ඇත්තටම අද ජීවිතේ සැලසුම් හීන, බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ
පුංචි තිරයේ වැඩි ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ආදරණීය චරිතයක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඇය නමින් කස්තුරි ජයවර්ධන.
මේ දිනවල විකාශය වන නිර්මාණ ගැන මුලින්ම කතා කරමුද?
මම රංගනයෙන් දායකවුණු නිර්මාණ අතරින් මේ දිනවල විකාශය වෙන්නෙ වයිබ් TV එකේ (Black pool) ටෙලි නිර්මාණය තමයි. පසුගිය කාලෙ නම් ටෙලි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. ඒ අතරින් මෙට්‍රො හීන, නීල පබළු, සැප්තැම්බරයේ දිග කතාවක් ආදී නිර්මාණවලට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. මේ දිනවල නම් ඉතින් වැඩි ප්‍රතිචාර තියෙන්නෙ (Black Pool) හි චරිතයට තමයි.
“Black Pool” හි වෙනස්ම චරිත රංගනයක් නේද කරනවා කිව්වෙ?
ඔව්, ඇත්තටම ඒ වෙනස්ම චරිත රංගනයක්. මම දුෂ්ට නපුරු චරිතයකින් තමයි එකතුවෙලා ඉන්නෙ. සාමාන්‍යයෙන් මට මීට පෙර ලැබුණෙම ගැමි, අහිංසක වගේ චරිත රංගනයන්. දුෂ්ට චරිතයක් කරන්නෙ පළමු වතාවට. ඉතින් මේ චරිත රංගනය වෙනස්ම අත්දැකීමක්. ඒ නිසාම හරිම ආසාවෙන් කරනවා. හිතාගන්න බැරි විදියට මේ වෙනුවෙන් ප්‍රතිචාරත් තියෙනවා. මේ නිර්මාණයේ අධ්යක්ෂවරයා කැළුම් උඩුවාවල ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෑ මාව විශ්වාස කරලා මේ චරිත රංගනය වෙනුවෙන් අවස්ථාව ලබා දීම පිළිබඳව. මොකද මටත් මේ රංගනය අලුත්ම අත්දැකීමක් නිසා.
පසුගිය කාලෙ දායකවුණු ටෙලි නිර්මාණ රංගනයන් කතාබහට ලක්වුණා නේද?
ඔව්. ඇත්තටම මෙට්‍රො හීන ටෙලි නිර්මාණයේ ‘පවනි’ චරිතයට ගොඩක් දෙනෙක් ආදරය කළා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ‘නීල පබළු’ එහි මහීමාගේ චරිතයත් කතාබහට ලක්වුණු චරිතයක්. මාව ප්රේක්ෂකයො අතරට ගෙනිච්ච චරිතයක්. අදටත් බොහෝ දෙනෙක් කතා කරන්නෙ මහීමා කියලා.
ඉතින් ඒ චරිතය හරිම ආදරණීය චරිතයක් බවට පත්වුණා.
රංගන ශිල්පිනියක් විදියට මේ ආපු ගමන් මඟ ගැන සඳහන් කළොත්?
මම මේ ක්ෂේත්රයට මුලින්ම එන්නෙ TV දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහා. 2019 අවුරුදු කුමරිය දෙවන ස්ථානය ලබාගෙන ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා ආරම්භ කරපු ගමන තමයි අද මේ දක්වා ඇවිල්ලා තියෙන්නෙ.
අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වුනේ රංගන ශිල්පිනියක් වීමේ අරමුණින්ද?
ඇත්තටම නැහැ. මම මේ තරඟයට සම්බන්ධ වෙන්නෙ මගේ කැමැත්තට නෙමෙයි. මගේ ළඟම හිතවත් අක්කා කෙනෙක් ඉන්නවා උදේශිකා විජේවර්ධන කියලා. ඇය තමයි මට කියන්නෙ මේ තරඟයට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේ වෙනුවෙන් ඇය තමයි අයදුම් කරන්නෙත්. මම සහභාගි වුණේ ඒ කැමැත්තට. මම ඇත්තටම හිතුවෙ නැහැ ජයග්‍රහණය කරන්න ලැබෙයි කියන දේ. නමුත් හිතුවෙ නැති විදියට ඒ තරඟයෙන් ජයග්‍රහණය ලබාගන්න හැකි වුණා.
කස්තුරිගෙ කැමැත්තට නෙමෙයිනෙ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වුණා කිව්වෙ? ඉතින් එදා මේ කිරුළ පළඳිද්දි මොකද හිතුණෙ?
සතුටුයි ඒ දවස ගැන. ජීවිතේ සුන්දරම මතකයක්. ඇත්තටම හිතුවෙ නැති දෙයක්. මම අවසාන 12 දෙනාට එකතු වෙන්නවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද ඒ තරඟය වෙනුවෙන් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඉතින් 12 දෙනා අතරටත් ඇවිල්ලා ඒ අතරින් අවසන් තරඟකරුවන් තිදෙනා අතරටත් ඇවිල්ලා දෙවන ස්ථානය ලැබිලා මගේ නම කියද්දි අදහාගන්න බැරි වුණා. ඇත්තටම මීට පෙරවත් මම මෙවැනි තරඟාවලියකට සම්බන්ධවෙලාත් නැහැ. මේ වගේ අත්දැකීමක් ලැබුවෙත් ජීවිතේ පළමු වතාවට. ඉතින් මේ තරඟය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට මේ වෙද්දි පත්වෙලා තියෙනවා.
ඒ කියන්නෙ මේ තරඟය තමයි කස්තුරි රංගන ශිල්පිනියක් කළේ?
අනිවාරය්යයෙන්ම. මොකද රංගන ශිල්පිනියක් වෙන්න කවදාවත්ම මම හිතපු කෙනෙක් නෙමෙයි. පොඩි කාලෙවත් මට එහෙම ආසාවක් තිබුනෙ නැහැ. අදටත් මට රංගන ශිල්පිනියක් වෙන්න ඕනා මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න ඕනැ කියලා හිතිලා නැහැ. ඇත්තටම මේ අහඹු සිදුවීමක්. මාව මුලින්ම මේ ක්ෂේත්රයට යොමු කරන්නෙ රංගන ශිල්පී සංගීත් ප්‍රභූ අයියා. ඔහු තමයි රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂවරයාටත්, තරංග දිසානායක නිෂ්පාදකවරයාටත් මාව සම්බන්ධ කරවන්නෙ. ඒ දෙපළගෙ නිර්මාණයක් හරහා තමයි මුලින්ම ක්ෂේත්රයට එන්නෙ.
ඉතින් අද අහඹු ලෙස ආරම්භ කරපු ගමන ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම හොඳයි. මේ පුංචි කාලය ඇතුළත මම හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. මොකද මම සම්බන්ධ වුණු එක ටෙලි නිර්මාණයක් හෝ විකාශයවෙනවා. මාව එක නාළිකාවකින් හෝ දකින්න ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී මට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. කොහේ ගියත් දැන හඳුනාගෙන කතා බහ කරලා ප්‍රතිචාර දක්වනවා. ආශිර්වාද කරනවා. ඉතින් ඒ ලැබෙන ආදරය, ප්‍රතිචාර හැමදේම එක්ක මට ජීවිතේ සතුටුවෙන්න පුළුවන් ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා හිතෙනවා.
දැන් වෘත්තිමය විදියට රංගනයේ යෙදෙන්නද බලාපොරොත්තුව?
වෘත්තිමය විදියට මේ ක්ෂේත්රයේ යෙදෙන්න බලාපොරොත්තුවක් නම් නැහැ. මොකද මම ඉගෙනීම් වැඩ කටයුතු කරන අතරතුර මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නෙ. මම රුහුණු විශ්ව විද්‍යාලයේ තෙවන වසරෙ ඉගෙන ගන්නවා. කලා විෂයට අදාළ විෂයන් තමයි කරන්නෙ. ලොකුම අරමුණක් තියෙන්නෙ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි. ඒ දේවල් එක්ක ඉඩක් ලැබෙන විදියට හොඳ නිර්මාණයක් කරගෙන කලා ක්ෂේත්රයේ යෙදෙන්නත් කැමැත්තක් තියෙනවා.
මේ වෙද්දී නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා නේද?
ඔව්. මම බ්‍රයිඩ්ල් ෂූට් කරනවා. මේ දිනවල නම් රටේ පවතින වාතාවරණය එක්ක ඒ දේවල් සිද්ධවෙනවා අඩුයි. නමුත් ආරාධනා එන විදියට ඉඩක් ලැබුණොත් භාරගෙන ඒ දේවල්වලට සම්බන්ධ වෙනවා.
දැන් මනමාලි විදියට කී වතාවක් හැඩගැන්විලා තියෙනවද?
දැන් 150ට ආසන්නව මනමාලියක් විදියට හැඩගැන්විලා ඇති.
එතකොට ඇත්ත ජීවිතේ මනාලියක් විදියට හැඩ ගැන්වෙන්නෙ කවදාද?
ඒ ගැන නම් තවම අදහසක් නැහැ. තව අවුරුදු 5, 6ක් වගේ ගතවෙයි.
ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් කස්තුරිගෙ පෙම්වතා කියන්නෙ ඇත්තද?
අනේ නැහැ, එහෙම කට කතා නම් ඉතින් අහන්න දකින්න ලැබෙනවා. අපි ක්ෂේත්රයේ කාත් එක්ක හරි කතා බහ කළත් කොහේ හරි තැනක කතා කර කරා හිටියත් කියන්නෙ සම්බන්ධයක් තියෙනවා කියලා. යාළුවො විදියටවත් ආශ්‍රය කරන්න අමාරුයි. කට කතා නම් ඕනෑ කෙනෙකුට පතුරවන්න පුළුවන්. අපි ඒවා භාරගන්න එක ගැන අපි හිතන්න ඕනෑ.
කස්තුරිගෙ ජීවිතේ ඉදිරි සැලසුම් කොහොමද?
ඇත්තටම අද ජීවිතේ සැලසුම් හීන, බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ. ඒ හැමදේම රටේ තත්ත්වයත් එක්ක නැතිවෙලා ගියා. දැන් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව ඉන්නෙ. ලංකාවෙ තව දුරටත් රැඳෙයිද කියලාවත් හිතාගන්න බැහැ. මොකද අද මිනිස්සුන්ට යන්න එන්න වාහන නැහැ. කන්න බොන්න නැහැ. ඒ හැමදේම එක්ක ඉදිරි සැලසුම් සකස් කරන්නෙ කොහොමද? අපේ ජීවිතේ හොඳම කාලෙ මේ විනාශ වෙලා යන්නෙ. මොකද මේ කාලෙ ආයෙත් ගන්න බැහැනෙ. අපි ඉතින් තවමත් මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නවා ජීවිතේට කිසි අරමුණක් බලාපොරොත්තුවක් නැතිව.
ධනු විජේරත්න