයට මේ තුළ හොඳ ගමනක් යන්න හැකිවෙයි කියලා හිතෙනවා. ඒ වගේම මේ රංගනය වෙනුවෙන් අධ්යක්ෂවරයාගෙනුත් ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මේ තුළ රංගනයේ යෙදෙන හැම රංගන ශිල්පියෙක්ටම ඔහු හරිම විදියට හසුරවනවා. ඒ නිසා හැමදෙනාටම වගේ තම තමන්ගේ චරිත රංගනයන්ට යන්න හරිම පහසුයි. රංගන ශිල්පීන් විදියට අපිත් කැමැතියි අපිව හොඳින් අධ්‍යක්ෂණය වෙනවට. ඉතින් මේ තුළ මෙහි අධ්යක්ෂවරයා හසුන් සමීර ඒ දේ හරි විදියටම කරනවා.
ඒ කියන්නෙ මෙහි අධ්‍යක්ෂකවරයා රංගන ශිල්පීන්ගේත් දක්ෂතාවලින් හොඳ වැඩක් ගන්නවා.
ඇත්තටම ඔව්. අපේ දක්ෂතා වලින් වැඩක් අරගෙන තියෙනවා කියලා මටම කියපු අය හිටියා. ඇත්තටම මම වගේ කලු මනුස්සයෙක් ප්‍රධාන චරිතෙකින් රඟපාන එකත් විශේෂයක්නෙ. ඒ වගේම විශේෂම දෙයක් කියන්න ඕනැ මට මේ වෙද්දි 24 දෙනෙක් කියලා තියෙනවා මේ චරිතය තුළ මම ජෝ අබේවික්‍රම මහතා වගේ කියලා.
මට එතුමා එක්ක සමාන වෙන්න බැහැ. නමුත් ඒ විදියෙ ප්‍රතිචාර තියෙනවා. මේ චරිතයට එකතු වුණු පළමු දිනයේ මෙහි අධ්යක්ෂවරයා කිව්වෙත් මේ තුළින් විජය කුමාරතුංග සමඟ ජෝ අබේවික්‍රම රංගනයෙන් දායක වෙනවා වගේ රංගනයක් ඕනැ කියලා. ඉතින් අද වෙද්දි ඒ ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තියෙනවා. හරිම සතුටුයි ඒ සම්බන්ධව.
තිරෙන් එහා මේ කණ්ඩායම කොහොමද?
ඉතාම හොඳ කණ්ඩායමක්. එකම පවුලක් වගේ. හැමදෙනාම ඉතාමත් ආදරෙන් සහයෝගයෙන් කතා කරගෙන වැඩේ කරගෙන යනවා. කණ්ඩායම තුළ බැඳීම, රංගන ශිල්පී ශිල්පිනියන්ගේ ඒ සහයෝගය හැමදේම එක්ක තමයි මේ තුළ සාර්ථකත්වය තියෙන්නෙ. ඉතාම හොඳින් හැමදෙනාම හැමෝටම සහයෝගය දක්වන ගමන් මේ වැඩකටයුත්ත කරගෙන යනවා.
මීට අමතරව එන්න තියෙන නිර්මාණ මොනවද?
දෙරණ නාළිකාවෙ අලුත් වැඩක් එන්න තියෙනවා ‘රෝස’ ඒ වගේම තවත් නිර්මාණ 6 කින් විවිධාකාර චරිත 6 කින් මාව ඉදිරියේදී දකින්න ලැබෙයි ඉතා නුදුරේම.
ඒ කියන්නෙ මේ වසර SI සමරක්කොඩිට වාසනාවන්ත වසරක්?
ඔව්. ඇත්තටම රංගනයන් තුළ මගේ හැකියාවන් පෙන්නන්න පුළුවන් වසරක් වෙයි කියලා හිතනවා.
වේදිකාවෙ වැඩ කොහොමද?
වේදිකාව තුළ මේ දිනවල ‘හුණුවටයේ කතාව’, ‘කැළණි පාලම’, ‘කුවේණි, ‘මාරක ළිඳේ සවාරියක්’ Love and Life තමයි වේදිකාගත වෙන්නෙ.
මේ වෙද්දි රංගනයමද ඔබේ ජීවිතය වෙලා තියෙන්නෙ?
ඔව්. මොකද මේ මම බලාපොරොත්තු වුණු හීනයක්. මම ඇත්තටම මේ වෙද්දි කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා අවුරුදු 23 ක් වෙනවා. වේදිකාවෙන් පටන් ගත්තු ජීවිතේ ඒ තුළ ලොකු කට්ටක් කාලා මේ ගමන අද වෙද්දි ඇවිල්ලා ඉන්නෙ. මම එක කාලෙක ගොඩක් වැඩ කළා. නමුත් මේ ක්ෂේත්රය තුළම දෙයක් ඉගෙනගෙන අධ්‍යයනයක යෙදිලා එන්න ඕනැ කියලා මට හිතුණා. ඒ නිසාම මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න හිතුවා. ඒ ඉගෙනීමත් එක්ක අවුරුදු 31 න් ඒ කියන්නෙ ගොඩක් වයසට ගිහින් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරන්න සම්බන්ධ වෙනවා. අවුරුදු 35 දී තමයි ඒ තුළින් ඉවත් වෙන්නෙ. ඒ හැමදේම කරන්නෙ කලාවට තියෙන ආදරේ නිසාම තමයි. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උපාධිය ගත්ත වයසකම ශිෂ්‍යයා මම තමයි. මුලින්ම මම වානිජ විෂය හදාරලා අවුරුදු 13 කට පසුව තමයි සෞන්දර්යය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ. ඒ දේත් එක්ක මම ගොඩක් මහන්සිවෙලා පිටරට ගිහින් වැඩිදුරටත් ඉගෙන ගෙන ලොකු කට්ටක් කාලා නැවත මේ ක්ෂේත්රයට එන්නෙ. ඉතින් අද වෙද්දි ඒ ඉගෙන ගත්ත දේ ප්‍රතිඵලයක් දකින්න තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම අද මේ ක්ෂේත්රය තුළ ඉන්න තැන ගැන ගොඩක් තෘප්තිමත්. අද රංගනය තමයි මගේ ජීවිතේම.