ඇත්ත ජීවිතේ නංගිගෙ එහෙම ප්‍රශ්න තවම වෙලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ආකර්ෂණයකට ලක්ව සිටින කලාකරුවකු සමගින් කතාබහක යෙදෙන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කළා. ගායන ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට රංගන ශිල්පියකු ලෙස වැඩි අවධානයක් ලබා සිටින ඔහු දිනූෂ දිසානායක.

පියවදනි සහ රාජිණි නිර්මාණ හරහා දිනුෂගෙ රංගනයන් කතාබහට ලක්වෙලා තියෙනවා නේද?

ඇත්තටම ඔව්. මේ දවස්වල රාජිණි හි ‘‘සොඳුරු’’ චරිතයටත්, පියවදනි හි ‘‘රමිත්’’ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මේ චරිත රංගනයන් එකිනෙකට වෙනස් වුණු චරිතයන්. අලුතින්ම විකාශය ආරම්භ වුණු ‘‘පියවදනි’’ තුළ තියෙන්නෙ වෙනස්ම චරිත රංගනයක්. මම මෙතෙක් කරපු චරිත රංගනයන්වලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසාමයි මේ චරිතය කැමැත්තෙන්ම භාරගත්තෙ. ඇත්තටම මම රංගනය තුළ ලොකු වෙනසකුත් බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව සාර්ථක කරගන්නත් හැකිවෙලා තියෙනවා කියලා හිතෙනවා මේ රංගනය වෙනුවෙන් අද ලබන ප්‍රතිචාරවලින්. වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ ගැහැණු ළමයින්ගෙන් තමයි.

ඉතින් ‘‘පියවදනි’’ තුළ ඉන්න මේ රමිත් ගැන කතා කළොත්?

රමිත් කියන්නෙ ආයතනයක ප්‍රධානියෙක්. මේ තුළ තියෙන්නෙ ටිකක් දැඩි සැර පරුෂ චරිත රංගනයක්. ඔහුට පුංචි කාලෙ පටන්ම ආදරය අහිමි වෙලා තියෙනවා. ඒ නිසාම ආදරය කියන දේ ගැන වැඩි තැකීමක් නැහැ. හැම වෙලාවෙම තරහෙන් තමයි ඉන්නෙ, කිසි අනුකම්පාවක් නැහැ. නමුත් ඒ සැර පරුෂ බව ඇතුළත සංවේදී බවකුත් තියෙනවා. මේ තුළ තියෙන්නෙ හරි සරල කතාවක්. මිනිසුන්ට ආදර්ශයක් ගන්නට හැකි විදියෙ ආදරය මත පදනම් වුණු කෙටි කතා මාලාවක් තුළ තමයි රමිත් චරිතය ගලාගෙන යන්නෙ.

ආයතනයක ප්‍රධානියාගේ චරිතය කොයි විදියට ද දැනුනෙ? ඒ සම්බන්ධ අත්දැකීමක් එහෙම තියෙනවද?

අත්දැකීම් කියන්නෙ ඉතින් මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට පෙර ව්‍යාපාර කටයුතු තමයි කළේ. හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර කටයුතු කළේ. ඉතින් ඒ තුළ නම් අත්දැකීම් තිබුණා. නමුත් රමිත් චරිතය වගේ දුෂ්ට නම් නැහැ.

මේ නිර්මාණය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මම මීට පෙර සඳහන් කළා වගේ මට ලැබුණෙම අහිංසක වගේ චරිතනෙ. නමුත් ඒ චරිත රංගනයෙන් පිටට යන්න හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මුලින්ම මාව මේ චරිත රංගනය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවෙ ලක්සිරි වික්‍රමගේ මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මෙහි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා දිනෙත් ඈපාලියන. ඔහු තමයි මේ වෙනුවෙන් මාව සම්බන්ධ කරගෙන මේ චරිතය ගොඩනගාගෙන යන්න ලොකුම සහයෝගය දැක්වූවේ. ඇත්තටම මේ හොඳ වැඩක්. කොටස් 19ක නිර්මාණයක්. ඇත්තටම අද කාලෙ යන නාට්‍ය නිර්මාණ එක්ක ගත්තම ඉතා හොඳ තත්ත්වයකින් යන නාට්‍ය නිර්මාණයක් තමයි මේ. ප්‍රධාන වශයෙන්ම නිර්මාණයේ ගුණාත්මක බව තමයි බැලුවේ. මම හිතන්නෙ ඉදිරියටත් වතු අස්සෙ, රබර් කැළෑ තුළ කැමරා ගණන් තියාගෙන විශාල විදියෙ කොටස් සංඛ්‍යාවක් කරනවට වඩා සීමිත කොටස් ගණනාවක් එක්ක ගුණාත්මක විදියෙ නිර්මාණයක් කිරීම තමයි වැදගත්ම දේ වෙන්නෙ. ඇත්තටම මෙවැනි නිර්මාණ කරනවා අඩුයි. නමුත් අද විය යුත්තෙ මෙවැනි නිර්මාණ තමයි. මම නම් හරිම ආසාවෙන් තමයි මේ රංගනය කළේ. ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි.

මේ නිර්මාණයට අමතරව රාජිණි තුළ ඔබේ රංගනය ගැන කතා කළොත්?

රාජිණි තුළ මම කරන්නෙ හරිම ආදරණීය චරිතයක් ‘‘සොඳුරු’’ කියන්නෙ හොඳ ආදරවන්තයෙක් වගේම ඉතා හොඳ සහෝදරයෙක්. විශේෂයෙන් කියන්න ඕනා මේ නිර්මාණය තුළ ප්‍රේක්ෂකයා වැඩිපුර ආකර්ෂණය වුණේ අයියා නංගි සහෝදර බැඳීමට. ඒ රංගනයත් මට මාරම විදියට දැනුණා. කොහොමත් මට ඒ චරිතය හුරු පුරුදුයි. මොකද මට ඇත්ත ජීවිතයේත් සහෝදරියක් ඉන්නවා. මට නංගියි, මල්ලියි තමයි ඉන්නේ. ඉතින් ඒ සහෝදර බැඳීම මට මේ රංගනය තුළිනුත් විශාල විදියට දැනුණා. දැනෙන හැඟෙන චරිත රංගනයක්.

මේ කතාවෙදි නංගිගෙ ආදරේට පුංචි පුංචි ද්‍රෝහිකම් කරනවනෙ. සැබෑ ජීවිතයේදීත් නංගිට එහෙම කරලා තියෙනවද?

ඇත්ත ජීවිතේ නංගිගෙ එහෙම ප්‍රශ්න තවම වෙලා නැහැ. නමුත් එවැනි දේවල් සිද්ධ වුණොත් අයියා විදියට ඒවට මැදිහත් වෙයි. අයියා කෙනෙක් වුණාම ඒවා හොයලා බලන්න ඕනෙ අනිවාර්යයෙන්ම.

අයියාගෙයි නංගිගෙයි ඒ බැඳීම රංගනයේ දී කොහොමද දැනුණෙ?

ඇත්තටම ඒ රංගනයන්වල දී සමහර තැන්වල රඟපෑමක් කියලා දැනුනෙ නැහැ. ස්වභාවිකව එන හැඟීම් විදියට දැනුනෙ. ඒ හැඟීම් එක්ක ඒ රූගත කිරීම් ඉතා සාර්ථකව කරගෙන යන්න හැකි වුණා. මේ රංගනය තුළ අයියාගෙයි නංගිගෙයි ඒ සමහර වීඩියෝ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. ඒවාට ලක්ෂ ගණනෙ විව්ස් සංඛ්‍යාවක් ලැබුණා. ප්‍රතිචාරත් හරිම ආදරණීයයි. මම හිතනවා ප්‍රේක්ෂකයා අතරට මේ තරමට යන්න සහෝදරකම විශේෂයෙන්ම බලපාන්න ඇති.

දිනූෂව ප්‍රේක්ෂයො හඳුනාගත්තෙ ගායකයෙක් විදියටනෙ. දැන් ඒ ගායකයා ඔවුන්ට අමතක වෙලාද?

ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. එහෙම හිතෙනවට නම් මම හරිම අකමැතියි. මොකද ගායනය කියන්නෙ මම පුංචි කාලෙ ඉඳන්ම ආදරය කරපු අංශය. ඒ නිසාම තමයි ඒ තුළින් ඉදිරියට යන්න හීන දැක්කෙ. ඒ හීනය සැබෑ කරගන්න හැකි වුණා දෙරණ Dream Star ගායන තරගාවලිය හරහා ඉදිරියට එන්න ලැබීමත් එක්ක. ඒ හරහා තමයි මට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නත් හැකියාව ලැබෙන්නෙ. ඉතින් අද මට ගායන පැත්තට වඩා අවස්ථා ලැබෙන්නෙ රංගනය පැත්තට. නමුත් මම මේ අංශ දෙකටම කැමතියි සහ ආදරෙයි. ඒ නිසා මේ වසරේදි ගායකයා කියන නම හදාගන්න අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නෙ?

ඒ ගැන කියන්න වචන නැහැ ඇත්තටම. මොකද මගේ ජීවිතේ වටිනාකමක් එකතු වුණේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් එක්ක. විශේෂයෙන්ම මිනිසුන්ගෙ ආදරය ලැබෙනවා කියන්නෙම ලොකු වාසනාවක්. ඒ වගේම පෙර පිනක්. ඉතින් ඒ හැමදේම එක්ක බලද්දි කලාව තුළින් මගේ ජීවිතේට ලබාදුන්න වටිනාකම කියලා නිම කරන්න බැහැ. 

ධනු විජේරත්න