ඇත්තටම මට හිතෙනවා සසරෙ මොකක් හෝ පිනක් කරලා ඇති මෙතරම් ප්‍රතිචාර ලබන්න
‘කරකාර බඳින්නට කාලෙ හොඳා....
බහ දුන්නෝතින් ආල හිතින්...
මනලෝල රුවැතිතියේ කෝල නොවී...
මගේ මූණ බලාන කියන්...
මගේ පුංචි පැලේ සිරිදේවි වෙලා
නුඹ කැමතිද ඉන්න කියන්...
මේ දිනවල ඔබත් මෙය නිරන්තරයෙන් මුමුණමින් සිටින ගීතයක් බව නම් නොරහසක්. ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා විසින් ගායනා කළ මෙම ගීතය අද වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නෙ යොවුන් පරපුරේ දක්ෂ ආකර්ෂනීය ගායන ශිල්පිනියක් නිසා. කාංචනා අනුරාධි නම් ආදරණීය කලාකාරිනියක් වන ඇය මෙම ගීතය ගායනා කරන්නේ එහි ප්‍රතිනිර්මාණයක් ලෙසින්.
කරකාර බඳින්නට කාලෙ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්’’ කාටද කාංචනා මේ කියන්නෙ?
කියන්නෙ කරකාර බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමයි.
කාංචනාට තවම අදහසක් නැද්ද කරකාර බඳින්න?
මට තවම අවුරුදු 23යිනෙ. ඉතින් මම හිතනවා තව කල් තියෙනවා කියලා. කරකාර බඳින කාලෙ හොඳා කියලා හිතුණ දවසට බඳිනවා.
ඉතින් මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමු?
ඇත්තටම තිතාගන්න බැරි විදියට අති විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ගොඩක් දෙනෙක් මට කතා කරලා අහන්නෙ කරකාර බඳින්නෙ කවදද? කියලා තමයි. ඇත්තටම මම මේ ගීතය බොහොම ආදරයෙන් ගෞරවයෙන් ගායනා කළේ උපාලි කන්නංගර මහත්මයාට ගෞරවයක් විදියට. එතුමාගේ පවුලේ පිරිස එකතුවෙලා කරපු ව්‍යාපෘතියකදි තමයි මම මේ ගීතය ගායනා කරන්න තෝරා ගත්තෙ. ඉතින් ඒ පවුලේ හැම දෙනාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනැ. ඒ වගේම විශේෂයෙන්ම ‘‘නාද’’ සංගීත කණ්ඩායම. ඔවුන්ගේ නව සංගීත සංයෝජනයක් එක්ක තමයි ගීතය නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ සංගීතයත් එක්ක ගීතයේ රසයත්, පද මාලාවත් හැමදේමත් එක්ක මුසුවෙලා මගේ ගායනයත් එක්ක ගීතයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා හිතාගන්න බැරි විදියට.
මේ තරම් ආන්දෝලනයක් ඇතිවෙයි කියල හිතුවද?
කොහෙත්ම නැහැ. ‘‘නාද’’ සංගීත කණ්ඩායමත් එක්ක තමයි නව සංයෝජනයක් විදියට මේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් සිද්ධ වෙන්නෙ.. නමුත් එය එළිදක්වන්න කලින් මම වැඩසටහනක මේ ගීතය ගායනා කළා. ඒ හරහා තමයි ගීතය ගොඩක් දෙනෙක් නරඹලා ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ. ඇත්තටම රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක හැමෝම වගේ ලොකු වේදනාවකින් පීඩනයකින්නෙ ජීවත් වෙන්නෙ. එවැනි තත්ත්වයක් යටතේ විනාඩි 3ක් වගේ පුංචි කාලෙක මිනිසුන්ගේ හිතට පුංචි හෝ සහනයක් සැනසීමක් ලබාදෙන්න මට මේ ගීතයෙන් හැකිවෙලා තියෙනවා. ඇත්තටම ඒක මටත් ලොකු සතුටක්. විශේෂයෙන්ම මේ ගීතයේ මුල් ගායකයාට ඒ නිර්මාණ ශිල්පියාට විශිෂ්ට සංගීතවේදියාට ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම පුද කරන්න කැමතියි. මොකද මම මේ ලබන ප්‍රතිචාර එතුමා නිසානෙ. ගීතය අහන හැමෝම කියන්නෙත් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ කියලා. විශේෂයෙන් මගේ අම්මාත් මේ ගීතයට ගොඩක් කැමතියි. මගේ අනිත් ගීත නිර්මාණවලට වඩා මේ ගීතයට ගොඩක්ම කැමතියි. ගීතය දාගෙන නටනවාත් එක්ක. ඉතින් මට මාරම සතුටුයි ඒ ප්‍රතිචාරවලට. මේ ගීතය ආදරයෙන් වැළඳගත්ත හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
කාංචනාගේ ගීත කොහොමත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රතිචාර ලබන ගීත නේද?
ඇත්තටම මට හිතෙනවා සසරෙ මොකක් හෝ පිනක් කරලා ඇති මෙතරම් ප්‍රතිචාර ලබන්න. ඒ වගේම ඒ ආදරය ලබන්න. මම මුලින්ම Covers කරපු කෙනෙක් නෙමෙයි. මගේම නිර්මාණවලින් තමයි එළියට එන්නෙ. මාව ගොඩක් දෙනෙක් හඳුනගත්තෙ නම් සිරස නාළිකාවෙ විකාශය වුණු 16+ සංගීත වැඩසටහන තුළින්. ඒ අතරෙ මම කරපු ගීත නිර්මාණවලට ප්‍රතිචාර තිබුණා. අකීකරු පෙම් කතාවක්, කාලි, දැනෙන තුරු මා, උදුරාවි, මාවෙත එන්න, නාදෙන් ආදී ගීත නිර්මාණ ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳගෙන තිබුණා. ඇත්තටම මම ගීත නිර්මාණයක් කරන්නෙ ගොඩක් ෂෙයා වෙයි කියන ලොකු බලාපොරොත්තුවකින් නෙමෙයි. නමුත් ලොකු වෙනසක් අරගෙන නිර්මාණ කාර්යයකදී හොඳ දෙයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. හඬ, නද, පද හැමදේම ගැන හිතනවා. ඉතින් හරි සතුටුයි. නිර්මාණයක් කළොත් ඒ හැමදේටම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ අතර ටීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා එහිදී ගීත ගායනා කළොත් ඒ තුළිනුත් ප්‍රතිචාර ලැබෙනවා ඉහළින්ම. මීට පෙර මනමේ නාට්‍ය ගීතයත් ගායනා කරලා ඉහළ ප්‍රතිචාර ලැබුණා. එතැනින් පසුව තමයි මේ දිනවලත් ප්‍රතිචාර ලබමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතරෙ මේ ගීතය ෂෙයා වෙන්නෙ. ඉතින් ඉදිරියටත් මට පුළුවන් උපරිමේ මගේ දායකත්වය මේ ක්ෂේත්රයට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කාංචනාට ගායන හැකියාව උපතින්ම පිහිටලා තිබුණාද?
ඔව්. ඇත්තටම ඒ හැකියාව මට පුංචි කාලෙදිම දැනුණා. ඊට පස්සෙ ඒ හැකියාව වර්ධනය කරගත්තා. කටහඬ පුහුණුවීම් කළා. ඒ වගේම මම තනියෙන් ඉගෙන ගත්තා. හැම ශෛලියකම ගීත ගායනා කරන්න ඉගෙන ගත්තා. O/L සහ A/L වලටත් සංගීතය තමයි කළේ. එතැනින් පසුව මම වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවෙත් සංගීතය පැත්තෙන්. මේ වෙද්දි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යාව උපාධිය විදියට ඉගෙන ගන්නවා. ඉතින් මේ හැමදේම ලොකු ශක්තියක් වුණා මගේ මේ ගමනට.
ගායනය විතරක් නෙමෙයි නර්තනයත් කාංචනාගේ ඇඟ ඇතුළෙ තියෙනවා කියලා පේනවා?
මම පොඩි කාලෙදි නර්තනය හැදෑරුවා. ඒ පහතරට නර්තනය. නමුත් සංගීතයටත් ඒ සමානව සම්බන්ධ වුණා. පාසලේ නාට්‍ය හා රංග කලාවත් කළා. ටවර් හෝල් නුර්තිවලටත් හිටියා. ඒවා එක්ක තමයි මගේ පාසල් කාලය ගෙවුණේ. නමුත් මම විෂයක් විදියට සංගීතය තමයි වැඩිදුර අධ්‍යයනය කරන්න තීරණය කළේ. නමුත් මගේ නර්තනයට ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා.
පාසලේදි වේදිකාවෙ ලොකු දායකත්වයක් තියෙන්න ඇති?
ඔව්. අනිවාර්යයෙන්ම. මම මුලින්ම පාසලේ ගියේ වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයට. එතැනින් තමයි මගේ කලා ගමන ආරම්භ කළේ. පසුව මම මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයටත්, ගම්පහ රත්නාවලී විද්‍යාලයටත් ගියේ. ඉතින් මේ පාසල් තුනම මගේ මේ ආපු ගමනට ලොකු ශක්තියක් වුණා.
මගේ පාසල් සහ දහම් පාසල තමයි මේ ගමනට ලොකුම ශක්තිය වුණේ.
මේ වෙද්දි ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක ප්‍රසංග වේදිකාවට වැඩි ඉල්ලුමක් ඇති?
ඔව්. ඇත්තටම මේ දිනවල ආරාධනා රැසක් තියෙනවා. Indoor, Ourdoor, දෙකටම ඉතින් හරිම සතුටුයි. බොහොම ආදරෙන් තමයි මම මේ වෘත්තිය කරන්නෙ. ඉතින් වයස් භේදයකින් තොරව අද වෙද්දි ප්‍රතිචාර ලැබෙනවා. හැම වයසක කෙනෙක්ටම දැනෙන්න ගීත ගායනා කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඉදිරියෙදි මගේම ගීත නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ඒ අතර මගේම පද රචනය, තනුව ගායනය සියල්ලම තියෙන නිර්මාණත් තියෙනවා. ඒ වගේම යුග ගායනා කිහිපයක් තියෙනවා. ප්‍රවීන ගායන ශිල්පීන් සහ නව පරපුරේ ගායන ශිල්පීන් කිහිප දෙනෙක් සමග. ඉදිරියට ඒවා මගේ ආදරණීය රසික රසිකාවියන්ට දැක බලාගන්න හැකි වෙයි.
කාංචනාට ලැබිලා තියෙන රුව, හඬ, හැකියාව හැමදේම එක්ක රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිල නැද්ද?
ආරාධනා කිහිපයක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. පුංචි තිරයට, රිදී තිරයට දෙකටම. නමුත් ගායනය තමයි මගේ ජීවිතේ. ඒක තමයි එකම සැනසිල්ල. මගේ නිර්මාණ තුළ මම රංගනයෙන් දායක වෙනවා. ඒ ඇරෙන්න මම තවම තීරණය කරලා නැහැ රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්රයට එනවද? නැද්ද? කියලා. නමුත් මට ගැළපෙන විදියෙ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ජීවිතේට ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා.
ධනු විජේරත්න