ඇත්ත ප්‍රේමයට අවුරුදු හත අටක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘නන්දසිරි මල්වත්ත’’ මන්ත්‍රී අපට හමුවෙන්නෙ, සැබෑ දේශපාලන කරළියේදී නෙවෙයි. සට – කපට මේ ‘‘මන්ත්‍රී’’ අපට හමුවෙන්නෙ නාඩගම්කාරයෝ නාට්‍යයේ චරිතයක් විදිහටයි. මේ චරිතය නිසා ඔහු ගැන බොහෝ දෙනා විමසන මොහොතක, මේ නන්දසිරි මල්වත්ත කවුද කියලා අපි බලමු.

කවුද මේ මන්ත්‍රී?

මම දුලාංජ ඩිල්ෂාන්.

ගම් පළාත එහෙම?

ගෙවල් පන්නල.

එහේ ඉඳලද වැඩවලට එන්නෙ?

මම වෘත්තියෙන් ගුරුවරයෙක්. පුත්තලම ආඬිගම පාසලේ සේවය කරන්නෙ. නාට්‍ය හා රංග කලාව විෂය උගන්වන්නෙ.

දුලාංජ කියන්නද? ඩිල්ෂාන් කියන්නද?

හැමෝම වගේ මට කතා කරන්නේ ‘‘දුලා’’ කියලයි.

‘‘දුලා’’ගෙ පවුලේ තොරතුරු?

තාත්තයි, අම්මයි, මමයි, අයියයි.

‘‘දුලා’’ රංගනයට ආවෙ?

පාසල් වේදිකා නාට්‍යවල රඟපෑවා, පටන් ගත්තෙ එතැනින්. මුල්ම නාට්‍ය ගුරුවරිය ගීතානි සිරිවර්ධන මහත්මිය. එතුමිය තමයි මේ ක්ෂේත්‍රයට මාව යොමු කළේ. ඒ ලෙවල් කරද්දී ඔයා කලා විෂයයන් කරන්න කියලා මාව උනන්දු කළේ එතුමිය. ඉන්පසුව නාට්‍ය හා රංග කලාව ගැන හදාරන්න ටවර්හෝල් නාට්‍ය පාසලට ඇවිත් ඩිප්ලෝමාව හදාරන්න පටන් ගත්තා. ඉන්පස්සෙ, නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනවේදී උපාධිය ගැන ඉගෙන ගන්නා අතරේ, කැමරාව ඉදිරියේ රඟපෑමට තිබූ උනන්දුව නිසා සද්ධා මංගල සූරියබණ්ඩාරගෙ ‘‘ඉන්ෆාස්’’ ආයතනයේ සිසුවෙකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එතැනදි තමයි ‘‘සද්ධා’’ සර් මගේ දක්‍ෂතා දැකලා මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. මුලින්ම මට රඟපාන්න ලැබුණෙ හාරකෝටියෙ. හාරකෝටියෙ ‘‘කුලේ’’ කියන චරිතය. ඒක දිගටම ගලා ගියේ ඊළඟට විකාශය වූ කෝටිපතියෝ නාට්‍යයෙන්. ඒකට ලැබුණෙ හොඳ ප්‍රතිචාර. ඒ අවස්ථාව ලැබුණෙ සද්ධා සර් සහ සිවගුරුනාදන් ජයප්‍රකාශ් සර් නිසයි. ‘‘සද්ධා’’ සර් මා වෙනුවෙන් ‘‘කුලේ’’ගේ චරිතය කෝටිපතියෝ නාට්‍යයට නිර්මාණය කළා. ඉන්පසුව, එයාලගෙ නාට්‍යවලට මාව ගත්තා. ‘‘අමුතු රසිකයා, පැණි කුරුල්ලෝ, අග්නි පියාපත්’’ වගේ නාට්‍යවල රඟපාද්දී ‘‘නාඩගම්කාරයෝ’’ නාට්‍යයේ නන්දසිරි මල්වත්ත වුණා.

ඔබ ගැන වැඩි දෙනෙක් දැනගත්තෙ නන්දසිරි මල්වත්ත ‘‘මන්ත්‍රී’’ නිසා නේද?

ඒකට හේතුව ‘‘නාඩගම්කාරයෝ’ ජනප්‍රියයිනෙ. ඉතින් ඒකෙ ප්‍රධාන චරිතවලට අමතරව සෙසු චරිත ඔක්කෝම වගේ ජනප්‍රිය වී තිබෙනවා.

සැබෑ ජීවිතයේදීත් ‘‘දුලා’’ මන්ත්‍රීවරයකු, තැන්නම් දේශපාලන චරිතයකට හොඳට ගැළපෙන බව තමයි අපට හැඟෙන්නෙ?

අප්පා, මගේ ජීවිතයේ අකැමැතිම විෂය තමයි දේශපාලනය. දේශපාලනයට යන්න හෝ දේශපාලකයින් කරලා තියෙන දේ දිහා බලද්දී, දේශපාලනයට ඒමට තියා ඒ ගැන වචනයවත් කතා කරන්න මම කැමති නැහැ. දේශපාලකයන් ගැන දැනුමක් ඇති මිනිස්සු බිහිවෙනකල් මේ ස්වභාවය මේ විදියට පවතීවි.

‘‘මන්ත්‍රී’’ නන්දසිරි මල්වත්ත, ලව් කරන්නෙ කුකුල් මුදලාලිගෙ දුව ‘‘ජානු’’ට? සැබෑ ජීවිතයේදීත් ඒ විදියට පස්සෙන් යන ප්‍රේමයක් තියෙනවද?

තියෙනවා, තියෙනවා. ඒ ප්‍රේමයට දැන් අවුරුදු හත අටක් වෙනවා. කැම්පස් එකේදීම තමයි ඒ ප්‍රේමය හමුවුණේ. ඇයත් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක්. ඇය වේදිකා නාට්‍යවල රඟපෑවා. දැන් ගුරුවරියක් නිසා, රැකියාවට මුල්තැන.

මේ ගුරු යුවළගේ ‘‘විවාහය’’ කවදද?

ළඟදීම වේවි.

කොහොමද හාමිනේ වෙන්න ඉන්න ඇයගෙන් ලැබෙන සහයෝගය?

ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. ප්‍රශ්නයක් වුණත්, කතාබහ කරලා හොඳ විදියට විසඳාගන්න පුළුවන් අවබෝධයක් තියෙන්නෙ. මගේ කටයුතු කරගෙන යන්න හොඳ සහායක් දෙන අතරේ, අනාගතය සැළසුම් කරලා හොඳ කළමනාකරණයකුත් කිරීමේ හැකියාව ඇයට තියෙනවා.

නාඩගම්කාරයෝ - ‘‘මන්ත්‍රී’’ වීම නිසා ‘‘දුලා’’ට මිනිස්සු මොනවද කියන්නෙ?

අර මම මුලින් කිව්ව විදියට ‘‘නාඩගම්කාරයින්’’ට මිනිස්සු හරි ආසයි. ඉතින් රඟපාන අපටත් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි. ආ ‘‘මන්ත්‍රීතුමා’’ කියලා තමයි මිනිස්සු මට කතා කරන්නෙ. මිනිස්සු ‘‘නාඩගම්කාරයෝ’’ නාට්‍යයට ෆුල් ලව්. හැබැයි ඡන්දෙ නම් ඉල්ලන්න එපා ගුටි කයි කියලා කියනවා. මිනිස්සු නාට්‍යයට වගේම ‘‘නාඩගම්කාරයෝ’’ කණ්ඩායමටම හරි ආදරෙයි.

සැබෑ ජීවිතයේ ‘‘දුලා’’ මොන වගේද?

හිනාවෙලා, මිනිස්සු එක්ක ආදරයෙන්, සතුටින් ඉන්න කැමති කෙනෙක්. බොහොම සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. වගකීම් වටහාගෙන ඉන්න කෙනෙක්. පාසලේදී ගුරුවරයකු ලෙසත්, ගෙදරදි ගෙදර විදියටත්, යාළුවෝ එක්ක ඒ විදියටත්, සමාජයේදී - සමාජයට ගැළපෙන විදියටත් ඉන්න කෙනෙක්. තැනට අවශ්‍ය විදියට හැඩගැහිලා ඉන්න කෙනෙක්.

ගුරුවරයකු ලෙස සැර චරිතයක්ද?

එහෙමම නැහැ. නමුත් සැර වෙන්න ඕනැ තැනදි එහෙම වෙනවා. ළමයි මට ආදරෙයි - මාත් ළමයින්ට ආදරෙයි.

දුලාගෙ, ගම පන්නල? උගන්වන්නෙ ආඬිගම ප්‍රේමය තියෙන්නෙ කුරුණෑගල, නඩගම්කාරයෝ රඟපාන්නෙ කිරිඳිවැල? ඉතින් කොහොමද ජීවිතය පහසු නැහැ නේද?

මගේ ජීවිතය හරියට ජංගම නවාතැනක් වගෙයි. ගෙදර ටිකක් ඉන්නවා, බෝඩිමට යනවා, එතැන ටිකක් ඉන්නවා. ඉස්කෝලෙට යනවා, එතැන ඉන්නවා. ඊට පස්සෙ රඟපාන්න යනවා. මේ රටේ දේශපාලකයින් මේ රට පත්කර තියන ස්වභාවය එක්ක අපි පුදුම කට්ටක් කන්නෙ. රටේම ජනතාව අපහසුතාවයට පත්වෙලා. ගමනක් යන්න පැට්‍රල් - ඩීසල් නැහැ. උගන්වන ගුරුවරුන්ගෙන් මේ සියලු දේ අතරේ හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ගුරුවරු පාසලට එන්නෙ කොහොමද? යන්නෙ කොහොමද? ඒ ගැන බලධාරීන්ට වගේ වගක් නැහැ. පත්වීම් දෙන්නෙ දුෂ්කර පළාත්වලට. මේ සිස්ටම් එකම කොච්චර වැරදිද? මහමගටම කාලය ඉවරයි. සියලු දුෂ්කරතා විඳගෙන පාසලට ගිහින් උගන්වන්න ගුරුවරුන්ට මනස යහපත්ව තිබෙන්න ඕනෑ. ඒත් අපේ රටේ බොහෝ ගුරුවරුන්ට ඒ යහපත් පරිසරය නැහැ. මේ හේතු නිසා මම පාසලට ළඟ තැනක නතරවෙලා ඉන්නෙ.

‘‘දුලා’’ට රංගනය දැනෙන්නෙ කොහොමද?

කොච්චර ඉගෙන ගත්තත්, ඒකෙ පරක් තෙරක් නැහැ. තවම මම ඒ ගැන ඉගෙන ගන්නවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘‘ප්ලේ හවුස්’’ ආයතනයේ ප්‍රසන්න මහගමගේ මහතා යටතේ. මේ විදියට රඟපෑවට අපි තවම ඉන්නෙ මුහුදට හත්ගව්වක් මෙහායින්. රංගනය නමැති විෂය මුහුදක් නම්? අපි තවම මුහුද ගාවටවත් ගිහිල්ලා නැහැ.

සැබෑ ජීවිතයේ ඔබ මන්ත්‍රීවරයෙක් කියලා හිතමු! එහෙමනම් මේ වෙලාවෙ මිනිස්සුන්ට මොනවද කියන්න තියනේනෙ?

අපි මේ මොහොතේ දැන් ඉන්න උද්ධමනය වෙතින් අංක එකට ඇවිත් ඒකෙ කප් එක ගත්ත. මොන තරම් ඛේදාන්තයක්ද? ඒ නිසා මේක දේශපාලකයින් වෙනස් කරනකල් බලන් ඉන්නෙ නැතුව, අපි සරල වෙලා, අපිම ගොඩනැගෙමු. ලයිට් පහක් දානව නම් එකක් දාමු. ෆෑන් 3 ක් දානවා නම් එකක් දාමු! ඒ විදියට අපි ජීවිතේ සරල වෙලා, අපි මේ ස්වභාවය යහපත් අතට හරවමු.

සඳුන් ගමගේ