ඇත්තටම මට උපතින්ම ඇඟේ හැඩය පිහිටලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘Fashion’’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතු වන්නේ  කලා ක්ෂේත්‍රයේ රංගනයෙන්, නර්තනයෙන් දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක සිත් තුළ ලැගුම්ගත් ආදරණීය කලා චරිතයක්.ඇය ඩිෂ්නි රාජපක්ෂ. 

ඩිෂ්නිට ‘‘Fashion’’ ගැන මොකද හිතෙන්නෙ?

‘‘Fashion’’ කියන්නෙ එක්තරා කලාවක්. විවිධාකාර විදියේ  Fashion කරන්න සහ ඉගෙන ගන්න මම මාරම ආසයි. ඒ නිසාම මම ඒ සම්බන්ධ වැඩසටහන් ගොඩක් බලනවා. විශේෂයෙන්ම හොලිවුඩ් සහ බොලිවුඩ්වල, සමාජයේ ජීවත් වෙන්න Fashion කාගෙවත් අත්‍යවශ්‍යම දෙයක් විදියට මම දකින්නෙ. ඒ කියන්නෙ සමාජයේ ජීවත්වෙද්දි තමන්ගේ පෞරුෂත්වය පවා පෙන්වන අවස්ථාවක්. ‘‘Fashion’’ තමන්ගෙ පෞරුෂත්වය, ලස්සන ඉස්මතු වෙන විදියට අපි සමාජෙට යන්න ඕනෑ. ඒ තුළින් තමයි පිළිගැනීමක් පවා තියෙන්නෙ. ඒ හැමදේම එක්ක බලද්දී අපිට සමාජයේ ජීවත්වීමට ‘‘Fashion’’ කියන දේ ඉතාම වැදගත්.

ඩිෂ්නිට අනුව කොහොමද ‘‘Fashion’’කරන්නෙ?

ගොඩක් වෙලාවට මම විසින්ම සැලසුම් කරපු ඇඳුම් නිර්මාණ තමයි මම අඳින්නෙ. ඒ ඇඳුම් ඒ ආකාරයෙන්ම හදාගන්න මුලදී මට ප්‍රශ්නයක් තිබුණා. මට අවශ්‍ය විදියට ඕනෑ ඇඳුම හදලා දෙන්න විලාසිතා නිර්මාණකරුවෙක් හිටියෙ නැහැ. ඒ සමහර අවස්ථාවල මට අවශ්‍ය ආකාරයේ බලාපොරොත්තු  වුණු දේ නොලැබුණු අවස්ථාවල මම අපහසුතාවයට පත් වුණා. නමුත් පසුව මට අවශ්‍යම විදියට මගේ ‘‘Fashion’’මම ඉල්ලන ආකාරයට සකස් කරලා දෙන විලාසිතා  නිර්මාණ ශිල්පියෙක් මට මුණගැහුණා. මම ඉල්ලන ආකාරයටම ඒවා සකස් කරලා දෙන නිසා මට දැන් හරි පහසුයි මට අවශ්‍ය ඇඳුම් නිර්මාණයන් කරගන්න,,

ඩිෂ්නිට අවශ්‍ය විදියට ‘‘Fashion’’ නිර්මාණයක් සැලසුම් කරගන්නෙ කොහොමද?

මම ගොඩක් දුරට Fashion වලට කැමති නිසා ඒ සම්බන්ධව නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. දෙස්, විදෙස් ඇඳුම් නිර්මාණ  ගැන අධ්‍යයනය කරනවා. කොහොමත් මට Fashion සම්බන්ධ හොඳ හැඟීමක් දැනීමක් තියෙනවා. ඒ සම්බන්ධ අලුත් අලුත් දේවල් අලුත් විදියට උත්සාහ කරන්න මම හරිම ආසයි. හැම තිස්සෙම වෙනසක් එක්ක අලුත් දෙයක් අඳින්න පළඳින්න තමයි මට ඕනෑ.

‘‘Fashion’’ සම්බන්ධයෙන් Follow කරන කෙනෙක් ඉන්නවද? 

මම ගොඩක් කැමතියි Hollywoodවල Jennifer Lopezට ඇය ඉන්න විදිය සහ ඇයගෙ සිරුර පාලනය කරගෙන ඉන්න විදියට. ඒ ආකර්ශනීය බව  විශිෂ්ටයි. නමුත් මම Fashion Follow කරනවා කියලා දෙයක් නම් නැහැ. නමුත් ඇයගේ Fashion වලට මම කැමතියි. ඒ වගේම Bollywood වල දීපිකා පදුකෝන්ගෙ Fashion වලටත් ලොකු කැමැත්තක් තියෙනවා. ඇත්තම කිව්වොත් මම ‘‘Fashion’’ Follow කරනවා කියලා දෙයක් නැහැ. හිතට දැනෙන හැඟෙන ඇඳුමක් දැක්කොත්  අවිවාදයකින් තොරව ඕනෑම  කෙනෙක්ගෙ ලස්සන ‘‘Fashion’’ එකක් බලන්න දකින්න, ඒක අධ්‍යයනය කරන්න මම කැමතියි.

ඩිෂ්නිව දකින අය කියන්නෙ මොන ඇඳුමටද වැඩිපුරම ලස්සන කියල?

මට ගොඩක් දෙනෙක් කියන්නෙ වැඩිපුරම ලස්සන දිගට ඇඟ වැහෙන්නම ඇන්දම කියලා. දිග ගවුම් ඇන්දම ලස්සනයි කියලා කියන්නෙ.  නමුත් මම ගොඩක් කැමති කොටට පහසුවට ඇඳුම් අඳින්න. ගොඩක් වෙලාවට ඇඟේ හැඩය ඉස්මතු වෙන විදියේ ටිකක් තද ගවුම් අඳින්න මම ආසයි. ඒ වගේම වැඩිපුර ෂෝට් එක සහ ස්කිනිය අඳින්නෙ. 

ඒ ඇඳුම මට හරිම පහසුයි. ඒ නිසා ඒ ඇඳුම වැඩිපුර අඳිනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම තවත් වැඩිපුරම අඳින්න කැමති ඇඳුමක් තමයි සල්වාර්. මම පුංචි කාලේ ඉඳන්ම ඒ ඇඳුමට ආසයි. ඉන්දියානු සංස්කෘතියට ගොඩක් කැමති නිසා වෙන්න ඇති ඒ ඇඳුමට වැඩිපුර  කැමැත්ත තියෙන්නෙ. නමුත් සල්වාර් වැඩි වශයෙන් අඳින්න බැහැනෙ. 

ඩිෂ්නිගෙ ‘‘Fashion’’ විවේචනයට ලක්වුණු අවස්ථා නැද්ද?

මම හිතන්නෙ විවේචන ඇති. මොකද අපි ජීවත්වෙන සමාජෙ එහෙම දෙයක් නොවුණොත් තමයි පුදුමෙ. නමුත් මම විවේචන කියන දේවල් ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. මගෙ ගෙදරින් මගේ අම්මා, තාත්තා දන්නවා මම අවශ්‍ය විදියට තැනට ගැළපෙන විදියට අඳිනවා පළඳිනවා කියලා,, පොඩි කාලෙ ඉඳන් ගෙදරින් මගේ ‘‘Fashion’’වලට බලපෑමක් තිබුණෙත් නැහැ. 

සමාජෙට බම්බු ගහන්න කියලා ‘‘Fashion’’කරන කෙනෙක්ද ඔබ?

මගේ පෞද්ගලික ජීවිතේ මගේ තීරණ කොයිවගේද කියන එකට නම් මම ලොකුවට සමාජය අදාළ කර ගන්නේ නැහැ. නමුත් කලාකාරියක් විදියට මම සමාජයට නිරාවරණය වන හැම අවස්ථාවකම මට පොඩි වගකීමක් තියෙනවා.  යම් දුරකට මගේ රසික පිරිස ගැන හිතන්න. ඉතින් ඒ ගැනත් මම ටිකක් හිතනවා. මොකද ප්‍රේක්ෂක ආදරය කියන්නේ කලාකරුවෙකුට ආභරණයක්. ඔවුන්ගේ ආදරය නිසා තමයි ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ. ඉතින් ඒ ගැනත් නොහිතනවාම නෙමෙයි. ‘‘Fashion’’කිරීමේදී ඒ තුළින් ලැබෙන පිළිගැනීම, ආදරය හැමදේම ගොඩක් වැදගත්.

ඒ ආදරය පිළිගැනීම ලබාගන්න ඩිෂ්නි භාවිතා කරන ඇඳුම් පැළඳුම් ගැන කියමු?

ඇත්තටම  මගේ ඇඳුම් පැළඳුම් භාවිතය ගැන කතා කළොත් මට පන්සල්  යන්න වෙනම  ඇඳුම් ටිකක් වෙන් කරගෙන තියෙනවා. ආගමික වැඩ කටයුත්තකට සම්බන්ධ වෙනවනම් මම දෙපතුළ දක්වාම සුදු සායක් සහ සුදු කුර්තා ටොප් එකක් තමයි අඳින්නෙ. ඊට අමතරව වෘත්තීය මට්ටමේ අවස්ථාවලට අනුව ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා මංගල, අවමංගල උත්සවලට අඳින්න පළඳින්න වෙනස්ම විදියට වෙන් වුණ ඇඳුම්, පැළඳුම් වර්ග කරලා අසුරලා තියෙනවා. 

මම ගොඩක්ම ආසයි විවිධ වර්ණයන්ගෙන් අනූන සපත්තුවලට මගේ ළඟ මල්ටි කලර්ස් කෝට්ෂූස් තියෙනවා. පුංචි කාලෙ ඉඳන්ම විවිධාකාර ෂූස් වර්ග සහ බූට් වර්ගවලට කැමතියි. ඒවගේ වෙනම එකතුවක් තියෙනවා. ඒ වගේම මම විවිධ හැඩ තලවලින් යුක්ත කරාබුවලට කැමතියි. කරාබු පාට පාටින් තියෙනවා. ඉතින් මට මේ දේවල් වැඩිපුරම ගෙනත් දෙන්නේ මගේ නංගිලා දෙන්නා තමයි. මගේ නංගිලා දෙන්නාම විදේශ රටවල ඉන්නෙ. ඒ දෙන්නා මට වඩා ෂොපින් යනවා. ගොඩක් වෙලාවට මම ෂොපින් කළොත් online තමයි ඉතින්. online හරහා නංගිලා මට ලස්සන දේවල් පෙන්නනවා. මම ඒවා තෝරා ගත්තට පස්සෙ නංගිලා තමයි ගොඩක්ම මට ඇඳුම් ගන්නෙ. වාසනාවකට වගේ මගේ ඇගේ හැඩයට ඕනෑම ඇඳුමක් ගැළපෙනවා. මම ‘‘Extra Small’’  ඒ නිසා මෙච්චර කාලෙකට මම තෝරපු ඇඳුමක් අපතේ ගියේ නැහැ. හිරට, මහතට, පොඩිවට එහෙම නැහැ. සිරුරට ගැලපෙන විදියට තියෙනවා. වැඩිපුරම ඉතින් පිටරටින් තමයි ඇඳුම් ගන්නෙ නම්.

‘‘Fashion’’කරද්දී සිරුරේ හැඩයත් අනිවාර්යයෙන් බලපානවනෙ. ඩිස්නි සිරුරේ හැඩය පාලනය කරගන්නෙ කොහොමද?

ඇත්තටම මට උපතින්ම ඇඟේ හැඩය පිහිටලා තියෙනවා. ඒ හැඩය ලැබුණා කියලා මම මොනවත්ම නොකර ඉන්නේ නැහැ. මම ජිම් යනවා. ඒ වගේම නර්තනයත් කොහොමත් කරනවනෙ. ඒ දේවල් වලින් උපතින් ලැබුණු ඒ හැඩය පාලනය කරගෙන යනවා. ඇඟේ හැඩය කියන දේ රංගන ශිල්පිනියකට ගොඩක් වැදගත්. ඒ වගේම මම කෑම බීම වුණත් පාලනය කරනවා. මොකද සමහර රංගනයන්හි චරිත වෙනුවෙන් ශරීරය වුවමනා විදියට හදාගන්න අවශ්‍ය  වෙනවා. ඒ නිසා ඒ ගැනත් හිතනවා. නමුත් මම කෑම පාලනය දුකක් විදියට අරගෙන නැහැ. මම කොහොමත් ලොකුවට කෑම කන කෙනෙක් නෙමෙයි.  කෑම පාලනය කොහොමත් මගේ තියෙනවා.

වර්ණ තෝරගද්දී වැඩි කැමැත්ත? 

මම වැඩිපුරම කැමති ‘‘සුදු’’ පාටට. ඒ වගේම ලා පාටවලටත් කැමතියි. මම ඇඳුමක් ගන්න ගියොත් ගොඩක් වෙලාවට මගේ හිත යන්නෙම ලා පාටවලට. ලා පාටවල චාම් බවක් තියෙනවා. ඒ චාම් බව එක්ක මගේ යම් ලස්සනක් තියෙනවා නම් ඒ ලස්සනත් ඉස්මතු වෙලා පේනවා කියලා මට හිතෙනවා. 

මම සාමාන්‍යයෙන් මේකප් එකක් දැම්මත් කැමති හරිම සිම්පල් විදියේ මේකප් එකක් දාන්න. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මට මේකප් නැතිව ලස්සන කියන දේ  මම කොහොමත්  රූපවාහිනී  වැඩසටහන්වලට, රංගන, නර්තන අවස්ථාවලට ඇරෙන්න සාමාන්‍ය ජීවිතේ හරිම සිම්පල් මේකප් එකක් තමයි දාන්නෙ. 

ඩිෂ්නිට ඉන්නවා කිව්වෙ නංගිලා දෙන්නෙක්නෙ ඉතින් මේ ඇඳුම් පැළඳුම්වලට අක්කලා නංගිලා රණ්ඩු කරගෙන එහෙම තියෙනවද?

අම්මෝ ඔව්, රණ්ඩුවෙලා තියෙනවා. මම ඇත්තටම මගේ ඇඳුම් පැලඳුම් හරිම පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා. පොඩි කාලේ ඉඳන්ම ඒ පිළිවෙල තිබුණා. සපත්තු, මේස්, ඇඳුම් හැමදේම. මගේ ලොකු නංගි මට වඩා අවුරුදු දෙකක් තමයි බාල, ඉතින් නංගිටත් මගේ ඇඳුම් අඳින්න පුළුවන්.

ඉතින් නංගි ඉස්කෝලෙ යද්දිත්, පන්ති එහෙම යද්දි මම පිළිවෙලට තියෙන ඇඳුම් අරගෙන ඇඳගෙන යනවා. වෙලාවකට මම නැගිටින්න කළින් ඒවා ඇඳගෙන ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒවට ඒ කාලෙ  රණ්ඩු වෙනවා. ඒ කාලේ  ඒ සම්බන්ධව අම්මට, තාත්තට පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ. මොකද අම්මා, තාත්තා අපේ දේවල්වලට ඒ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඉතින් මම ඒ කාලෙ  ඒවා දරාගෙන ඉන්න පුරුදු වුණා. 

නමුත් අද මට වැඩිපුරම ඇඳුම් ෂූස් ඒ හැමදේම ගෙනත් දෙන්නෙ නංගි. මම කිසිදෙයක් ගන්නෙ නැති තරම්. නංගිලා දෙන්නගෙන් හැමදේම ලැබෙනවා. ලොකු නංගි රටවල් ගණනාවකම සංචාරය කරන කෙනෙක්. ඒ නිසා ඇයට ගන්නවට වඩා මට තමයි හැමදේම ගන්නෙ. 

සමහරු ‘‘Fashion’’ කරන්න බයයි නේද විවේචනයට ලක්වෙයි කියලා?

ඇත්තටම ඒක අපේ රටේ වැඩිපුර දකින්න තියෙනවා. මම ගොඩක් රටවල්වල සංචාරය කරනවා. ඒ තුළ මම දැකපු දෙයක් තමයි විශේෂයෙන් යුරෝප් රටවල ඉතා පොඩි  රැකියාව කරන පුද්ගලයා පවා හොඳින් ඇඳ පැළඳගෙන මේකප් දාලා ඒ වැඩ කටයුතු කරන්නෙ. පිරිසුදු කරන රැකියාවල නිරත වන පිරිස් පවා. නමුත්  ලංකාවෙ ගැහැනු ළමයි ලිප්ස්ටික් ටිකක් ගාන්නත් බයයි. එහෙම කිහිප දෙනෙක්ගෙන් මම අහලා තියෙනවා හේතුව මොකද්ද කියලා. එතකොට ගොඩක් දෙනෙක් දුන්නු උත්තරය තමයි සමාජයෙන් හිතයිලු ඒ අය නරක කෙනෙක් කියලා. ඒ හින්දා ලිප්ස්ටික් ගාන්න බයයි. ඇත්තටම ඇඳුමෙන්, පැළඳුමෙන් කෙනෙක්ව විනිශ්චය කළාට ඒ ගැන බයෙවන්න අවශ්‍ය නැහැ. තමන් පිළිවෙලට ඉන්න තාක්කල් සමාජයේ පිළිගැනීමත් නිරන්තරයෙන් ලැබෙනවා. ඒ නිසා ප්‍රසන්නව ලස්සනට පිළිවෙලට ඉන්න ‘‘Fashion’’ කරන්න බයවෙන්න එපා.

ධනු විජේරත්න